Breaking
23 Feb 2025, Sun

පොලිස් පැත්තෙ ඉන්න බව පෙන්වමින් හොරාට ආධාර කිරීම හෙවත් “හොරා පොලිස්”

මා නම් ජනමාධ්‍යවේදියෙකු නො වෙයි. කලක් කාලය සඟරාව සංස්කරණය කළත් පසු කලෙක ලක්මිණ පුවත්පතේ කතුකම නිල නොවන අයුරින් කළත් මා ජනමාධ්‍යයකු වන්නේ නැහැ. කාලය සඟරාව 1987 සිට හතරවරක් විටින් විට පවත්වාගෙන යෑමට උත්සාහ කළත් එය කළ නොහැකි වූවා. ජනතාව ආකර්ෂණය වන අයුරකින් ලියන්න කියන්න මට බැහැ. අනූවේ දශකයේ මුල ලක්මිණ පූවත්පත ඇරඹූ විට නිල නොවන වශයෙන් එහි කතෘ වූයේ මා. එහි විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම මෙන් ම චම්පක රණවකත් ලේඛකයන් අතර වුණා. (අද රාවය කතෘ ජනරංජන කාලයටත් ලක්මිණටත් කාටුන් ඇන්දා.) නිල වශයෙන් කතෘ වූයේ සුනිල් මාධවයි. එහෙත් කතුවැකි ලිව්වේත් පුවත්පත සංස්කරණය කෙළේත් මා. ගෙවිඳු ආධාර කළා. එකලත් මා කොටි පරාජය කළ යුතුය කළ හැකි ය යන මතයේ සිට පුවත්පත සංස්කරණය කළා. එයට ව්‍යාජ සමාජවාදීන් විරුද්ධ වුණා. ඔවුන් පුවත්පතේ අයිතිකරු තිලක් කරුණාරත්නට මගේ ප්‍රතිපත්තියට විරුද්ධව කරුණු කියා මා පුවත්පතේ කටයුතුවලින් අයින් කළා. එසේ වුවත් පුවත්පත ගෙන යන්න බැරි වුණා. මේ විස්තර බෙංගමුවේ නාලක හිමියන්ගෙන් ද දැනගත හැකියි. එකල විමල් මෙන් ම චම්පක ද ඊනියා යුද්ධයට විරුද්ධව සිටියා. ඩලස් ගැන කියන්න ඕන නැහැ. විමල් ජ වි පෙ සාමාජීකයෙක්. චම්පක යුද්ධයට විරුද්ධව පෝස්ටර ගැසුවා. ඉන් අවුරුදු කිහිපයකට පසු 1994 දී මංගල සමරවීරට මැතිවරණයේ දී ආධාර කළා. චම්පක එදත් කොටි පරාජය කළ යුතුය කියන මතයේ හිටි බව ඔහුගේ අනුගාමිකයන් කියන විට කරන්නේ කුමක් ද කියා කල්පනා වෙනවා. ඔහු ඉල්ලුමක් ඇතැයි කියමින් ජාතිකත්වයට පැමිණියේ කොටි ඩී එස් සේනානායක විදුහලේ සිසුන් ඝාතනය කිරීමෙන් පසුවයි. කාලය සඟරාව මෙන් ම ලක්මිණ පුවත්පත පවත්වාගෙන යෑමේ දී ද ගෙවිඳු කුමාරතුංගගේ කැප වීම කිසි දිනෙක අමතක කරන්න බැහැ.

මැතිවරණ කොමිසමේ සභාපති කියන්නාක් මෙන් ජනමාධ්‍ය අයිතිකරුවන්, ජනමාධ්‍යවේදීන් තමන් කිනම් පක්‍ෂයකට ආධාර කරන්නේ දැයි කියන්නේ නම් හොඳයි. එසේ නොකිරීම ආණ්ඩුවේ ජනමාධ්‍යවලට කරන අසාධාරණයක්. ආණ්ඩුවේ ජනමාධ්‍ය ආණ්ඩුවට පක්‍ෂපාත බව කවුරුත් දන්නවා. පෞද්ගලික ජනමාධ්‍ය ගැන දන්නේ ඉතා ටික දෙනයි. මා ජනමාධ්‍යවේදියකු නොවූවත් මේ ලිපි කියවන දෙසීයයක පමණ පිරිසේ දැන ගැනීම පිණිස මගේ පක්‍ෂපාතීත්වය ගැන කිව යුතුයි. මා මේ කසිකබල් දේශපාලන පක්‍ෂ අතරින් කසිකබල්කමින් අඩු වූ පොදුජන පෙරමුණට පක්‍ෂයි. ඒ ඔවුන් කරන කියන සියල්ල අනුමත කරන නිසා නො වෙයි. වෙන කරන්න දෙයක් නැති නිසා.

