Breaking
25 Feb 2025, Tue

බස් ගැමුණු නම් ආර්ථික විශේෂඥයා දුටුවෙහිද ?

ලංකා ඉතිහාසයේ ඓතිහාසික අය වැය ලේඛනය මේ වන විට තෙවන වර කියවා සම්මතවීමේ මුව විට සිටී. මේ 2015 වසරට අය වැය ලේඛන පහකි. ඒ රටවල් පහක නොව එකම රටේ එකම පාර්ලිමේන්තුවේය. 2015 වසර සඳහා මහින්ද රාජපක්ෂ මුදල් ඇමති ලෙස 2014 ඔක්තෝබරයේ එකකි. යහපාලනය නමින් දින 100 විගඩමට එකකි. යළිත් අගෝස්තු ආණ්ඩුවට එකකි. අගමැතිගෙන් එකකි. ඊළඟට මුදල් ඇමති යැයි කියාගන්නා හාදයා ගෙන් එකකි. ඒකත් මේ වනවිට හිතාගන්නට බැරි වාර ගණනක් වෙනස්කම්වලට හා ඉවත්කිරීම්වලට භාජනය වී ඇත. දැන් අමේ අය වැය අපබ්‍රංශයකි.

මේ ආකාරයට වූ අය වැයක් ඓතිහාසික නොවන්නේ නම් එයම ගැටලුවකි. කෙසේ හෝ අය වැය හොඳ නරක තවම නිසි ලෙස ජනතාවට භුක්ති විඳීමට ලැබී නැත. එනමුදු එහි පල විපාක නම් සිතා ගත හැකිය. ඒ තරමට දින සියයයේ සිට ආ මග ඉතා පැහැදිලිය.

ඒකාධිපතියා යැයි ඇතැමුන් හැඳින්වූ මහින්ද රාජපක්ෂ විසින් කෙසේ හෝ උරුමකර දී තිබූ සේවක අයිතීන් හා සහනාධාර පවා අහෝසි කරමින්, රාජ්‍ය දේපල බුරුතු පිටින් විකුණා දමමින් මේ යන්නේ කුමන දිසාවකට ද යන්න නිශ්චිතව ප්‍රශ්න කොට, පැහැදිලි පිළිතුරක් ලබා ගැනීමට බුද්ධිමතෙක් කෙසේ වෙතත්, උගතෙක් සොයා ගැනීම උකසටය. ඒ නිසාම දෝ රුපවාහිනී නාලිකා විසින්, මහමග ගැවසෙන ජනතාවට මනාව අමතක කළ නොහැකි, ජනතාවට අමා සැප ලබාදෙන සේවාවක මුදලාලි කෙනෙකු ගෙන්වා අය වැය පිළිබඳ කතිකාව ශක්තිමත් කිරීමට සිතනවා විය හැක.

මේ ආකාරයට “හිරු ටීවී“ -බලය- වැඩසටහනට අය වැය පිළිබඳව විද්වත් කතිකාව බලසම්පන්න සහ ආකර්ෂණීය කිරීම සඳහා බස් ගැමුණු හෙවත් ගැමුණු විජේරත්න නම් එක්සත් ජාතික පක්ෂ මැතිවරණ තරඟ අපේක්ෂකයා ද 2015 දෙසැම්බර් 17 වනදා කැන්දාගෙන විත් තිබුණි.දීර්ඝකාලීන සේව්‍ය සේවක දෙපාර්ශවයේ අද්දැකීම් ඇති වෘත්තීය සමිති නායකයින් අතර බස් ගැමුණු ඉන්ද්‍රකීලයක් සේ බැබළෙන්නට තැත් දරනු දක්නට ලැබුණි. කෙසේ වෙතත් බස් ගැමුණු හා සැසඳීමේ දී නම කී සැනින් සෝවියට් දේශය මතක්වෙන ජෝශප් ස්ටැලින් ගුරු සංගම් නායකයාට අත් වන ඉරණම ද නොකියාම බැරිය.

