Featured

බෙදුම්වාදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දිනන්න එජාපයෙන් “නව යහපාලන” ආණ්ඩුවක්!

යෝජිත බෙදුම්වාදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය “නව යහපාලන” ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් හුවමාරු කරගනිමින් මේ සැලසුම නිර්මාණය කෙරෙමින් පවතින බව ‘සිරිකොත’ ආරංචි මාර්ග සඳහන් කරයි.

පිහිටුවනු ලබන නව ආණ්ඩුවට, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගේ සහාය ලබාගැනීම සඳහා එජාපයේ ප්‍රබල ඇමැතිවරුන් තිදෙනකු මන්ත්‍රිවරුන්ගේ නිවෙස් කරා යමින් මේ දිනවල මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවද වාර්තා වේ.

නව යහපාලන ආණ්ඩුවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුඩා දේශපාලන පක්ෂ නියෝජනය කරන කණ්ඩායම්ද එකතු කර ගැනිමට  අපේක්ෂා කරන බවද එම ආරංචි කියයි.

පවතින යහපාලන ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය දිනෙන් දින වැඩිවෙමින් පවතින නිසා ජනතාවගේ විශ්වාසය තව තවත් පලුදු වීමට ඉඩ නොතබා, නව යහපාලන ආණ්ඩුව නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බවද පැවැසේ.

අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ඇති කිරීමට යන නව ආණ්ඩුව පිහිටුවීම සඳහා විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් දැනටමත් සහයෝගය දැක්වීමට එකඟත්වය පළකර ඇති බවද දැනගන්නට ඇත.එසේ සහයෝගය දක්වන පිරිස අතර ශ්‍රී ලනි පක්ෂයට සම්බන්ධ මන්ත්‍රිවරුන් පිරිසක්ද සිටින බව වාර්තා වෙයි.

නව ආණ්ඩුවට සහයෝගය දක්වන මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රි ධුරයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවුව හොත් එ.ජා. පක්ෂයේ ජාතික ලැයිස්තුව යටතේ සිටින මන්ත්‍රිවරයකු අස්වී ඒ සඳහා අවස්ථාව සැලසීමට පවා සාකච්ඡා වී ඇති බවද දැනගන්නට ඇත.නව ආණ්ඩුව බිහිවීමත් සමඟ විපක්ෂ නායක තනතුරේ පවා වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

Top