පෙබරවාරියේ පැවැත්වීමට නියමිත මැතිවරණය ඉතා උණුසුම්. ඒ හතරවැනි තැනට පැමිණෙන්නේ මෛත්‍රිපාල කල්ලිය ද නැත්නම් අනුර කුමාර කල්ලිය ද යන්න තීරණය කිරීමට. අද ඇතැම් ඊනියා අපක්‍ෂපාත විචාරශීලී පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන යන ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය ගැන කියවන, බටහිර යුදෙව් ක්‍රිස්තියානි නූතනත්වයට යට වී භූතයන් ගැන විශ්වාස නොකරන, එහෙත් භූතයන්ට පින් අනුමෝදනා කරන නූතන විද්‍යාත්මක බෞද්ධ ජහමාධ්‍යවේදීන් ජ වි පෙට පක්‍ෂපාත බව පෙනෙන්නට තියෙනවා.

සමහරු කියන විධියට බටහිර ගණිතය ඉගෙන ගැනීමෙන් විචාරශීලී බව, තර්ක බුද්ධිය ආදිය වැඩි වෙනවා. එය බොරුවක් බව මෙරට ගණිතය ඉගෙනීමෙන් මෙන් ම ඉගැන්වීමෙන් ද මා දන්නවා. එයට හොඳම උදාහරණය මා කියා ඊනියා විචාරශීලී ජනමාධ්‍යවේදීන් කියන්න පුළුවන්. එහෙත් ජ වි පෙ නායකත්වය ඒ සඳහා උදාහරණ. අද මැතිවරණයේ හතරවැනි තැනට පත්වීමට තියුණු තරගයක් ලබා දෙන ජ වි පෙ තම තැන හොඳට අවබෝධ කර ගනිමින් බණ්ඩාරවෙල දී උමා ඔයේ පිහිට පතනවා. විද්‍යාරතන කියන තැනැත්තා ජ වි පෙරමුණෙන් අස් වෙලා ද? නැත්නම් ඔහු ඒ බව කිව යුතුයි. ඡන්දදායකයන් මුළා වීමට ඉඩ තියෙනවා.

අනුර කුමාර හොඳ කතා කියනවා. ඒවා ප්‍රබුද්ධ යැයි කියා ගන්නා ජනමාධ්‍යවේදීන්ට නම් වටිනවා. ඔහු මෑතක දී කියා තිබෙනවා අද ඇත්තේ එක් එක් දිනට එක් එක් පැතිවලට බෙදිලා ක්‍රීඩාකරන ළමයින්ගෙ වැනි දේශපාලනයක් කියලා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ළමයින්වත් තෝරන පිරිසක් ඉන්නවා. ඒ පිරිස ජ වි පෙ ළමයින් වැඩි පිරිසක් තෝරන්නෙ නැහැ. ඒ නිසා ජ වි පෙ ළමයින් බොහෝ විට ඉන්නෙ බංකුවේ. ඒත් ඔවුනුත් හොරා පොලිස් සෙල්ලමේ යෙදෙනවා. ඔවුන් චන්ද්‍රිකාගේ පරිවාස ආණ්ඩුවට සෙල්ලම් කළා. එහෙත් ලකුණු රැස් කළේ නැහැ. අර වැව් දාහේ වැඩ පටන් ගත්ත ද? අනුරටත් විජිතටත් මතක ද?

2015 දී ජ වි පෙ රනිල්-මෛත්‍රිපාල කණ්ඩායමට වැඩ කළා. එයින් කියන්නෙ ඔවුන් මේ ඊනියා ජාතික ආණ්ඩුව බලයට පත් කළ බව නො වෙයි. ඔවුන්ට එවැන්නක් කරන්න බැහැ. ආණ්ඩුව බලයට පත් කෙරුණෙ බටහිර හා ඉන්දීය ආණ්ඩු හා ඔත්තු සේවා විසින්. ඒ වුණත් ජ වි පෙට තමන් කළ උපකාරයට තැගි ලැබුණා. බංකුවේ හිටපු අය අතිරේක ක්‍රීඩක තත්වයට පත් කෙරුණා. අනුර ව්‍යාජ විරුද්ධ පක්‍ෂයෙ සංවිධායක වුණා. හඳුන්නෙත්ති කෝප් කමිටුවේ සභාපති වුණා. බැඳුම්කරය පිළිබඳ ඩිව් ගුණසේකර කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔන්න මෙන්න තිබිය දී මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ජ වි පෙ විරුද්ධ වුණේ නැහැ. ජ වි පෙ කරන්නෙත් හොරා පොලිස් සෙල්ලමක්. ඔවුන් අදත් ඉන්නෙ රනිල් එක්ක. ජ වි පෙට කිසිදාක එ ජා ප ඡන්ද ලැබෙන්නෙ නැහැ. ඔවුන් කරන්නෙ එ ජා ප විරෝධී ඡන්ද කැඩීම. එමගින් එ ජා පක්‍ෂයට ආධාර කිරීම. මේ හොරා පොලිස් සෙල්ලම අමුතුම එකක්. මේක පොලිස් පැත්තෙ ඉන්න බව පෙන්වමින් හොරාට ආධාර කිරීම. පොලිස්පති පූජිතට එවැනි අත්දැකීම් තියෙනවා ද?

______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-27

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.