අප මේ සාකච්ඡාවට බඳුන් කරනු ලබන අය වැය ලේඛනය දැන් පාර්ලිමේන්තුවේ එක් ඡන්ද විමසීමකදී ද සම්මත වී ඇත. සරල බහුතරයෙන් නොව තුනෙන් දෙකකින්ම සම්මත වී ඇත. එවන් තත්තවයක් තුල ඊළග වතාවේත් සම්මත වීමේ අවදානමක් ඇති අමන අය වැය හෙවත් ශ්‍රී ලංකා ඉතිහාසයේ අපූරුම අය වැයට විරුද්ධව තිබූ වර්ජනය පවා අකුළාගත් ජෝෂප් ස්ටැලින්ලා සිටිනා වූ අන්තය මෙම “බලය“ වැඩසටහනේ දී මනාව දිස් වීය.අතීසාරයට අමුඩ ගසන්නා සේ වරින්වර ආණ්ඩුවේ ඇත්තන් ප්‍රසිද්ධ කරනු ලබන ලියවිලි හැරුණු විට, මේ අය වැයේ ඇති ජනතා විරෝධී හා දේශ ද්‍රෝහී ක්‍රියා මාර්ග හකුළා ගැනීම් පිළිබඳ කිසිඳු සහතිකයක් මෙතෙක් ලැබී නැත. රනිල් ගේ හා සිරිසේනගේ ඉනාවක් කෑවා සේ අන්ධ භක්තියෙන් යුතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ද මෙම අය වැයට පක්ෂව ඡන්දය දී ඇත. ඉදිරියේ දීත් එයම සිදුවනු ඇත.

මෙවන් තත්ත්වයක් තුළ ජෝශප් ස්ටැලින් වැනි ගුරු සංගම් නායකයින් ද රනිල් ගේ කූඨ ප්‍රකාශ විශ්වාස කිරීම ඇදහිය නොහැකියැයි කෙනෙක් පැවසිය හැක. නැත. දැන් එසේ සිතන්නට අවැසිම නැත. ස්ටැලින්ලා සහ රත්න(අ)ප්‍රියලා මුසපත්ව සිටින්නේ මහින්ද විරෝධී වෛරී සහගත සිතිවිලිවලිනි. එය ඔවුන්ගේ කියුම් කෙරුම්වලින් මනාව ගම්‍ය වෙයි.

අය වැය සම්බන්ධ “බලය“ වැඩසටහනේ දී ඔවුන් හැසිරුණු ආකාරය ඊට කදිම නිදසුන්ය. මේ අයගේ ප්‍රකාශ දුර සිට අහනවාට-බලනවාට වඩා, රූපවාහිනී මාධ්‍ය යේ සමීප රූප බොහෝ ගැඹුරු කතා අපට අවබෝධ කරවන්නට සමත්ය.

බස් ගැමුණු ගේ වාග් විලාශය හා අංග චලනයන් බැස්ටියන් මාවතේ බස්නැවතුමේ සිටින රනර් කෙනෙකු පරයා ඉදිරියටම ගියේය. බස් ටිකැට්ටුවෙන් ඉතුරු සල්ලි රුපියල් 2ක් හෝ 5ක් ඉල්ලූ විට ඉහ නිකට නොබලාම ඇඟට කඩා පනින 138 පාරේ කෙන්දොස්තර මල්ලිලා තව හොඳය.රාජ්‍යය සතු වටිනාම සම්පතක් වන බැංකු ක්ෂේත්‍රය විනාශ කිරීමට අය වැයෙන් ගෙන ඇති තීරණ හකුළා නොගත් රජයට එරෙහිව එක් දින වර්ජන පියවරක් ගැනීම බස් ගැමුණුගේ උදහසට බඳුන් වන්නේය. බස් ගැමුණු මුදලාලිගේ දැනුමේ සහ විග්‍රහයේ හැටියට බැංකු සේවකයින් ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය දරුණු ගණයේ අපරාධයකි.

