Breaking
24 Feb 2025, Mon

මහින්දලා මෛත්‍රිපාලලා එකට සිටිය යුත්තේ මැතිවරණ සඳහා නොව….තීරණාත්මක මොහොතක්

Published on: Nov 26, 2017 – මේ මොහොතේ සිංහලයන්ගේ ප්‍රමුඛතාව විය යුත්තේ කුමක් ද? සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට ඉතිහාසයේ බොහෝ විට වැරදී ඇත්තේ ප්‍රමුඛතා හඳුනාගැනීමට නොහැකි වීමත් අසමගියත් හේතුකොටගෙනයි. ප්‍රමුඛතා හඳුනාගැනීමට නොහැකි වීමට අසමගිය බොහෝ විට බලපා තිබෙනවා. පෘතුගීසීන් ලංකාවට පැමිණි සමයේ රජ පවුලේ සහෝදරවරුන් අතර තිබූ අසමගිය හේතුකොටගෙන පෘතුගීසීන් පළවා හැරීම ප්‍රමුඛතාව ලෙස හඳුනාගැනීමට නොහැකි වුණා. ප්‍රමුඛතාව වූයේ සහෝදරවරුන් අතරින් බලය තිබිය යුත්තේ කාට ද යන්නයි.

එහි ප්‍රතිඵලය වූයේ මුහුදුබඩ පෙදෙස් පෘතුගීසීන්ට ලියා දීමයි. ලිස්බන් නුවර අභිෂේක කළ දොන් ජුවන් ධර්මපාල කෙනකු අපට ලැබීමයි. ඉන්පසු යුද්ධයෙහි අති දක්‍ෂයකු වූ සීතාවක රාජසිංහ රජුට සිංහල නායකයන් සමග එකඟත්වයකට පැමිණීමට නොහැකි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස තවත් එවැනි ම දක්‍ෂයකු වූ කොනප්පු බණ්ඩාර පෘතුගීසීන් වෙතට ගියා. රාජසිංහ රජුට පෘතුගිසීන් එළවා දැමීමට නොහැකි වූවා. පසුව කොනප්පු බණ්ඩාර පෘතුගීසීන්ගෙන් වෙන් වී මහනුවරට පැමිණ විමලධර්මසූරිය නමින් සෙංකඩගල රාජධානිය පිහිටෙව්වා.

අපට යුද්ධ දක්‍ෂයන් නොසිටියා නො වෙයි. දෙවැනි රාජසිංහ රජුට යුද්ධ කරන්නට පුළුවන් වුවත් ගිවිසුම් ඇති කර ගැනීමේ අවබෝධයක් මිනිසුන් දිනාගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලය වූයේ පෘතුගීසීන් පළවා හැරි නමුත් ලන්දේසීන් මුහුදුබඩ පළාත් අයත් කර ගැනීමයි. එය ඉඟුරු දී මිරිස් ගැනීමක් ලෙස ඉතිහාසයේ සඳහන් වුණා. ඒ වන විට පහතරට විදේශිකයන්ට සේවය කරන පවුල් බිහි වී තිබුණා. ඔවුන් පළමුව කතෝලික ආගමත් පසුව රෙපරමාදු ආගමත් වැළඳ ගත්තා. එලෙස සිංහලයන් අතර තවත් අසමගියක් ඇති වුණා. ඊනියා ප්‍රභූ පවුල්වල කතාකරන භාෂාව පෘතුගීසි වුණා. විසිවැනි සියවසේ මුල තෙක් ම සිංහල කතෝලික ප්‍රභූ පවුල්වල කතාකරන භාෂාව වී ඇත්තේ පෘතුගීසි.

ඉංගිරිසින් පැමීණීමට පෙර නායක්කාර් රජවරු සෙංකඩගල රාජත්වයට පැමිණියා. උඩරට ඇතැම් නිළමෙවරු නායක්කාරයන්ට සේවය කිරීමට පෙළඹුණා. නායක්කාර රජවරු බුද්ධාගම වැළඳ ගත්තා. උපසම්පදාව නැවත පිහිටුවීමටත් ආධාර කළා. එහෙත් ඔවුන් සිංහල රජවරු, සිංහලයන්ගේ රජවරු යන අර්ථයෙන්, වුණත් ඔවුන්ගේ දණ්ඩ නීති වැසියන් මත පැටෙව්වා. අප අද රජ කාලෙ නීතිය කියා කියන්නෙ මේ නායක්කාරයන්ගේ නීතියට. මේ අතර නිළමෙලාගේ අසමගියත් වැඩි වුණා. ඔවුන්ගේ ඊනියා බ්‍රාහ්මණ වාංශික සිතුම් පැතුම් ඉස්මතු වූවා.

ජෝන් ඩොයිලි මේ තත්වය මැනවින් අවබෝධ කර ගත්තා. ඔහු ඉතා සියුම් ලෙස ඇතැම් නිළමෙවරුන් මෙහෙයවූවා. නිළමෙලාට තම ප්‍රමුඛතාව ඉංගිරිසින් පළවා හැරීම කියන එක අවබෝධ කර ගැනීමට බැරි වුණා. සිංහලයන්ට පිළිගත හැකි රජකු (නායකයකු) නැති වුණා. පත්කරගත් රජු ගැන කැප්පටෙිපොළ නිළමෙ පවා විශ්වාසයක් ඇති කර ගත්තෙ නැහැ. එහි ප්‍රතිඵලය වූයේ ඩොයිලි බ්‍රවුන්රිග්ට හා තුන්වැනි ජෝර්ජ් රජුට ලංකාව අත් කර දීමයි.

