Breaking
17 Apr 2025, Thu

මහින්දගෙන් මස් රාත්තලම ඉල්ලා පණ්ඩකලාගේ කටු කළඳෙන් සැනසෙන බේබද්දෝ

මීට වසර තුනකට පෙර, එනම් 2012 දෙසැම්බර් 12වන දින ළංවෙත්ම රටේ අස්සක් මුල්ලක් නෑරම වූ මහා ඝෝෂාවකි. විඤ්ඤාණවාදීන් සහ භෞතිකවාදීන්ද හරි හරියට ඒ දිනය වනවිට විවිධ කෙස් පැළෙන කර්ක විතර්ක ඉදිරිපත් කරමින් මාධ්‍යය හරඹයක නිමග්න වූවෝය. මේ මහා ඝෝෂාවේ එකම කඩඉම වූයේ 2012. 12. 12 මැදියම 12 පසු කරන්නේ කෙසේද යන්නයි. 2012 දෙසැම්බර් 13 වන දිනට ද එළිවීය. කන්දක් විළිලා වැදූ මී බෙට්ටක්වත් නැති වීය. සාස්තරකාරයෝත් නැත. මාධ්‍යකාරයෝත් නැත. විජ්ජාකාරයෝත් නැත. කිසිවෙකුට හෝ අධෝ වාතයක් පිටවූ තරම්වත් වගක් නැති පරිසරයක් වීය. හරියටම ඉන් වසර තුනකට පසුව සිරි ලංකාවේ ද ඇති වූයේ මහා මාධ්‍ය ඝෝෂාවකි. එහි නෂ්ටාවශේෂ තැන තැන ඉතිරි වී ඇති පසුබිමක මෙම සටහන තබමි.

2012 දෙසැම්බර් මස 12 වැනිදා වනවිට පෙරකී මාධ්‍යක ඝෝෂාව පිළිතුරු සෙවූයේ එදින සිදු වන බවට කිසිවෙකු පැවැසූ බව විශ්වාස කළ ලෝක විනාශය වළක්වා ගන්නේ කෙසේද යන්න නොව එහි අසිරියයි. නො එසේනම් ඒ ලෝක විනාශයෙන් පසු අවට සරන ගන්ධබ්බ ජීවිත ගැන ය. 2015 දෙසැම්බර් 12 වන දින වනවිට එක් මාතෘකාවක් නොව කිහිපයක් ගැන ඝෝෂාවක් නිර්මාණය වී තිබුණි.

රාජ්‍ය සේවයේ කප්පාදුව.
පොහොර සහනාධාර කප්පාදුව.
විශ්‍රාම වැටුප් කප්පාදුව.
රාජ්‍ය ආයතන විකිණීම.
මූලික වැටුප ඉහළදමා ගැනීම.
අර්ථසාධක අරමුදල් පිල්ලිය. ආදිය ඒ මාතෘකා අතරින් කිහිපයකි.මේ මාතෘකා බොහොමයක් අලුතින්ම නිර්මාණය වූ ඒවා වන අතර, ඇතැම් ඒවා මහින්ද රාජපක්ෂ පාලන කාලයේ කරළියට විත් ඔවුන් විසින් හකුළාගත් ඒවා ය. මේ සියල්ල මහා විනාශයක පෙර නිමිති ලෙස සමාජ ගතවන්නේ රවී කරුණානායක නම් මුදලට ඇමතිත් නොවන එහෙත් මුදල් ඇමති බව පවසන ඇමතිවරයා විසින් ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කළ අය-වැය හෝ වැය-අය කතාවෙන් පසුවය.

