Breaking
21 Feb 2025, Fri

“බැසිල් අපට නිහඩව ඉන්න කියන්නේ රනිල්ගේ කොන්ත්‍රාත්තුවකට”… ඒකාබද්ධයේ ඔස්තාර්ට නොතේරෙන දේ…! රනිල් ආණ්ඩුව වට්ටපු හැටි…!

Published on: Sep 10, 2018- “මිනිසුන් දහසක් පිරිවරා සිටි යෝර්කයේ මහා වංශක්කාර ආදීපාදිවරයා කන්ද මුදුනට ඔවුන් මෙහයවිමෙන් අනතුරුව ආපසු කඳු පාමුලට ඔවුන් මෙහයවිය…”

මේ 1975 මහ ඡන්දයක් අරන් දෙන්න ජනතාවට පොරොන්දු වූ ජේ.ආර්.ට එය කළ නොහැකි වූ විට ඔහුගේම පක්ෂයේ ප්‍රබලයන් සමච්චලයට කී කතාවය. 1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය ආණ්ඩුවේ නිල කාලය අවසන් වීමට නියමිත 1975 මහ ඡන්දය නොපවත්වා ආණ්ඩුවේ කාලය වසර දෙකකින් දීරඝ කර ගත්තාය .ජේ.ආර්. මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී බව පවසමින් 1975 ඡන්දයක් අරන් දෙන්න ජනතාවට පොරොන්දු වී විරෝධතා ව්‍යාපාර, සත්‍යග්‍රහ,රැස්වීම් සංවිධානය කළේය. එත් එම විරෝධතා ව්‍යාපාරවලින් ජේ.ආර්. හෙම්බත් වුණා මිස මහ මැතිවරණයක් අරන් දෙන්න ජේ.ආර්. ට බැරි විය.හතර ගාතයෙන් වැටුණු ජේ.ආර්. ගේ ඇතුළට රිංගා ගත්විට එජාපයේම ප්‍රබලයන් ජේ.ආර්. සමච්චලයට ලක් කළේ මේ කතාව කියාය.

බදාදා මහින්දගේ ජන බලයට ආ මිනිසුන් ගෙදර ගියේත් මේ කතාව කියමින්ය. 2015 පරාජය වූ මහින්ද, මහින්දවාදීන්ව කන්ද මුදුනට අර ගෙන ගියේ පහු ගිය පුංචි ඡන්දයේ ජයග්‍රහණයෙන්ය. මහින්ද කඳු මුදුනට ගියේ ගෝල්ෆේස් මහ ජන ගංගාව තරණය කරලාය. මිනිසුන් මහින්දට පුංචි ඡන්දයේ ඡන්දය දුන්නේ අයෙත් කොළඹට ජනතාව කැඳවන්න නොවේය. කුමක් හෝ ක්‍රමයකින් ආණ්ඩුව ගන්න කියාය. ගෝල්ෆේස් ජන ගංගාවට පසු අයෙත් මහින්ද ජන ගංගාවක් පෙන්නනවා නම් ඒ ඊට වඩා එහාට ගිය එකක් විය යුතුය. එත් මහින්දට ගෝල්ෆේස් ජන ගංගාවට එහාට ගිය එකක් නොව, ගෝල්ෆේස් ජන ගංගාවවත් පෙන්වා ගන්න බැරි විය. මෙයට කලින් මහින්ද තවත් ජනබල මෙහෙයුමක් කළේය. ඒ , ගෝල්ෆේස් ජන ගංගාවට පසු කළ පළමු ජනබල මෙහෙයුමය. එය අන්තිම අසාර්ථකය. බදාදා ජනබල මෙහෙයුම කළේ ඒ අසාර්ථකත්වය මකාගන්නටය.එත් ඒ ජනබල මෙහෙයුමත් සාර්ථක නැත.

හැමෝම කියන්නේ බැසිල් හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ කියාය. දැනෙන විදිහට බැසිල් මහින්දට උපදෙස් දී ඇත්තේ පළාත් පාලන ඡන්ද ජයග්‍රහණයෙන් පසු ටික කාලයකට නිහඩව ඉමු කියන එකය. එත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට තියෙන්නේ පුදුම කිරිපණු ගායක්ය. ඔවුන්ට අද හෙට ආණ්ඩුවක් ඕනෑය.ඇමතිකම් ඕනෑය. පුංචි ඡන්දයෙන් රනිල්ට එරෙහි විශ්වාස භංගය ගෙනත් පස්ස බිම ඇණ ගතේ ඒ කිරිපණු ගාය නිසාය. ඒ වැටුණු වැටිල්ලෙන් ගොඩ යන්න කොළඹට සෙනග ගෙනත් පෙන්වමු කියා ජනබල මෙහෙයුමක් කළේය. එයින් තව වැටුණි. බදාදා ජනබල මෙහෙයුමෙන් තවත් වැටුණි.

ගෝල්ෆේස් ජන කන්දෙහි සහ ජන බලයෙහි වෙනස ගෝල්ෆේස් එක පුරවන්න බැහැ කියල බැසිල් මුල සිටම පෙන්නුවේය. ගෝල්ෆේස් ජන කන්දට කලින් හැමෝම හිනා වුණේ ගෝල්ෆේස් මෙහෙයුම ඇණ ගනී කියාය. බැසිල් ඒක ප්‍රචාරය කර හැරියේය.හැබැයි ජන බලයට කලින් ජන බලය කොළඹ වටලා රෑ නොනිදා මහින්ද අගමැති වන තෙක් ගමට යන්නේ නැතැයි ඒකාබද්ධයේ ඔස්තාර්ලා ප්‍රචාරය කළහ. ජන බලය මේ තරම් කඩා ගෙන වැටුණේ ඒ පූර්ව ප්‍රචාරක මෙහෙයුම නිසාය.