වැරදිලාවත් මෙතැන වෛද්‍ය වෘත්තිකයෙක් සිටියානම් බස් ගැමුණු අතින් මිනී මැරුමක් වන්නට ඉඩ තිබුණි. එසේ නොසිටීම උගත් බුද්ධිමත් දොස්තර මහතෙකුගේ වාසනාව යැයි සිතමි.

කෙසේ වෙතත් අධ්‍යාපන ක්ෂේත්‍රයට මුදල් වෙන් කිරීමේ සිට විශ්‍රාමිකයා දක්වා අසත්‍ය සහ වැරදි අංක විජ්ජා පෙන්වන අය වැයක් කෙසේ නම් සාධාරණීකරණය කරන්නේද යන විලිලැජ්ජාවවත් මේ උන්දැලාට තිබුණාදැයි සිතා ගත නොහැකි. සියල්ල මහින්ද සමඟ ඇති වෛරයෙන් වැසී ගොසිනි.අය වැය ගැන කතා කිරීම පසෙක තබා මහින්ද – මහින්ද – මහින්ද සහ නැවත නැවතත් මහින්ද ලෙස වෛරයෙන් ඇඹරීම හා විරිත්තීම මිස වෙන යමක් ගැමුණුගෙන් පිට වූයේම නැත.

කෙසේ හෝ තමන්ගේ හුදු ලාබය වෙනුවෙන්ම වර්ජන ක්‍රියා මාර්ග සඳහා අවතීර්ණ වූ-අවතීර්ණ වන බස් ගැමුණු මුදලාලි, බැංකු සේවක වර්ජනය පිළිබඳ වෛරයෙන් වහසි බස් දෙඩවීමම විහිළුවකි.

බස් ගැමුණුට නොදෙවෙනි ප්‍රකාශ මා හිතවත් ජෝශප් ස්ටැලින් සහෝදරයාගෙන් පිටවීම මටනම් ගෙනදුන්නේ කනගාටුවකි.රනිල්-රවී-සිරිසේන අය වැයක් රට ඉදිරියේ තිබේ. ඉහත සඳහන් කළ හා නොකළ කරුණු රැසකින් යුතු එය ඓතිහාසික එකකි. ගමේ ගොඩේ භාෂාවෙන් කියතොත් මේ අය වැය අතීසාරයට අමුඩයකි.

හිරු ටීවී බලය දේශපාලන වැඩසටහන නැරඹූ මම නින්දට යන විට කල්පනා කළේ එක් දෙයකි. එනම්, සංවාදයට එක් වූ වෘත්තීය සමිති නායකයින් දෙදෙනෙක් හැරුණු විට ඉතිරි දෙදෙනෙක් අතීසාරයට අමුඩ මාරු කරගත් බවකි.ගුරු සංගම් ස්ටැලින් ගෙන් බස් ගැමුණු අමුඩ ගැසුවේ ද ? නැතිනම් බස් ගැමුණු ගෙන් ස්ටැලින් අමුඩ ගැසුවේද ? ස්ටැලින් අමුඩයට හසු වුයේ නම් සැබැවින්ම දුකකි.කෙසේ වෙතත්, බස් ගැමුණු වන් ආර්ථික විශේෂඥයෙක් සමඟ ඓතිහාසික අය වැය ලේඛනයක් සම්බන්ධව, චිද්වත් කතිකාවක් නරඹන්නට අවස්ථාව සලසා දී, වැඩසටහන තුළ වැඩි වේලාවක් නිහඬව සිටි සුදේව නිවේදක මහතාටත් ස්තූතියි.

– ජනිත් විපුලගුණ –
2015 දෙසැම්බර් 19
මාතර දී ය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.