Political

බලයට කෑදර පිරිස් මහා භාණ්ඩාගාරය ඇපයට තියලා… වන්දි ගෙවන්නේ ජනතාව … ඉන්ධන මිල ඉහළ දැමීම ගැන මහින්දගෙන් නිවේදනයක්

බලයට කෑදර පිරිස් තම දේශපාලන අරමුණු ඉටු කරගැනීම සඳහා මහා භාණ්ඩාගාරය ඇපයට තැබුවහොත් අවසානයේදී එයට වන්දි ගෙවීමට සිදුවන්නේ මහජනතාවට බව ඉන්ධන මිල ඉහළ දැමීම  සහ රටේ ආර්ථිකය මුහුණ දි සිටින අවුල පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදයක් නිකුත් කර තිබේ.

ඉන්ධන මිල ඉහළ දැමීම හා ආර්ථික අවපාලනය

යහපාලනආණ්ඩුව විසින් ඉන්ධන මිල විශාල වශයෙන් ඉහල දැමීම නිසා ප්‍රවාහන ගාස්තු මෙන්ම භාණ්ඩ හා සේවා මිලද වැඩි වීමට පටන් ගෙන ඇත. භූමිතෙල් මිල දෙගුණයකටත් වඩා වැඩි කිරීම හාකූපන්සලාක ක්‍රමයක් ඇතිකිරීම ගැනධීවර ප්‍රජාව අතර නොසන්සුන්තාවයක් ඇති වී තිබේ. ඉන්ධන මිල වැඩිවීමට එරෙහි උද්ඝෝෂණ මධ්‍යයේ ආණ්ඩුව එය සාධාරණීකරනය කිරීමට උත්සාහ දරන්නේ රාජපක්‍ෂ පාලන සමයේදී දේශීයඉන්ධන මිල මීටත් වඩා ඉහල මට්ටමක තිබුණ බව පවසමිනි. අද බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 70ක් පමණ වේ. මම 2005 නොවැම්බරයේදී මුල් වරට ජනාධිපති ධූරයට පත්වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 73 ක් විය. 2008 ජුනි වන විටඑය ඇ.ඩො. 160 දක්වා වැඩිවී තිබුණි. 2014 අගෝස්තු වනවිටත්තෙල් මිල පැවතියේ ඇ.ඩො. 103ක මට්ටමකය. තෙල් මිල සැලකිය යුතු ලෙස අඩු වීමට පටන් ගත්තේ 2014 අවසාන මාස තුනේදී පමණි. 2015 ජනවාරියේදී ආණ්ඩු වෙනස සිදුවනවිට එය ඇ.ඩො. 51 දක්වා අඩුවී තිබුණි.

එතැන් සිට පසුගිය අවරුදු තුන මුලුල්ලේම ලෝක තෙල් මිල අඩු මට්ටමක පැවතියේය. 2016 පෙබරවාරි මස වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 33 දක්වා අඩුවී තිබුණි. ඉන්පසු තෙල් මිල සෙමින් වැඩි වුවද 2017 ඔක්තෝබර් මස වනතුරුත් එය ඇ.ඩො. 55 ක මට්ටමක පැවතියේය. අද පවතින ඇ.ඩො.70 මිල දක්වා එය වැඩි වීමට පටන් ගත්තේ පසුගිය මාස කීපයේදී  පමණි. මා රට පාලනය කල සම්පූර්ණ අවුරුදු 09 තුළම කිසිදාක ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහත මට්ටමක නොතිබුණි. අපේ ආණ්ඩුව කාලයේ පැවති සාමාන්‍ය තෙල් මිලට  සාපේක්‍ෂව අද පවතින ඇ.ඩො. 70ක මිල සැබවින්ම අඩුය. මගේ පාලන සමය තුළදී ලෝක ඉතිහාසයේ වැඩිම තෙල් මිල සනිටුහන් වුවද අප ඒ අවුරුදු කීපය ඇතුළත දිණිය නොහැකි යැයිකියූ යුද්ධය ජය ගත්තා පමණක් නොව යටත් විජිත යුගයෙන් පසු මේ රටේ ඉදිවූවිශාලම යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක්ම සම්පූර්ණ කිරීමටද හැකි වූ බව මෙහිදී පෙන්වා දිය යුතුය. ඒ සියල්ල අප කළේ, බොර තෙල් මිල වැඩි වීම හේතුවෙන් පොහොර  මිලත් වැඩිවීම නිසා, ගොවි ජනතාවට ඇතිවෙනඅහිතකර බලපෑම නැතිකිරීමට පොහොර සහනාධාරයක්ද පවත්වාගෙන යන අතරතුරය.  ලෝක බොරතෙල් මිල ඉතා ඉහල මට්ටමක පැවතියත්, අපගේ පාලන සමය තුළ ලංකා ඉතිහාසයේ වැඩිම ආර්ථික වර්ධන වේගය අප සාක්ෂාත් කරගත් අතර, ලංකාවේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩිවිය.

