Breaking
4 Mar 2025, Tue

මරණ දණ්ඩනය වලංගුද? එල්ලුම් ගහේ ලණුවට වඩා ලොකු ලණුවක් ගිල්ල සිරිසේන

Published on: Jul 16, 2018 – මරණීය දණ්ඩනය ගැන කතාබහ නැවත අලුත් වී ඇත. කාලයෙන් කාලයට එල්ලෙන වැලක් බවට පත්වී තිබූ මෙම මාතෘකාව නැවත අලුත් වී ඇත. මේ දිනවල කතාබහ එල්ලුම් ගහය.

ලංකාවේ කුඩු ව්‍යාප්තිය දිනෙන් දින ඉහළ යනු පෙනේ. රාජපක්ෂ යුගයේ හමුවූ කුඩු තොග යහපාලනයට දේශපාලන මාතෘකාවක් විය. යහපාලනය පැමිණි පසු ඒවාට තිත තැබෙන බව වේදිකාවල සපථ කැරිණි. එහෙත් සිදුවුයේ තිබුණාට වඩා දෙගුණ තෙගුණ මට්ටමට මෙරට කුඩු ව්‍යාප්තවීමය. එය වසංගතයක් බවට අද පත්වී ඇත. රාජපක්ෂ යුගයට හපන් කුඩු ව්‍යාප්තියක් අද සිදුවේ. එයින් පෙනීයන්නේ මේවා පාලනය කිරීම හෝ නැතිකර දැමීමට නීතිය පැත්ත ශක්තිමත් නොමැති බවය. දැන් මෙයට ජනපති පිළියමක් හොයාගෙන ඇත. එනම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමන් ක්‍රියාකරන බවට ගෙන ඇති තීරණයයි. මෙය කුඩු වළක්වා ගැනීමට පිළියම වේද?

අලි යන ගුල් තිබියදී කූඹි යන ගුල් වැහීම වැනි වැඩක් වන මෙය කුඩු නතර කිරීමේ සාර්ථක පිළියම වෙතැයි අපි නොදනිමු. කුඩු මෙන්ම පාතාලය රට පුරා ව්‍යාප්ත වන්නට ඍජුවම දේශපාලන චරිත බලපායි. එසේ නම් ඔවුන් සිටියදී ඒ මෙහෙයුම් ක්‍රියාත්මක වෙද්දී කුඩු විකුණා හසුවූවන් මරණයට පත් කිරීම කොතරම් උචිතද යන්න ගැටලුසහගතය.

සමකැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 19 දෙනකු බන්ධනාගාරගතව සිටින බවය. ඔවුන් අතරින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයන් සොයා බලා ඔවුනට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවය.

පසුගිය කාලයේ හිටි ජනපතිවරු කිහිප පොළක්ම මරණ දඬුවම ගැන කතා කළද එය ක්‍රියාවට නොනැඟූහ. මෙවර එය ස්ථිරයටම වන බව ජනපති සිරිසේනගේ ඒකමතික තීරණය වී ඇති බව පෙනේ. බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළේ සිට ජාවාරම් මෙහෙයවන්නේ නම් එයම ප්‍රශ්නාර්ථයකි. අනෙක් අතට එලෙස මෙහෙයවන්නේ මොහුය යැයි නිශ්චිත කළ හැකිනම් මේවා මැඬලීමටත් ක්‍රියා කළ නොහැක්කේ මන්ද?

රාජිත ඇමතිවරයා කියනුයේ අදාළ ලැයිස්තුව සකස් කළ වහාම ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බවය.

ජනපතිවරයාට කවුරු හෝ දී ඇති උපදෙස නම් කුඩු තුරන් කරන්නට එකම පිළියම කුඩු ජාවාරම්කරුවන් එල්ලා මැරීමය. එනිසා මරණ දඬුවම නියමව බන්ධනාගාරය තුළ සිටින වරදකරුවන් එම ජාවාරම තවදුරටත් සිදුකරන්නේ නම් ඔවුන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය ඒකමතිකව සම්මත විය.

දැනට බන්ධනාගාරගතව සිටින කුඩු ජාවාරම්කරුවන්ගෙන් මෙලෙස ඇතුළේ සිට ජාවාරම් කරන ගණන 19ක් බව පැවසේ. එසේ නම් මේ දහනව දෙනා එල්ලා මැරූ පසු මෙරට කුඩු නැත්තටම නැතිවේද? මේ දිනවල කුඩු කිලෝ ගණන් වීමෝල්වලින්ද සොයා ගැනේ. එසේ නම් මේ සියල්ල සිදුවනුයේ බන්ධනාගාර ගතව සිටින කුඩු ජාවාරම්කරුවන් නිසාද? මේ දහනවදෙනා එල්ලූ පසුත් මෙලෙස කුඩු හසුවුවහොත් ජනපති කරනුයේ කුමක්ද?

