Breaking
24 Feb 2025, Mon

ප.ච රණවකගේ සුදුවෑන් මාරයා සහ බෝම්බ රතිඤ්ඤයක් වන හැටි

සැක කටයුතු පුද්ගලයන් සිවු දෙනෙකු මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වා මහතාගේ පිස්තෝලයද රැගෙන ව්‍යාජ අංක තහඩු සහිත වාහනයකින් හිටපු ජනාධිපතිතුමන් සහ හිටපු ආරක්‍ෂක ලේකම්තුමන් වෙසෙන මිරිහාන ප‍්‍රදේශයේ සැරිසරමින් සිදු කිරීමට උත්සාහ කළේ කුමක්ද? යන්න පිළිබඳව සිදු කෙරෙන විමර්ශන වෙනතකට හැරවීමට කටයුතු නොකරන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි.

ඊයේ කොළඹදී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන විශේෂ මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

‘රටේ ජාතික ආරක්‍ෂාව හා බැඳුණු ඉතා වැදගත් කාරණා කිහිපයක් කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කර විය යුතුව තිබෙනවා. 20 රාත‍්‍රියේ මිරිහාන ප‍්‍රදේශයේදී ව්‍යාජ අංක තහඩු සහිත සුදු වෑන් රථයක් සහ එහි සිටි පුද්ගලයන් 04 දෙනකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව අපට දැනගැනීමට ලැබුණා.

Prasanna_SILVAමේ සුදු වෑන් එකේ අංක තහඩු ව්‍යාජ ඒවා වගේම එහි සිටියේ ආරක්‍ෂක අංශවලට සම්බන්ධ පුද්ගලයන් 04 දෙනෙක්. එක පුද්ගලයකු අත පිස්තෝලයක් තිබූ බවද වාර්තා වෙනවා. එම පුද්ගලයා අතේ තිබී හමුවන්නේ මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වා මහතාගේ පිස්තෝලයයි.

මා දන්නා පරිදි මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වා කියන්නේ වර්තමාන ආණ්ඩුව බලයට පත් වුණාට පසුව ආරක්‍ෂක අමාත්‍යාංශයට අනුයුක්තව ආරක්‍ෂක ලේකම්වරයා යටතේ කටයුතු කරන ප‍්‍රධාන නිලධාරියෙක්. මේ පුද්ගලයෝ 04 දෙනා තමන්ට අයිති නැති පිස්තෝලයකුත් අරගෙන ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක නැගගෙන රාත‍්‍රී කාලයේ කුමක්ද කළේ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ජීවත් වන්නේ මේ සිදුවීම සිදු වූ මිරිහාන ප‍්‍රදේශය අවට. ඒ එක පැත්තක්. ඒ වගේම ‘හින්දු පුවත්පත’ වාර්තා කරලා තියෙනවා ‘කොටි සංවිධානයේ පුනරුත්ථාපනය වූ සාමාජිකයන් කිහිප දෙනෙක් දකුණු ඉන්දියාවේදී සයනයඞ් කරල් සහ පුපුරන ද්‍රව්‍ය සහිතව අත්අඩංගුවට ගෙන තිබෙනවා’ කියලා. මේ සිද්ධිදාමයෙන් අපේ රටේ ආරක්‍ෂාව කොයි අතටද යන්නේ කියන එක තහවුරු වෙනවා.

ශ‍්‍රී ලංකාවේ විසූ, සිරියාවේදී මියගිය ISIS ත‍්‍රස්තයා පමණක් නොවෙයි, තවත් පුද්ගලයන් පස් දෙනෙක් මෙ රට තුළ ඒ ආකාරයේ ත‍්‍රස්ත කටයුතුවල නියැලෙන බව අපට වාර්තා වෙලා තියෙනවා. එක පැත්තකින් අද ISIS එක මේ රට ඇතුළේ පැටවු ගහනවා. අනෙක් පැත්තෙන් දෙමළ ජාතිවාදී බෙදුම්වාදය දකුණු ඉන්දියාවේ ඉදන් සයනයිඞ් කරල් එකතු කරනවා, පුපුරන ද්‍රව්‍ය එකතු කරනවා. ඒවා ලංකාවට

රැගෙන ඒමට කුරුමානම් අල්ලනවා. උතුරු මුහුදු තරයේ සම්පූර්ණයෙන්ම නාවික හමුදා ආරක්‍ෂාව ඉවත්කර තිබෙනවා. ඒ නිසා දකුණු ඉන්දියාවේ සිට කිසිදු පරීක්‍ෂාවකින් තොරව මේ රටට බෝට්ටු එනවා. ඒ වගේම රෝ ඔත්තු සේවයේ ක‍්‍රියාකාරීත්වය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා මිරිහානයේදි සුදු වෑන් එකක් හමුවීමත් සමගම අපට බරපතළ සැකයක් ඇති වෙනවා මේ කල්ලිය ආවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතා මරා දැමීමට කියලා.

