අවාසනාවට අද ටොප් ටෙන් 8 ට එන්නෙත් මීට කලිනුත් මෙවැනි අවසථාවක් හිමිකරගත් රවි කරුණානායක ඇමතිතුමන්මයි.
අපේ රටේ ජනතාවට පඩි වගේම පිං පඩි ගෙවන්නත් සමෘද්ධි විශ්‍රාම වැටුප් වැනි ගෙවීම් කරන්නත් පුළුවන් වෙන්නේ රේගුව වැනි ආයතන ආණ්ඩුවට ආදායමක් උපයන නිසායි. ආණ්ඩුවේ ආදායමෙන් 60%ක් සපයන ආණ්ඩුවේ සුරබිදෙන තමයි රේගුව. නමුත් ආණ්ඩුවේ බලධාරින්ගේ වංචා නිසා පසුගිය වසර දෙක තුල රේගුවට අහිමි වුණු ආදායම රුපියල් මිලියන 25,000කට වැඩියි. එයින් මිලියන 6,500ක් අහිමි වුණු ආකාරය පැහැදිලි කරන්න තමයි අපි අද සූදානම් වෙන්නේ.
1998 හර්ෂ ප්‍රභාත් සිල්වා කියන පුද්ගලයාපිටරට දී වාහන කෑලි කර ලංකාවේ දී පාස්සා විකිණීමේ ව්‍යාපාරයක් කර ගෙන යනවා. 1998 දී රේගුව මේක වටලනවා. හර්ෂ මේ වැටලීමට එරෙහිව රිට් 1124/98 යන නඩුව ගොනු කරනවා. වාහන කැබලි කර ආනයනය කර නැවත පාස්සා විකුණන්නේ සම්පූර්ණ වාහනයක් ආනයනයේ දී ගෙවිය යුතු දැවැන්ත බදු මග හැරීමේ කූට අරමුණින් බැවින් මෙම කොටස් සඳහා සම්පූර්ණ වාහනයකට අදාළ බදු ගෙවිය යුතු බවට උසාවිය තීන්දු කළා.
ඊට පස්සේ දේශීයව 30%ක වටිනාකමක් එකතු කරනවා යන කොන්දේසිය මත වෙහිකල්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් නමින් ආයෝජන මණ්ඩලයේ අනුමත සමාගමක් හර්ෂ ආරම්භ කරනවා.පාවිච්චි කළ වාහන කොටස් එකලස් කර වාහන නිපදවීම තමයි මේ සමාගමේ කටයුත්ත වෙන්නේ. නමුත් පාවිච්චි කළ කොටස් යෙදූ වාහන නව වාහනයක් ලෙස ලියාපදිංචි කිරීම නීතියෙන් තහනම්. ඒ නිසා මෙම වාහන ලියාපදිංචි කිරීම මෝටර් රථ කොමසාරිස් ප්‍රතික්ෂේප කරනවා. ඒ තීරණය අභියෝගයට ලක් කරලා හර්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයේ එස්සී එෆ්ආර් 304/2011 යන නඩුව පවරනවා. ඒ නඩුවේ දී අමාත්‍යාංශය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත යැයි පවසමින් දෙපාර්ශවය අතර සමථයක් විධියට වාහන 2,250ක් ලියාපදිංචි කරන්න එකඟ වෙනවා.
සමථයේ දී එකඟ වුණේ වාහන ලියාපදිංචි කිරීමට පමණක් වුවත් ඒ සමථය පෙන්වා ආනයන පාලක නොමග යවා වාහන 2,250ක් සඳහා අවශ්‍ය වාහන කොටස් ආනයනය කිරීමට බලපත්‍රයක් ගන්නවා. නමුත් ඒ යටතේ ගෙනා වාහන කොටස් රේගුව රඳවා ගන්නවා. සමථයේ දී වාහන කොටස් ගෙන්වීමට අවසර නොදුන් නිසා රිට් 1124/98 නඩුවේ තීන්දුව අනුව සම්පූර්ණ වාහනයකට අදාළ තීරු බදු ගෙවිය යුතු බවට රේගුව තීරණය කරනවා.