මගේ පාලන සමයේදී මෙන් නොව යහපාලන ආණ්ඩුවට පසුගිය අවුරුදු තුන තුළදී ලෝක තෙල් මිල ඉතාම පහත් මට්ටමකට වැටීමේ වාසිය ලැබුණි. ඒ අවුරුදු තුන ඇතුළත ආණ්ඩුවට ඇමරිකානු ඩොලර් බිලියන 5ක ඉතිරියක් විය. එවැනි විදෙස් විනිමයඉතිරියක් තිබියදීත්, ආර්ථිකය දිගින් දිගටම පිරිහීමකට ලක් වූ අතර ඒ කාලපරිච්ඡේදය තුළ සංවර්ධන වැඩකටයුතු සහමුලින්ම පාහේ බිඳ වැටුණි. පසුගිය සෙනසුරාදා වත්මන් මුදල් ඇමතිවරයා සභාවක් අමතමින් කියා සිටියේ 2015 ජනවාරියේදී ඔහු එම තනතුරේ සිටියේ නම් ගැලරියෙන් ලැබෙන අත්පොලසන් නාදය වෙනුවෙන් සහන දීම නොකරන බවය.ඒ කතාවම එජාප පසුපෙල මන්ත්‍රීවරයෙකුද කියනු අපි දුටුවෙමු. ඇමතිවරයා‘ගැලරියෙන් ලැබෙන අත්පොලසන් නාදය වෙනුවෙන්දුන් සහන’ ලෙසින් අදහස් කළේ වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමඟ රජයේ සේවකයන්ට රු.10,000 ක දීමනාවක් ලබා දීම, හා ඉන්ධන, ගෑස් හා තෝරා ගත් ආහාර ද්‍රව්‍ය වල මිල අඩු කිරීම විය හැක. ඒ සියල්ලම ඡන්ද දිනා ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රකාශනයට ඇතුලත් කර තිබුණු පොරොන්දු විය.