අමාත්‍ය රාජිත සේනාරත්නගේ අදහස නම් ඔහු පෞද්ගලිකව ප්‍රතිපත්තියක් ලෙස මරණ දඬුවමට විරුද්ධ බවය. මරණ දඬුවම නිසා මේ අපරාධ අඩුවෙලා නැති බව අද ලෝකයේ පිළිගැනීම වෙලා තියෙනවා යන්න රාජිත අමාත්‍යවරයාගේ අදහසය. තත්ත්වය එසේ වුවද කුඩු ජාවාරම්කරුවන්ට ලෝකය පුරා මරණ දඬුවම දෙන බවද ඔහු කීවේය. ඒ අනුව ඔහුගේ ප්‍රතිපත්තිය කුමක් වුවත් ඔහු කියනුයේද මේ දහනවදෙනාට මරණ දඬුවම දිය යුතු බවය.

දැන් බොහෝ අය බලා සිටිනුයේ මේ අය එල්ලනතුරුය. උදේ හවා මරණම මාධ්‍ය හරහා භුක්ති විඳින ජනතාව අතරින් බහුතරයක් මොවුන් ප්‍රසිද්ධියේ එල්ලනවාට වුව කැමති විය හැකිය. එහෙත් අපගේ අදහස නම් මරණීය දණ්ඩනය දුන් පමණින් මේවා නතර කළ නොහැකි බවය. නතර කළ නොහැකි නම් මිනිසුන් එල්ලුම් ගස් යැවීමෙන් පළක් නොවේ. ජනපති අත්සන් තැබීමට ඉල්ලුවද? එය වේද? නොවේද යන්න අප නොදනිමු. එහෙත් මරණ දණ්ඩනය දීම යන්න අද බොහෝ රටවල් ප්‍රතික්ෂේප කර ඇති මාතෘකාවක් වී ඇත. එයට හේතුව මරණ දඬුවම දුන් නිසා මේවා නිවැරදි වූ බවක් ඔවුන් අත්විඳ නොමැති බැවිනි.

කුඩු ජාවාරම යනු ජාලාවකි. එහි පුරුක් බොහෝය. දේශපාලනය එහි ප්‍රධානතම ජාලයයි. එසේ නම් ඒ ජාලයෙන් එක් පුරුකක් කැඩූ පමණින් සියල්ල අහවර වේද? ඉන් දැනට හසුවී බන්ධනාගාරගතව සිටින පිරිස තුරන් කළ පමණින් සියල්ල නිවැරදි වේද? රාජපක්ෂ පාලන සමයේද මෙවැනිම ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේය. එනම් තෝරා ගත් අපරාධකරුවන් බන්ධනාගාරය තුළම මරා දැමීමය. එහෙත් අද අපරාධ අඩුවීද? අපරාධයට අපරාධයෙන්ම පිළිතුරු බැඳීම අසාර්ථක වැඩකි. මේ ආණ්ඩුවේ ආයු කාලය තව ඇත්තේ ටිකකි. මේ කාලයට ජනපති පෙන්වන වික්‍රමය මෙය විය හැකිය.

රාජපක්ෂලා කළේද ආයුධ පෙන්වන්නට බව කියමින් රැගෙන යන සැකකරුවන් ඝාතනය කිරීමය. එසේ වුව කියා අපරාධ ඉන්පසු නොවීද? මේ ආණ්ඩුව යටතේද ආයුධ පෙන්වන සෙල්ලම නොබෝදා ආරම්භ කළේය. මේවා අපරාධ මැඬලීමට හැකි ක්‍රම නොවේය.

මරණ දඬුවමට පක්ෂව මෙන්ම විපක්ෂවද බොහෝ අදහස් ඇත. එහෙත් ඒ කුමක් වුවත් මරණ දඬුවම යනු යල්පැන ගිය ක්‍රමයක් බව කිව යුතුය. මෙරටද මරණ දඬුවම දැනටත් ක්‍රියාත්මක වේ. එහෙත් ඊට ජනපති අනුමැතිය නොදීය. දැන් සිරිසේන ජනාධිපතිවරයා එය කරන්නට සූදානම් වේ. සිරිසේන ජනාධිපතිවරයා පුරුදු ලෙසම වැඩක් නැති වැඩකට නැවත අතගසා තිබේ. මේ ක්‍රමයෙන් කුඩු නතර කළ නොහැකි බව නම් කිව යුතුමය. ඒ සඳහා ඊට වඩා පුළුල් සමාජ දැනුවත් කිරීමක් වුවමනා වේ. එවැනි තැනකට තල්ලු නොවී එල්ලුම් ගහ ගෙනා පමණින් ලොකු විපර්යාස නොවනු ඇතිය. එහෙත් මේ මොහොතේ එකම වැඬේ බවට ජනපතිවරයාට කවුරු හෝ ලණුවක් දී ඇත. ඒ ලණුව එල්ලුම් ගහේ ලණුවට වඩා ලොකු ලණුවක් බව කිව හැකිය.

ටිරන් කුමාර බංගගමආරච්චි -රාවය

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.