මහින්ද රාජපක්ෂ රාජ්‍ය සමය මතක් කළ බැවින්, මහින්ද රාජපක්ෂ ජනපතිවරයා මුදල් ඇමතිවරයා ලෙස අවසන් වරට ඉදිරිපත් කළ අය-වැය අමතක නොකළ යුතුය. එම අය-වැයෙන් රාජ්‍ය සේවකයාට රුපියල් 2500 ක් වැඩි කළ බව දැන් නිට්ටාවට මතකයේ ඇත්තේ කීයෙන් කීදෙනාටද යන පැනය ද පළමුව අසා පිළිතුරක් දැන ගත යුතුමය. මෙය කියවන ඔබත් මොහාතක් ඒ ගැනත් සිතනු ඇතැයි මම සිතමි. මහින්දගේ ආණ්ඩුව පාසැල් නිල ඇඳුම් නිසි පරිදි දෙද්දී, 2015 වසරේ ජනවාරියේ සිට රුපියල් 2500 ක් මූලික වැටුපට එකතු කරද්දී, යතුරු පැදියක් ගන්නට රුපියල් 50,000/= ක් ලබාදෙද්දී, පුද්ගලික අංශයට ද වැටුප් වැඩිවීම් ලබාදෙද්දී, පොහොර සහනාධාරය එලෙසම ලබාදෙද්දී, වී-තේ-පොල්-රබර් සඳහා නිසි මිලක් ගෙවද්දී, සමෘද්ධී සහනාධාරය රුපියල් දහසකින් වැඩිකරද්දී, මහපොළ ශිෂ්‍යත්වය රුපියල් දෙදහසකින් ඉහළ දමද්දී එය එපා කියූ ජනතාවක් යහපාලනයේ නාමයෙන් ලබන ප්‍රතිලාභ මොනවාද ?

2012 දෙසැම්බර් 12 වැනිදා සිදුවන බවට තක්බීර් වී මොරදුන්නාටත් වඩා මහා මාධ්‍ය ඝෝෂාවකින් පසුව මේ අර අරඇන්දේ කුමන ආකාරයේ වැඩ වර්ජනයකට ද ?

මේ වැඩ වර්ජනය සඳහා කැසපට කැවූ සමන් රත්න (අ)ප්‍රියලා දුටුවනම මේ ගොනුන් හැරෙන්නේ කුමකටද..? යනු අපට නම් පැහැදිලිව දර්ශනය වීය. මේ වැඩවැරුම අසමජ්ජාති ප්‍රෝඩාවක් බවට, මොවුන් ගේ හැසිරීම් මනාව හඳුනාගත හැකි මට නම් අපූර්වත්වයක් ගෙන දුන්නේම නැත. මෙය කිසිසේත්ම සිදු නොවන බවට මම නම් පෙර දීම කීවෙමි. කෙසේ වෙතත් එසේ වන්නේ ඇයි ? යන්න දැන් අපි මනෝමූලව විසඳා ගතයුතු පැනයයි.

රනිල්-රවී-සිරිසේන වැය-අය සැබැවින්ම ජනතා ද්‍රෝහී පමණක් නොව දේශ ද්‍රෝහී වැය-අය ක් බව පියවි සිහි ඇත්තෝ දනිති. සැමට තේරුම් යන භාෂාවෙන් මෙම Budget එක දේශ ද්‍රෝහී වන්නේ කෙලෙසකද යන්නට උදාහරණ ඇතිපදම් දිය හැක. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ව්‍යාපාර පුද්ගලික අංශයට පමණක් නොව විදේශිකයනට ද විකුණන සැළසුම් මේ අය-වැය තුල අන්තර්ගත වීමෙන්ම එය දේශ ද්‍රෝහීය. රටේ භූමිය විදේශකයින්ට පැවැරීමම ද්‍රෝහී ය.

සරලව අවසන් කළ නොහැකි එහෙත් අවසානයක් නැති මෙම සටහනේ අවසානයේ අපට කළ හැක්කේ සංසන්දනාත්මක විග්‍රහයකට යාම පමණි. මහා බලසම්පන්න යක්ෂයෙක් ලෙස වෙස් ගන්නවා සමාජගත කරවූ මහින්ද රාජපක්ෂ පාලනයත්, මහානුභාව සම්පන්න ශ්වේත රාජයෙක් ලෙස අභිෂේක ගැන් වූ සිරිසේන-රනිල්-සම්බන්ධන් පාලනයත් දැන් සංසන්දනය කරන්න.