2015 ආණ්ඩු පෙරලියෙන් පසු නව මුදල් ඇමති කෙනෙකු පත් වෙනවා. රවි කරුණානායක මැතිතුමන් මුදල් අමාත්‍ය දුරයට පත්වෙනවා. එතුමා කරන්නේ මොකද්ද? 2016 අයවැය කතාවේ දී අයවැය යෝජනා අංක 560 ලෙස ලංකාවේ පාවිච්චි කරන ලද වාහන කොටස් එකතු කරලා වාහන හදල තියෙනවනම් ඒ වාහනවලට දඩ මුදලක් අය කරල ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබා දීමට යෝජනා කරනවා. මේ අයවැය යෝජනාවෙන් ලංකාවේ වාසියක් අත්වෙන්නේ හර්ෂ ප්‍රභාත් සිල්වාට පමනයි. ඒ නිසා ලංකාවේ තනි පුද්ගලයෙකුට මූල්‍ය ලාභයක් අත් කර දීමේ කූට අරමුනින්ම තමයි මුදල් ඇමතිවරයා මේ යෝජනාව අය වැයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. එතැනින් නතර වෙන්නේ නෑ. 2016.09.30 දින 16/1586/719/103 දරණ ඇමති මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරමින් හර්ෂ ප්‍රභාත් සිල්වා සංස්ථාපනය කරල තියෙන වෙහිකල් ලංකා සමාගමට 304/2011 නඩු තීන්දුව අනුව කටයුතු කරන මෙන් නිර්දේශ කරනවා. ඇත්තෙන්ම ඇමතිවරයා මෙයින් උත්සාහ කලේ නඩු තීන්දුව පෙන්වමින් ඇමති මණ්ඩලය ද නොමග යැවීමටයි.
රේගු නිලධාරින්ගේ ගණනය කිරීම් අනුව වාහන කැබලි මත අය කරන බදු අය කලොත් එක් වාහනයකට බදු ගෙවන්න වෙන්නේරු661,268ක්. නමුත් 1300සීසී කුඩාම වාහනයටත් රු3,575,000 බදු ගෙවන්න වෙනවා. ඒ අනුව එක වාහනයකින් වන අවම පාඩුව රු 2,913,732යි. වාහන 2250කට 6,555,897,000ක්. ඒත් ඔක්කොම 1300 සිසි වාහන නොවේනෙ ගෙන්වන්නේ. ඒ නිසා මේ පාඩුව බිලියන 6.6 සිට බිලියන 25 දක්වා ඉහළ යන්න පුළුවන්.
අද අපි අල්ලස් කොමිසමටත් අපරාධ පරීක්ෂණ කොට්ඨාශයටත් රවි කරුණානායක ඇමතිතුමාට එරෙහිව පැමිණිලි කරනවා. සියළුම සාක්ෂි සහිතව. අපට තිබෙන තොරතුරු වලට අනුව ඊයේ ඇමති මණ්ඩලයට මේ සඳහා අනුමැතිය ඉල්ලා රවි ඇමතිතුමා පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඇමති මණ්ඩලය ඒ පත්‍රිකාව අධ්‍යනය කරන්න ඕනෑ කියලා කල් ඉල්ල ගෙන තිබෙනවා. අපි ඇමති මණ්ඩලයටම කියනවා දැන හෝ නොදැන මේ මහ වංචාවේ කොටස්කරුවන් වෙන්න එපා. එක් පාප කර්මයක් විතරක් නොවේ හිරේ විලංගුවේ වැටෙන වංවාවක්. අපේ රංජන් රාමනායක ඇමතිතුමන්ගේ වචනයෙන් කියනවනම් හෙන ගහන අපරාධයක්.
රවි කරුණානායක ඇමතිතුමනි, මේ කාරණයේ වංචාවක් නෑ කියලා ඔබතුමා අවංකවම විශ්වාස කරනවා නම් එන්න මා සමග ප්‍රසිද්ධ විවාදයකට. තනියෙන් මාධ්‍ය හමු තියලා පාළු ගෙයි වළං බිඳිනවා වෙනුවට මා සමග විවාදයට ඒවි කියලා ඇමතිතුමාගෙන් බලාපොරොත්තු වෙනවා.
2017.2.15 දින ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වු අදහස්.