Breaking
23 Feb 2025, Sun

මංගල කියන්නෙ බුදු පිළිම වහන්සේ නමකගෙ බෙල්ල ළඟින් අල්ලපු මිනිහෙක්…. මෛත්‍රිපාල හා මහින්ද අවලංගු වීම

Published on: Jan 16, 2018 –  මහින්දගෙ ආණ්ඩුවෙ හා මෛත්‍රිපාලගෙ ආණ්ඩුවෙ ප්‍රධාන ම වෙනස ඇමතිවරුන්ට ඇති නිදහස පිළිබඳ ව තියෙන්නෙ. මේ දෙදෙනා ම රනිල් වගේ නොවෙයි මහජන මතයට තරමක් හරි ඇහුම්කන් දෙනවා. ඒකත් ශ්‍රී ල නි ප හා එ ජා ප අතර ඇති එක් වෙනසක්. එ ජා පක්‍ෂය බටහිර ඊනියා ජාත්‍යන්තරවාදී සංස්ථාපනයේ පක්‍ෂය. ඔවුන් මූලික ව හිතන්නේ මහජනයා ඔවුන් කියන ආකාරයට වැඩ කළ යුතුය කියා. එසේ වැඩ කරන විශාල පිරිසක් රටේ සිටින බවත් අමතක කරන්න එපා. ළඟ එන පළාත් පාලන මැතිරණයෙනුත් එය තහවුරු වේවි. එහෙත් ශ්‍රී ල නි ප මහජන මතය අනුව තම අදහස් යම් දුරකට හරි වෙනස් කර ගන්න සූදානම්.

මහින්දගෙ ආණ්ඩුවෙ ඇමතිවරුන්ට නිදහසක් තිබුණෙ නැහැ. ඒ කියන්නෙ ඔවුන්ට හොර කමක් දෙකක් කර ගන්න නිදහස තිබුණෙ නැහැ කියන එක නොවෙයි. තමන්ගෙ අමාත්‍යාංශවල වැඩක් කිරීමට නිදහසක් තිබුණෙ නැහැ කියන එක. ඇමතිවරු කිසිම දෙයක් ජනාධිපතිට නොදන්වා කරන්න ගියේ නැහැ. මෛත්‍රිපාලගෙ ආණ්ඩුවෙ ජනාධිපතිට නිදහසක් නැහැ. ඇමතිවරුන් තම තමන්ට ඕන ඕන විධියට වැඩ කරනවා. හොරකනුත් කරනවා. මෛත්‍රිපාල ඇමතිවරුන් කියන කරන දේ දන්නේ නැහැ. ඔහු බොහෝ දේ දැන ගන්නේ ජනමාධ්‍යයෙන් ය කියන එක මුසාවක් වන්න බැහැ. එ ජා ප ඇමතිවරුන් ඔහුට බොහෝ දේ නොකියා ක්‍රියාත්මක කරනවා.

මංගල උදේ සිට රැ වන තුරු තැබෑරුම් ඇරීමටත් ගැහැණුන්ට බීර අරක්කු පෙවීමටත් ගෙන ඇති තීරණය මෛත්‍රිපාල දැන ගෙන තියෙන්නෙ ගුවන් විදුලියෙන්. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඔය ඉන්න උපදේශකයොවත් ඔහුට ඒ බව කියන්නෙ නැත් ද? උපදේශකයො කරන්නෙ අවුරුදු පහ ද හය ද කියලා අධිකරණයෙන් මතය විමසන්නට ලණු දෙන එක ද? ඊළඟ මැතිවරණය තියන්න වෙන්නෙ කාගෙ ජනාධිපතිත්වය යටතේ ද? රනිල් ජනාධිපති වෙන එක වළක්වන්නෙ කොහොම ද?

මෛත්‍රිපාල මංගලගෙ ගැසට්ටුව අවලංගු කරන්න යනවා. ඒත් මෛත්‍රිපාලට ඒක කරන්න පුළුවන් ද? මා මේ කාරණය කියන්නෙ මට වඩා දේශපාලනය දන්න ඇතැම් ජාතිකවාදීන් වගේ මෛත්‍රිපාලගේ කොන්ද ගැන කියන්න නො වෙයි. අද මේ රට වැටී තියෙන දුක්ඛදායක තත්වය ගැන කියන්නයි. හොඳට හරි නරකට හරි මේ ඊනියා ජාතික ආණ්ඩුවෙ සිංහල බෞද්ධකම නියෝජනය කරන්නෙ මෛත්‍රිපාල. ඊනියා ජාත්‍යන්තර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය නියෝජනය කරන්නෙ රනිල් මංගල වගේ අය.

මෙය ඊනියා සම්මුතිවාදී ආණ්ඩුවක් වන්නේත් මේ සංස්කෘතික ප්‍රවාහ දෙක අතර නොගැලපෙන දීගයක් බටහිර හා ඉන්දීය සම්මුතියෙන් ඇති කර තිබෙන නිසා. මේ දීගයේ වඩා බලවත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලිකන් ප්‍රභේදයේ ආධිපත්‍යය. මෛත්‍රිපාලගෙ කොන්දට වඩා වැදගත් වන්නෙ මේ ප්‍රශ්නය බව නන්දිකඩාල් ජාතිකවාදීන් අමතක කරනවා. කොහොමටත් ඒ ජාතිකවාදීන් අපට වඩා දේශපාලනය දන්නවා. ඔවුන් ප්‍රශ්න කොන්දට හා ආප්පවලට ලඝු කරන්නෙ ඒ නිසා.

