Breaking
25 Feb 2025, Tue

මහින්ද ජයග්‍රහණය කළා නම් බටහිරයන් ඔහු ඝාතනය කිරිමට කටයුතු කරනු ඇත

අප බොහෝ දෙනකු බොහෝ කලක සිට කියන දෙයක් මහින්ද රාජපක්‍ෂ පසුගිය ඔක්තෝම්බර් 09වැනි ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග කරන ලද සාකච්ඡාවක දී ප්‍රකාශ කරලා. බටහිරයන් තමා සමග තරහ වීමට හේතුව ඔවුන් කියන දේට සවන් නොදී දෙමළ ත්‍රස්තවාදය අවසන් කිරීම බව මහින්ද රාජපක්‍ෂ එහි කියා තිබෙනවා. මේ සාකච්ඡාවේ අදාළ කොටස මේ පිටුවේ එදින ම පළ කෙරුවා. එහි සඳහන් අන්දමට බටහිරයන් මෙහෙයුම් නතර කිරීමට කියා තිබෙන නමුත් මහින්ද එයට අවනත වෙලා නැහැ.

ඒ විතරක් නොවෙයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ රැස්වීම්වල ලංකාවට විරුද්ධව ගෙනෙන ලද යෝජනාවට විරුද්ධව කතා කළ රටවල් අවසානයේ දී ඡන්දය දීමෙන් වැළකී සිටින තත්වයකට ගෙන ඒමට ඇමරිකා එක්සත් රාජ්‍ය කටයුතු කළ ආකාරයත් මහින්ද සඳහන් කර තිබෙනවා. එහි දී එකී රටවලට විවිධ බලපෑම් කර ඇති බව පැහැදිලියි. ඊනියා මානව හිමිකම් මණ්ඩලයේ ජාතික හිමිකම් සුරැකීමක් සිදු නොවන බවත් පැහැදිලියි. කුඩා, එතරම් ශක්තිමත් නැති රටවලට එහි නිදහසේ ඡන්දය පාවිච්චි කරන්න බැහැ. ඒක තමයි බටහිර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය.

බටහිර ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. බටහිරයන් තමන්ට ඕනෑ කරන දේ කුල්ලෙන් හෝ පොල්ලෙන් හෝ කරගන්නවා. බටහිර ජනමාධ්‍ය තමන් දරණ ආධිපත්‍ය උපයෝගී කරගනිමින් එක්සත් ජාතීන්ගේ වෙනත් මණ්ඩලවල ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක්, නිදහස් ඡන්දයක් ඇති බව පෙනාවනවා. ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොව ප්‍රජාතන්ත්‍රවාතයක්, නැත්තන් ප්‍රජාතන්ත්‍රවදයක්. බටහිරයන් කියන දේට අවනත ව මෙහෙයුම් නතර කර ප්‍රභාකරන්ට රතු කුරුසය වැනි තුන්වැනි පාර්ශ්වයකට භාරවීමට ඉඩ දුන්නා නම් මේ කිසි යෝජනාවක් ලංකාවට එරෙහිව ගේන්නේ නැහැ.

එපමණක් නොවෙයි. බටහිරයන් හා ඉන්දියාව එකතු වී රෝ සංවිධානය මගින් මහින්ද පරාජය කිරීමට කටයුතු කරන්නේත් නැහැ. එහෙනම් තවමත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ. මෙයින් මතුවන කරුණු දෙකක් තිබෙනවා. පළමුවෙන් එසේ වූවා නම් මෛත්‍රිපාලට ජනාධිපති වෙන්න බැහැ. මෛත්‍රිපාලට ලෝකයම දැන් ලංකාව සමග මිත්‍ර යැයි කයිවාරු ගැසීමට ලැබෙන්නේත් නැහැ. මෛත්‍රිපාල බටහිරයන් ලංකාව සමග මිතුරු යැයි කියමින් ලෝකෙ වටා යනවා. ඒ ගමන් රටේ ඊනියා සංහිඳියාවක් තියෙනව කියලත් කියනවා.