ඉංගිරිසින් ඉන්පසු රට ඉතා සියුම් ආකාරයට පාලනය කළා. ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට හුරු කරන පාසල් ඇති කළා. මේ පාසල්වලට දක්‍ෂ සිසුන්ට ශිෂ්‍යත්ව දුන්නා. අප නමින් බෞද්ධ වුවත් සංස්කෘතියෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි වුණා. අපට බටහිර අධ්‍යාපනයක් ඉංගිරිසියෙන් මෙන් ම සිංහලෙන් ද ලැබුණා. ඉංගිරිසින් තමන්ට සේවය කළ අයට වරප්‍රසාද තාන්න මාන්න දුන්නා. මෑත කාලයේ අප පාලනය කළ බොහෝ පවුල් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සම්භවයක් ඇති ඒ සංස්කෘතියේ අය. ඕල්කට්තුමා අවාසනාවකට මේ තත්වය වෙනස් කෙළේ නැහැ. පංච මහා වාදවලින් පැන නැගුණු සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය පීලි පන්නනු ලැබුවේ ඕල්කට්තුමා විසින්.

ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ ඉංගිරිසි උගත් ඇතැම් දෙමළ වෙල්ලාල ප්‍රභූන් මෙරට ප්‍රධානීන් බවට පත් කිරීමට. ඒ දෙමළ පවුල් ද ඇංග්ලිකන් ක්‍රිස්තියානි සම්භවයක් සහිත අය. 1931 දී ඉංගිරිසින් අපට සර්වජන ඡන්දය ලබා දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස සිංහලයන් තව තවත් බෙදුණා. අපට සිංහල ජාතික පක්‍ෂයක් නැහැ. ඇත්තේ ඊනියා එක්සත් ජාතික පක්‍ෂයක්. ධර්මපාලතුමාගේ ව්‍යාපාරය යටපත් කිරීමට ඕල්කට් බෞද්ධයන්ට හැකි වුණා. ඊනියා එක්සත් ජාතික පක්‍ෂය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ රනිල්ගේ නායකත්වයෙන් ඒකීය රටක් නොව එක්සත් රටක් ඇති කිරීමට වෙහෙස දැරීම අරුමයක් නො වෙයි. චම්පකලා හා තවත් අය සිංහල බෞද්ධත්වය බලය ලබා ගැනීමේ අවියක් පමණක් බවට පත් කරගෙන සිංහල බෞද්ධයන් දුර්වල කළා.

මේ ඉතා සංක්‍ෂිප්ත විස්තරයක්. අපට අද තිබිය යුතු ප්‍රමුඛතාව කුමක් ද? රනිල් ඉවත් කිරීම මිස පළාත් පාලන මැතිවරණ නොවෙයි. එහෙත් අද දේශපාලන පක්‍ෂ කටයුතු කරන්නේ මැතිවරණය දෙස බලාගෙන. අද වන විට ව්‍යවස්ථාව අපට අමතක වෙලා. අප ඊයේ ගිරාඳුරුකෝට්ටේ ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරමු යන තේමාවෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වූවා. අයහපත් කාල ගුණයක් මැදත් ගමනාගමන අපහසුකම් මැදත් අප කොළඹ පවත්වන සම්මන්ත්‍රණයකට සහභාගි වන පිරිසට වඩා පිරිසක් එයට සහභාගි වුණා. අප මැතිවරණය සඳහා සූදානම් වන අය නො වෙයි.

මෛත්‍රිපාල ඉතිහාසයේ තදබල ද්‍රෝහි කමක් කළා. එහෙත් 2020 වන තුරු බලා නොසිට අද රනිල් ඉවත් කිරීමට හැකියාව ඇත්තේ ඔහුට. ඇහැලෙපොළලා මඩුගල්ලෙලා මොල්ලිගොඩලා එක්නැලිගොඩලා ආදීන් එකතු වුණා නම් කෙසේ වීමට තිබුණා ද? අප දිනා සිටි 1817-18 නිදහස් සටන අවසානයේ පරාජය වූයේ කෙසේ ද? තව අවුරුදු කිහිපයකින් මහින්දලා මෛත්‍රිපාලලා එකට සිටියේ නම් කුමක් සිදුවන්න තිබුණා ද යන ප්‍රශ්නය අප අනාගත පරම්පරාවට ඉතිරි කරනවා ද? මහින්දලා මෛත්‍රිපාලලා එකට සිටිය යුත්තේ මැතිවරණ සඳහා නොව රනිල් ඉවත් කිරීමටයි. එය කළ හැකියි. කළ යුතුයි. සිරා කුමක් කෙළේ ද කරාවි ද යන ප්‍රශ්නය වෙනුවට රනිල් ඉවත් කිරීමට සිරිසේනලා හා මහින්දලා කළ යුත්තේ කුමක් ද යන්න කතා කරමු.

අප මේ තිරණාත්මක කඩඉම පැන ජාතිකත්වය මත කටයුතු කළහොත් සිංහල ජාතිය තව කාලයක් පවතීවි. නැතහොත් තව අවුරුදු කිහිපයකින් Sinහල ලියන එබසින් ටෝක දෙන ජාතියක් නොවන නරුමයන් පිරිසක් ඉතිරි වේවි.

________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-11-26

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.