මේජර් ජනරාල්ගේ ඇමති හිතවතා කවුද?

WVAN
මිරිහාන ප‍්‍රදේශයේ සැරිසරමින් තිබු ප.ච රණවකගේ සුදුවෑන්

අපි දන්නවා මේ මේජර් ජනරාල්වරයා ආණ්ඩුවේ අමාත්‍යවරයකුගේ ඉතා සමීප හිතවතෙක් බව. ඒ අමාත්‍යවරයාගේ නිර්දේශය අනුව තමයි එතුමාට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඉහළ පුටුවක් හිමිව තිබෙන්නේ. මම මේ කියන අමාත්‍යවරයා ඉහත කී මේජර් ජෙනරාල්වරයා ඉතා සමීපව මෙහෙයවන්න ඉඩ තිබෙනවා. අපි මේ මතු කරන්නේ අපේ සැකය. කෙසේ වෙතත් ඉතා පැහැදිලියි, මේක රට බේරාගත් නායකයාගේ ආරක්‍ෂාව ඉතාමත් අවදානමට ලක්ව ඇති තත්වයක් බව.

එක පැත්තකින් එක්සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පිළිවෙළින් අධිකරණයට සහ මානව හිමිකම් කොමිසමට යනවා, හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව අඩු කරන්න කියලා. නමුත් අද ඒ අයට පෙනෙන්නේ නැහැ, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමන්ට හිමි සියලූ ආරක්‍ෂක වරප‍්‍රසාද සහිතව ඡන්දය ඉල්ලන බව. ඒ තත්වයට විරුද්ධව එජාපය සහ ජවිපෙ අධිකරණයට හෝ මානව හිමිකම් කොමිසමට යන්නේ නැහැ.

එක පැත්තකින් ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව අඩු කරන්න කියලා එජාපය සහ ජවිපෙ උසාවි, මානව හිමිකම් කොමිසමට ගොස් එතුමාගේ ජීවිතය සතුරාගේ උණ්ඩයට ගොදුරුකර දෙන්න හදනවා, අනෙක් පැත්තෙන් එතුමා වාසය කරන මිරිහාන පැත්තට සුදු වෑන් එකක් එනවා.

ගිය ආණ්ඩුවටනේ සුදු වෑන් කතා ගෙතුවේ. ඒත් එහෙම ඒවා, ඒ කාලයේ හසු වුණාද? මේ සුදු වෑන් එක පොලීසියට හසු නොවුණා නම් ඉහත සත්‍ය අනාවරණය වෙන්නේ නැහැ. පොලිස් පොතේ ලියැවිලා තියෙන හින්දයි ආණ්ඩුව අද හිරවෙලා තියෙන්නේ. නමුත් දැන් අපට ආරංචි වෙලා තිබෙනවා, මේ අය දැන් පරීක්‍ෂණ වෙන අතකට හරවන්න හදනවා කියලා. මේක ඉතා බරපතළයි.

මේ රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කර ගත්තේ සුජාත දු පුතුන් 27,000ක් අවසන් සටනේදී ජීවිත පූජා කරලා. ඒ දරුවන් ජීවිත පරිත්‍යාගයෙන් නිර්මාණය කරපු ජාතික ආරක්‍ෂාව අද මහ දවල් නැති වෙලා යනවා. ජාතික ආරක්‍ෂාව පිළිබඳ බරපතළ සැකයක් ජනතාව තුළ ඇති වෙලා තියෙනවා.