බටහිරයන් රටක් සමග මිතුරු වෙන්නෙ ඒ රටේ පාලකයන් තමන්ට අවනත නිවටයන් වෙනව නම්, නැත්නම් සතුරු රටක් ලෙස සලකනවා. ඒත් ඒක එහෙමයි කියලා කියන්නෙ නැහැ. ඒ වෙනුවට බයිලා කියනවා. බයිලාවල වැඩි බර තියෙන ව්‍යාජ තාක්‍ෂණික වචන පාවිච්චි කරනවා. බටහිරයන් අද ලංකාව මීිතුරු රටක් ලෙස සලකන්නෙ මෙහි පාලකයන් තමන්ට අවනත වන නිවටයන් නිසා. ඒ කියලා බටහිරයන් ලංකාවට උදවු කර්නෙ නැහැ. අද මෙරට නිවට පාලකයන්ට බටහිරයන් ආධාර නොකරන නිසා ඔවුන්ට තමන් කලින් ප්‍රතික්‍ෂෙප කරපු චීනයේ කකුල් දෙක ළඟට යන්න වෙලා. බටහිරයන්ගෙ ප්‍රතිපත්තිය තමන්ට අවනත වෙන පාලකයන් පන්නා දැමීමට, ඔවුන් ඝාතනය කිරීමට, මුදල් වියදම් කිරීම මිසක් තමන්ට අවනත වන නිවටයන්ට ආධාර කිරීම නොවෙයි. අරාබිකරය හා ලංකාව ඒ සඳහා හොඳම උදාහරණයි.

දෙවැනුව මහින්ද මානුෂික මෙහෙයුම් හා 2015 ඡන්දය යන දෙකම දිනුවා නම් කුමක් වීමට තිබුණා ද? මහින්ද මෙහෙයුම්වලින් පස්සෙ 2010 ඡන්දය දිනුවෙ සුදු කොඩි ෆොන්සේක පරාද කරලා. සුදු කොඩි ෆොන්සේකවත් ඉදිරිපත් කෙළේ මහින්ද පරාද කරන්න. ඒත් ඒක හරිගියෙ නැහැ. 2010 ඡන්දෙන් පස්සෙ බටහිරයන් හා ඉන්දියාව මහින්දට විරුද්ධව ප්‍රචාරය ඇරඹුවා. මහින්ද පරමාදර්ශී පුද්ගලයකු යැයි මා කියන්නේ නැහැ. ඔහු අතින් සිදු වූ ලොකුම වැරැද්ද ජාතිකත්වය අමතක කිරීම. බටහිරයන් හා ඉන්දියාව ඔහුට පහර දුන්නෙ ඒ නිසා නොවෙයි. ඔහු බලයෙන් පහකිරීමට. දහඅටවැනි සංශෝධනයෙන් පස්සෙ ඔවුන් තවත් බයවුනා. ඒ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් නිසා නොවෙයි. මහින්ද බටහිරයන්ට අවනත නොවන නිසා.

මහින්ද ඝාතනය කරනවාට වඩා ඊළඟ ජනාධිපතිවරණයෙන් පරාද කරන්න බටහිරයන් හා ඉන්දියාව සැලසුම් කළා. රෝ සංවිධානය එහි දී විශාල කාර්යභාරයක් ඉටු කළා. සිංහල බෞද්ධ පසුබිමක් තිබූ නිවට පොදු අපේක්‍ෂකයකු සෙවුවා. මහින්ද පරාජය කෙරුණා. ඔහුට අඩු වූයේ ඡන්ද ලක්‍ෂ හතරක් පමණයි. ඡන්ද ලක්‍ෂ දෙකක් එහා මෙහා වී මහින්ද ජයග්‍රහණය කළා නම් බටහිරයන් ඔහු ඝාතනය කිරීමට සියළු උත්සාහ ගැනීමට තිබුණා. බටහිරයන්ගේ ප්‍රෝඩාතන්ත්‍රවාදය එබඳුයි.

නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 10

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.