මා විසින් දින දෙකකට පෙර කතාබහකට හවුල් කරගත් ඒකාබද්ධ විපක්ෂයේ කෙරුමෙකුට අනුව, අලුත් ආණ්ඩුව – තවම මාස හතරයි – ජනප්‍රියයයි වගේ ළඳ බොළඳ තර්ක නොමැතිව සරල උදාහරණ කිහිපයකින් මෙම පාලන දෙක සංසන්දනය කරන්න.

මහින්ද ආරක්ෂා කරදුන් රාජ්‍ය සේවයත් නැති, පොහොරත් නැති, සමෘද්ධියත් නැති, පාසැල් නිල ඇඳුමත් නැති, මහපොළත් නැති, මූලික වැටුපත් නැති, විශ්‍රාම වැටුපත් නැති, අවසානයේ හෙළයේ මතු උපදින පරපුරට ජීවත්වන්නට රටකුත් නැති පරිසරයක් උරුම කළේ කවුරුහුද ?

එසේ කළවුන්ට එරෙහිව කඳවුරු බැඳිය යුත්තේ කවුරුන් සමඟ ද ?

මහින්ද රැකදුන් සියල්ලට එරෙහි වූ වෝ කවුරුන්ද ? එනම් ඉහත විග්‍රහකරගත් අර්ථයෙන් නම් සමස්ත රටටම ද්‍රෝහීවූවෝ නම් හංස රෙජීමය නොවේ ද ? ඉඳින් හංස රෙජීමයේ නියමුවෝ විසින් රඟදක්වන නාඩගමක රූකඩවන්නෝ කවුරුහුද ? මේ සංදර්ශන ඔබ තවදුරටත් විශ්වාස කරනවාද ? වර්ජක – වර්ජිත සහ නරඹන සියල්ලන් විසින් ඔවුනොවුන්ගේ සැබෑ හෘදයේ සාක්ෂියෙන් විමසිය යුතු ප්‍රශ්න වැලකි.

එසේනම් මෙතෙක් සිදු වී ඇත්තේ කුමක් ද ?
හංස රෙජීමයේ ෂයිලොක්ලා මහින්දගෙන් මස් රාත්තලම ඉල්ලා සිටියෝ නොවේද ?

දැන් සිදුවන්නේ කුමක් ද ?
රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයෝ පමණක් නොව රටේම බහුතරයක් ගොනාට ඇන්ද වූ හංස රෙජීමයේ ෂයිලොක්ලා හා ජෝකර්ලා විසින් තවදුරටත් රටම ගොනාට ඇන්දවීම නොවේ ද?

තවත් වැදගත් කරුණක් නම්, ජාතික හා අන්තර්ජාතික වශයෙන්ද රටක අනාගත සැලසුම් තීරණය කරන වැදගත්ම මූල්‍ය ලියවිල්ල මේ ආකාරයට හිතු හිතූ ආකාරයට වෙනස්කම්වලට භාජනය කිරීම කෙතරම් නුවණක්කාර ක්‍රියාවක්ද යන්නයි. ජනපතිට, අගමැතිට, මුදල් ඇමතිබව කියාගන්නා එකාට සහ වෘත්තීය සමිතිවල පඟරනැට්ටන්ට අවශ්‍ය ආකාරයට දිනපතා සතිපතා හෝ මාස්පතා වෙනස්කරන ලියවිල්ලක් රටකට අත් කරන්නේ කුමන බලපෑමක් ද?

අවසානයක් නැති විරාමයක දී කෙටියෙන් පවසන්නේ නම්, මහින්දගෙන් මස් රාත්තලම ඉල්ලූ හංස රෙජීමයේ ෂයිලොක්ලා, එලොවටත් නැති මෙලොවටත් නැති පණ්ඩක එකතුවක මස්කටු කළඳකට රටේ ශ්‍රම බලකායෙන් බහුතරයක් පාවා දුන්නේය.

මම,
රටට හිතෛෂී පුරවැසියා,
-ජනිත් විපුලගුණ-
2015 දෙසැම්බර් මස 15 වැනිදා

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.