යහපාලකයෝ එදා පවසා සිටියේ රාජපක්‍ෂආණ්ඩුවේ දූෂණය නැවැත්වූ පසු ඒ සියලුම සහන දීමට ඕනෑතරම් මුදල් ඉතුරුවන බවය. ජනාධීපතිවරණය ජය ගැනීමෙන් පසු නොබෝ කලකින්ම එළඹෙන පාර්ලිමේනතු මැතිවරණය ජය ගැනීමටනම් ඔවුන් ඒ දුන් පොරොන්දු ඉටු කිරීමට සිදුවිය. අපි දැන් අත් විදිමින් සිටින්නේ දේශපාලනය සඳහා ආණ්ඩුවේ මුදල් භාවිතා කිරීමේ ආනිසංශ වලටය. බලයට පත්වන ඕනෑම ආණ්ඩුවකට ඡන්ද ජය ගැනීම සඳහා ඕනෑම සහනයක් දීමට හැකියාව ඇත. නමුත් පියවි සිහිය තිබෙන ආණ්ඩු මේ සම්බන්ධයෙන් ප්‍රවේසම් වන්නේ දිනුවාට පසු ඒ පොරොන්දු ඉටු කිරීමට මුදල් සොයා ගැනීමට අසීරු නිසාය. වත්මන් ආණ්ඩුව සිතුවේ ඡන්දය ජයගැනීම ගැනපමණක් මිස, ඊට පසුව සිදුවන්නේ කුමක්ද යන්න ගැන නොවේ. ඡන්ද ජය ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය ඇපයට තැබූ පසු ඒ වැඩි වූ වියදම් පියවා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව ලංකා ඉතිහාසයේ කිසිදාක නොවූ විරූආකාරයට ණය ගැනීමට පටන් ගත්තේය. 2015 ජනවාරියේ  සිට අද දක්වා ආණ්ඩුව විදෙස් විනිමය වානිජ ණය පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 19.5 ක් හාදේශීයණය රුපියල්ට්‍රිලියන 6කට වැඩා ලබාගෙන ඇත. අගමැතිවරයා සභාවක් අමතන හැම අවස්ථාවකදීම වර්තමාන ආර්ථික තත්වය පසුගිය ආණ්ඩුවෙන් ලබාගත් ව්‍යාපෘති ණය නිසා ඇති වූවක් යැයි කීවද මේ තත්වය ඇතිවීමට සැබෑ හේතුව වත්මන් ආණ්ඩුව මාස කිහිපයකින් නැතිනම් අවුරුද්දකින්, දෙකකින් ආපසු ගෙවීමට සිදුවෙන ආකාරයට ලබාගත් කෙටි කාලීන හා මධ්‍ය කාලීන පරිභෝජන ණය නිසාය.

මුදල් අමාත්‍යංශයේ වාර්තාවලට අනුව 2019 වසර තුළදී අපට ආපසු ගෙවීමට සිදුවන විදෙස් විනිමය ණය පමණක් ඇ.ඩො. බිලියන 4.2 ක් වේ. එය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අදියර තුනත්, හම්බන්තොට වරායේ අදියර දෙක හා තෙල් ටැංකි සංකීර්ණය ඇතුළු සම්පූර්ණ වරායත්, ‍ගොඩගම දක්වා දක්‍ෂිණ අධිවේගී මාර්ගයත්, කොළඹ කටුණායක අධිවේගී මාර්ගයත්, මත්තල ගුවන් තොටුපලත්, ඉදිකිරීමට ගිය මුලු මුදලටත් වඩා විශාල මුදල් කන්දරාවකි.

මේ සියලුම ව්‍යාපෘතිවල මිලට වඩා මුදලක්  එක අවුරුද්දක් ඇතුළත ණය වාරික වශයෙන්ගෙවීමට සිදුවී තිබීමෙන් යහපාලන ආණ්ඩුව විසින් ඇතිකර තිබෙන ණය අර්බුදයේ පරිමාව  කාටත්  සිතාගත හැක. ඉන්දියානු තෙල් සමාගම පෙට්‍රල්ලීටරයක මිල රුපියල් 9 කින් වැඩි කරන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන් දෙගුණයකටත් වඩා වැඩි මුදලකින් පෙට්‍රල් මිල වැඩි කළ ආකාරය මුලු රටම දුටුවේය. වර්ථමානයේ තෙල් බැරලයක් ඇ.ඩො 70 ක් වුවද මගේ ආණ්ඩුව පැවති කාලයේදී තිබුණාට වඩා අදත් ලෝක තෙල් මිල බෙහෙවින්ම අඩුය.

එමනිසා ආණ්ඩුවටඉන්ධන මත පනවා ඇති බදු අඩු කිරීමෙන් ඉන්ධන මිල අඩු කිරීමට හැකියාව ඇත. නමුත් පසුගිය ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට දිගට හරහට ලබා දුන් සහන වලට මුදල් සොයාගැනීමට සිදු වී තිබීම නිසා එවැන්නක් සිදු නොවීමට ඉඩ ඇත.බලයට කෑදර පිරිස් තම දේශපාලන අරමුණු ඉටු කරගැනීම සඳහා මහා භාණ්ඩාගාරය ඇපයට තැබුවහොත් අවසානයේදී එයට වන්දි ගෙවීමට සිදුවන්නේ මහජනතාවටය.

 

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

 

Top