අලූත්ගමින් අහුවුණා දුරස්ථ පාලකයක් සහිත බෝම්බයක්. ඒ පිළිබඳ ප‍්‍රවෘත්ති ඊයේ රජයේ ස්වාධීන රූපවාහිනී නාලිකාව මගින් විකාශය වුණා. මට ආරංචියි අද කියනවා කියලා රජයේ මාධ්‍යයෙන්, ‘ඒක රතිඤ්ඤයක්’ කියලා. ඒ විතරක් නොවෙයි, බත්තරමුල්ලේ ආරක්‍ෂක හමුදා මූලස්ථානයේ ඉදිකිරිම් පිළිබඳව විගණනය කිරීමට මුදල් අමාත්‍යාංශයේ විගණන නිලධාරීන් යොදවා තිබෙනවා. ඒක ප‍්‍රශ්නයක් නැහැ. හැබැයි මුදල් අමාත්‍යාංශයේ නොවන, විගණන නිලධාරීන් නොවන දෙමළ ඩයස්පෝරාවට අයත් දෙමළ ජාතිකයන් දෙදෙනෙක් ඒ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැමිණ ආරක්‍ෂක මූලස්ථානායේ සම්පූර්ණ සැලැස්ම, රේඛා සටහන් ඉල්ලා තිබෙනවා. විගණනයට මේවා අවශ්‍ය වෙන්නේ නැහැ. රවී කරුණානායක මහතාගේ අනුදැනුම මත පැමිණ එසේ මුදල් අමාත්‍යාංශයේ විගණන නිලධාරීන් නොවන දෙමළ පුද්ගලයන් දෙදෙනෙක් ආරක්‍ෂක මූලස්ථානයේ සම්පූර්ණ සැලැස්ම ඉල්ලන්නේ ඇයි? මේ විදියට බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන් අද ජාතික ආරක්‍ෂාවට අදාළ සංවේදී තොරතුරු එකතුකර ගනිමින් සිටිනවා.

ඉහත සියලූ කාරණාවලින් පැහැදිලි වෙන්නේ මේ රටේ ජාතික ආරක්‍ෂාව ඉතාමත් බරපතළ විදිහට බිඳ වැටෙමින් පවතින බව නේද? මේ හදන්නේ හිටපු ජනාධිපතිවරයාව පරද්දන්න බැරි නිසා මරා දමන්නද? මහින්ද රාජපක්‍ෂ මැතිතුමාව දේශපාලන වශයෙන් ඝාතනය කරන්න බැරි වුණු හින්දා මේ හදන්නේ එතුමාව ශාරීරිකව ඝාතනය කරන්නද? රට බේරාගැනීම නිසා දෙස් විදෙස් බෙදුම්වාදී කල්ලිවල බලවත් වෛරයට පාත‍්‍ර වී සිටින නායකයා බිල්ලට දීමටද මේ සැරසෙන්නේ?

අපි කියනවා මේ රටේ සාධාරණ පුරවැසියන්ට ‘ඔබලා කුමන දේශපාලන මතය දැරුවත් ඔබත් භූක්ති විඳිනවා මේ රටේ සාමය, ඔබේ දරුවන්ටත් අයිතියි ඒ සාමය, සුරක්‍ෂිතභාවය, සුරක්‍ෂිත භාවය නොමැතිනම් ලෝකයේ කිසිදු රටක් සුන්දර රටක් වෙන්නේ නැහැ. ඇමෙරිකා එක්සත් ජනපදය මොන තරම් කෙරුමා වුණත් ජීවත් වෙන්නේ බියෙන්. රට වැසියන් පිළිබඳව නොයෙකුත් විමර්ශන, තොරතුරු ලබාගන්නවා, ත‍්‍රස්ත ප‍්‍රහාරයන් කොයි පැත්තෙන් මතු වෙයිද කියන්න බැරි නිසා. රටක ජනතාවගේ උගුරෙන් පහළට බත් ටිකක්, පාන් කෑල්ලක් ගියාට මදි සුරක්ෂිතභාවය කියන්නේ ඒ රටේ ජනතාව තුළ ඇති වන බලවත් හැගීමක්. එය මහජනතාව ජීවත්වීම සඳහා පොළඹවන දෙයක්. ඒ සුරක්‍ෂිතභාවය තමයි අද බිඳ වැටෙන්නේ. ජාතික ආරක්‍ෂාව තමයි අද බිඳ වැටෙන්නේ. එජාප, ජවිපෙ ඇතුළු මේ රටේ හැම දෙනාගේ දු දරුවන්ට හිමි අනාගත සුරක්‍ෂිතභාවය තමයි මේ බිඳ වැටෙමින් යන්නේ’ කියලා.

ඒ වගේම අපි ආරක්‍ෂක අමාත්‍යවරයා වශයෙන් වත්මන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ සැක කටයුතු පුද්ගලයන් හතරදෙනා මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වා මහතාගේ පිස්තෝලයත් අරගෙන ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක ගිහිල්ලා කරන්න හැදුවේ කුමක්ද? කියා සිදු කරන පරීක්‍ෂණ වෙනතකට හරවන්න එපා කියලා.

රටට සාමය දිනා දුන්නු නායකයාව ගොදුරුකර ගැනීම සඳහා දරන මේ ප‍්‍රයත්නය වැළැක්වීම සඳහා පෙරමුණ ගන්න කියලා අපි මේ රටට ආදරය කරන ජනතාවගෙන් ඉල්ලනවා.’

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.