“එකක් කඩතොලු මකා ගන්නට
ගිහින් මට වුණු කාරියා
දෙකක් කඩතොලු හදා ගත්තයි
ඉඳුරුවේ ආචාරියා”

මේ ප්‍රේමදාස වරක් ලක්ෂ්මන් ජයකොඩිට කී කවියකි. ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ඔස්තාර්ලාටත්, ආචාරින්ටත් අද වෙලා තියෙන්නේ ඕකය.

“බැසිල් අපට නිහඩව ඉන්න කියන්නේ රනිල්ගේ කොන්ත්‍රාත්තුවකට” මේ ඒකාබද්ධ විපක්ෂයේ ඔස්තාර්ලා පොදුජන පෙරමුණු කාර්යාලයෙන් එළියට ඇවිත් කුටු කුටු ගාපු හැටිය. බැසිල් කළේ රනිල්ගේ කොන්ත්‍රාත්තුවක් නොවේ. බැසිල් කළේ රනිල්ගේ ගේම් එකක් කොපි කිරීමය.රනිල්, චන්ද්‍රිකාගේ කාලයේ වේවා, මහින්දගේ කාලයේ වේවා ආණ්ඩුව බලවත් බව තේරුම් ගිය විට කරන්නේ අකුළා ගැනීමය. පක්ෂයත් අකුළලා රට රටවල සවාරි ගැසීමය. එවිට ආණ්ඩුව හිතන්නේ තමන්ට හතුරෙක් නැහැ කියාය. ඉන් පසු ආණ්ඩුව, ආණ්ඩුව ඇතුළෙන්ම හතුරෝ හදා ගනී. එක එකාගේ බෙලි කපා ගන්න පටන් ගනී. ආණ්ඩුව ඇතුළේ ඉරිතලලා පුපුරන්න පටන් ගන්නේ එවිටය. රනිල් කරන්නේ පුපුරන විට කෑලි අහුලන එකය.

පළාත් පාලන ජයග්‍රහණය බැසිල් හිතපු ජයග්‍රහණයක් නොවේ. හැබැයි ඒ ජයග්‍රහණයට බැසිල්ද බය විය. මේ ජයග්‍රහණයෙන් ආණ්ඩුව පෙරළන්න බැරි බව බැසිල් දැන සිටියේය. ඔහුට ඕනෑ වන්න ඇත්තේ මහ මැතිවරණයක්, ජනාධිපතිවරණයක් එන තෙක් මේ ජයග්‍රහණය කාල කළමනාකරණය කර ගන්නටය. ඒ සඳහා ටික කාලයක් නිහඩව සිට ආණ්ඩුව ඇතුළේ අර්බුද නිර්මාණය වෙන්න ඉඩ දෙන්න ඔහුට ඕනෑ විය. ඇත්තටම පළාත් පාලන ඡන්දයෙන් පසු ලොකුම අර්බුදය එජාපය ඇතුළෙන් පටන් ගත්තේය. ඒ අර්බුදය මෝරන්න ඉඩදී එජාප මන්ත්‍රීවරුන් පිරිසක් බා ගන්න හැකියාව තිබියදී ඒකාබද්ධ විපක්ෂයේ ඔස්තාර්ලා රනිල්ව පන්නා අගමැති ධූරය ලබාගන්න ගොස් එජාප අර්බුදය අවසන් කොට රනිල්ව ශක්තිමත් කර දුන්නේය.

බැසිල්, මෛත්‍රීපලාගේ ශ්‍රීලනිප ඇමතිවරුන් දැන්ම කඩන්න එපා කියල කිව්වේත් ඔවුන් එළියට අවොත් මෛත්‍රී සහ රනිල් අර්බුදය හදන්න කවුරුත් නැති වෙන නිසාය. ඉස්සර රනිල්ගේ ආණ්ඩුව කරන කරන දේ ශ්‍රීලනිප ඇමතිවරු විවේචනය කළහ. ආණ්ඩුවේ ආර්ථිකය අකර්මන්‍ය වුණේ ඒකෙන්ය. අද එහෙම විවේචනය කළ අය ඔක්කොම ඉන්නේ ඇමති ධුර නැතිව මහින්ද එක්කය. ඔවුන් ඔක්කොම ජනබල මෙහෙයුමටත් ආහ.

පුංචි ඡන්දය පවත්වා වසරක් ගතවීමට තව ඇත්තේ මාස කිහිපයකි. මේ මාස කිහිපයට පේන්නේ මහින්දගේ නැගීමක් නොව වැටීමකි. ජනාධිපතිවරණයට තව කල් තිබේ. මහ මැතිවරණයට ඊටත් වඩා කල් තිබේ. මේ කාලය මහින්ද ඇද ගන්නේ කොහොමද කියල දන්නේ දෙයියෝ විතරය. 1975 මහ මැතිවරණයක් ගන්න බැරි බව තේරුම් ගත් ජේ.ආර්. 1977 තෙක් අවුරුදු දෙකක් ඇද්දේ බණ්ඩාරනායක පවුල තුළත් ආණ්ඩුවේ පක්ෂ අතරත් භේද හදලාය.ජේ.ආර්.ඒක කළේ ඉවසිමෙන්ය.මහින්දටවත් ඒකාබද්ධයේ ඔස්තර්ලාටවත් ඒ ඉවසීම බින්දුවක්වත් නැත.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු
-ගුරුදා විග්‍රහය-

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.