මෛත්‍රිපාලට මංගලගෙ ගැසට්ටුව අවලංගු කරන්න පුළුවන් ද? මේ අවලංගු කතාව බොරු ඡන්ද කතාවක් නො වෙයි. මෛත්‍රිපාල මහජන මතයට කන් දීමක්. බීර මිළ අඩු කරන්න මංගල අයවැයෙන් යෝජනා කරපු එක මෛත්‍රිපාල අවලංගු කළා. එහෙත් එය අවලංගු වුණා ද? මේ අවලංගු කතාවලින් අන්තිමට අවලංගු වන්නෙ මෛත්‍රිපාල කියලා කවුරු හරි හිතනවා නම්, ඒ ගැන සතුටු වෙනවා නම් ඒක වැරදියි. මේ කතාවලින් මහින්දත් අවලංගු වෙනවා. මේ කතාවලින් අවලංගු වන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතිය. ඒත් නන්දිකඩාල් ජාතිකවාදීන් අපට වඩා දේශපාලනය දන්නවා.

අද වන විට රනිල් ඉවත් කළ යුතුය යන මතය සමාජයට ගිහින්. ඒකට අවුරුදු තුනක් පමණ කාලයක් ගියා. බටහිරයනුත් ඉන්දියාවත් ඒ සමාජගත වීම දන්නවා. මෛත්‍රිපාලත් ජනමතයට කන් දීමට සූදානම්. එහෙත් ඔහුට ඇතැම් රාජපක්‍ෂලාගෙන් අවශ්‍ය සහාය ලැබෙන්නේ නැහැ. ඒ රාජපක්‍ෂලා සිංහල බෞද්ධ සංස්කෘතිය පැත්තෙන් හිතන්නෙ නැහැ. ඔවුන්ට පෞද්ගලික කෝන්තර වඩා වැදගත්. මේ සියල්ල මැද අද චන්ද්‍රිකා හා බටහිරයන් ඉන්දියාවත් සමග එකතු වී මංගල අගමැති කරන්න හදනවා.

මංගල කියන්නෙ බුදු පිළිම වහන්සේ නමකගෙ බෙල්ල ළඟින් අල්ලපු මිනිහා. බීර මිල අඩු කරපු මිනිහා. තැබෑරුම් උදේ සිට රෑ වන තුරු අරින්න හදන ගැහැණුන්ට බීර අරක්කු බොන්න පුරුදු කරන්න සූදානම් මිනිහා. ඔහු සිංහල බෞද්ධ විරෝධියෙක්. රනිල් මංගලත් එක්ක එකතු වෙලා සමලිංගික පනත ගේන්න හදනවා. ඇතැමුනට මා ළිං මැඩියකු වෙන්න පුළුවන්, නූතනත්ව විරෝධියෙක් වෙන්න පුළුවන්. ඒත් මා යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට විරුද්ධයි. මෙරට ඇතැම් ජාතිකවාදීන් ද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට යටවෙලා.

මෛත්‍රිපාල මංගල අගමැති කළොත් තවත් අවලංගු වෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතිය එමගින් තවත් යටපත් කරනවා. දහනවවැනි සංශෝධනය රාජපක්‍ෂලාට පමණක් නොවෙයි මෛත්‍රිපාලටත් විරුද්ධව ගෙනා එකක්. ඒත් මෛත්‍රිපාලගෙ අයත් මහින්දගෙ අයත් එයට පක්‍ෂව ඡන්දය දුන්නා. සරත් වීරසේකර පමණයි එයට විරුද්ධ වුණේ. ජානක බණ්ඩාර ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඒ සංශෝධනය සිංහල බෞද්ධ සංස්කෘතිය අඩපණ කර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය තහවුරු කළ එකක් බව අදවත් මෛත්‍රිපාල තේරුම් ගන්නවා ද? මහින්ද තේරුම් ගන්නවා ද? රනිල් ජනාධිපති වුණොත් ධුර කාලය අවුරුදු කීයකට සීමා වෙයි ද? දහනවවැනි සංශෝධනයෙ 49 1 ඇ වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි ද?

ඒ වගන්තියට අනුව 2015 අප්‍රේල් මස අගමැති හා ජනාධිපති ධුර දැරූ අයට ද දහනවවැනි වැනි ව්‍යවස්ථා සංශෝධනය වලංගු වෙනවා. මෙහි අගමැති යන වචනය වැඩකට නැති එකක්. එය එක්තරා ආකාරයකින් නොමග යැවීමක්. මෙහි ජනාධිපති ධුර කාලය වෙනස් කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමතවිචාරණයකින් සම්මත විය යුතු විය යුතුව තිබූ එහෙත් ජනමතවිචාරණයක් නැතිව සම්මත කළ සංශෝධන ඇත් ද? දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති සම්මත වුණේ කෙසේ ද? මේ ඊනියා ජාතික ආණ්ඩුව දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට එකඟ ද?

මා මේ සඳහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල බෞද්ධ සංස්කෘතියට පටහැණි ද කියන ප්‍රශ්නය මතු කිරීමට. මෙරට ක්‍රියාත්මක වන යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය මතක් කිරීමට. මංගල අගමැති කර රනිල් තාවකාලිකව අගමැති ධුරයෙන් ඉවත් කිරීමට සංස්ථාපනය උත්සාහ දරාවි. එහෙත් පසුව රනිල් ජනාධිපති ධුරයට ගෙනේවි. එය වැළැක්විය හැක්කේ මෛත්‍රිපාලට පමණයි. එහෙත් ඔහුට ඒ සඳහා ශක්තිය ලබා දීමට මහින්ද සූදානම් ද? එහෙම නැත්නම් දෙදෙනා ම අවලංගු වෙනවා ද?

______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-15

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.