Featured

මහ මැතිවරණයෙන් ජය කාටද?

ප්‍රජාත්‍රන්ත්‍රවාදි පාලන ත්‍රන්ත්‍රය සඳහා නියෝජිතයින් පත් කිරීමේ ඉතිහාසය 1911 ව්‍යවස්ථාදායක මන්ත්‍රන සභාව දක්වා දිවයයි. මේ අනුව ඡන්දයකින් පත්වු ප්‍රථම ලාංකීය මන්ත්‍රීවරයා පොන්නම්බලම් රාමනාදන් විය. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ලැබුණේ සොල්බරි කොමිසමේ නිර්දේශ අනුවය. පළමු පාර්ලිමේන්තුව සඳහා මැතිවරණය 1947 ජුලි 23 සිට සැප්තැම්බර් 20 දක්වා දින 19ක්ම පැවැත්විණි. වර්තමානයේ මහජනතාව විසින් පත්කරන ලද මහජන නියෝජිතයෝ රාජ්‍ය පාලන ත්‍රන්ත්‍රය මෙහෙයවන රාජ්‍ය පාලකයෝ වෙති. එහි තවත් කඩ ඉමක් පසු කරමින් 15 වන පාර්ලිමේන්තු මැතිවරණය 2015 අගෝස්තු 17වැනිදා පැවැත්වේ.

ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රකාශ කරන පරිදි එහි බලය ජනතා පරමාධිපත්‍යය මත පිහිටුවන ලදී. ජනතා පරමාධිපත්‍යය නියෝජනය වනුයේ ඔවුන්ගේ වරමින් පත්වන ව්‍යවස්ථාදායකය. ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපතිවරයෙකු පත්වූවත් නීති සම්පාදන කාර්යය මෙන්ම රාජ්‍ය මූල්‍ය පාලනයද සම්පූර්ණයෙන්ම පැවරි ඇත්තේ ජනතා පරමාධිපත්‍යය මගින් පත්කරනු ලබන ව්‍යාවස්ථාදායකය වෙතය. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය හැදින්වෙන්නේ පාර්ලිමේන්තුව නමිනි.

මෙවර මහ මැතිවරණය දින 7කින් උදාවේ. අගෝස්තු 18 උදෑසන වන විට ප්‍රතිඵල නිකුත්වන අතර මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත්වනු ඇත්තේ අගෝස්තු 19දාය. පරිපාලන දිස්ත්‍රික්ක 25ක් නියෝජනය කරන මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා තෝරාපත්කර ගත යුතු මන්ත්‍රීන් සංඛ්‍යාව 196කි. ජාතික ලැයිස්තුවෙන් පත්කල යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 29කි. ඒ අනුව මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225කි.

මේ අනුව අදාල දිස්ත්‍රික්කයන්ගෙන් පත්වන මන්ත්‍රීවරුන් 196දෙනා බෙදී යන්නේ මෙසේය. කොළඹ 19, ගම්පහ 18, කුරුණැගල 15, මහනුවර 12, කළුතර 10, රත්නපුර 11, ගාල්ල 10, කෑගල්ල 9, අනුරාධපුර 9, මාතර 8, බදුල්ල 8, පුත්තලම 8, නුවරඑළිය 8, මාතලේ 5, හම්බන්තොට 7, දිගාමඩුල්ල 7, යාපනය 7, වන්නි 6, මඩකලපුව 5, පොළොන්නරුව 5, මොණරාගල 5 සහ ත්‍රිකුණාමලය 4 වේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 160ක් ඇති අතර එය ග‍්‍රාම නිලධාරි වසම් 14,022ක් තුළ විහිදී ඇත. ඒවායේ ඇති ගම්මාන සංඛ්‍යාව 35,440කි. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 80ක් ජීවත් වන්නේ වතුකරයේ සහ ග‍්‍රාමීය ප‍්‍රදේශවලය.

ඉකුත් දශක දෙකක ඉතිහාසය ගත්විට 1994 අගෝස්තු මස මහ මැතිවරණයේ ප්‍රතිඵල වුයේ පොදුජන එක්සත් පෙරමුණ ආසන 105කි. එජාපය ආසන 94කි. මුස්ලීම් කොන්ග්‍රසය ආසන 7කි. ද්‍රවිඩ සන්ධානය ආසන 5කි. ඉතිරි ආසන සෙසු පක්ෂ සහ කණ්ඩායම් වලටය. පොදුජන එක්සත් පෙරමුණේ රජයක් පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක සහාය ඇතිව පිහිටුවන ලදී. වසර 2000 ඔක්තෝබර් 10 පැවති මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණට ආසන 107ක්ද එජාපයට ආසන 89ක්ද ජවිපෙට ආසන 10ක්ද ජාතික සමගි පෙරමුණට ආසන 4ක්ද, ද්‍රවිඩ සන්ධානයට ආසන 5ක්ද, ඊ.පී.ඩී.පීයට ආසන 4ක්ද හිමිවිය. සිහළ උරුමයට ජාතික ලැයිස්තුවෙන් එක් අසුනක්ද හිමිවිය. පොදුජන එක්සත් පෙරමුණ රජය ගෙන ගියද බලතුලනය වෙනස් වීම නිසා ජවිපෙ සමඟ සම්මුතියකට එක්වූවද අවසානයේදී 2001 ඔක්තෝබර් 10 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවිය.

දොළොස්වන පාර්ලිමේන්තු මැතිවරණය 2001 දෙසැම්බර් 5වැනිදා පැවැත්වූ අතර ඉන් එජාපය ජය ගත්තේය. එජාපය ආසන 109ක්ද, පොදුජන එක්සත් පෙරමුණ ආසන 77ක්, ජවිපෙ ආසන 16, ද්‍රවිඩ සන්ධානය ආසන 15ක්ද, මුස්ලීම් කොන්ග්‍රසය ආසන 5ක්ද එහිදී ලබා ගනු ලැබීය. එජාප ආණ්ඩුව 2003 ඔක්තෝබර් 31වැනිදා වන විට අන්තර් ස්වයං පාලන අධිකාරියක් සදහා යෝජනා මාලාවක් ඉදිරිපත් කළේය. එජාප රජය සහ ශ්‍රිලනිප ඇතුළු විපක්ෂය අතර මතභේද උග්‍ර විය. 2004 පෙබරවාරි 7වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන ලදී. 13වැනි පාර්ලිමේන්තු මැතිවරණය 2004 අප්‍රේල් 2වැනිදා පැවති අතර ඒ සඳහා තරඟ වැදුණු ශ්‍රිලනිප ප්‍රමුඛ සන්ධානය ආසන 105ක් ලබා ගනිමින් සුළු පක්ෂ කිහිපයක්ද සමඟ එක්ව රජයක් පිහිටුවේය. එජාපයට ආසන 82ක්ද හෙළ උරුමයට ආසන 9ක්ද මුස්ලීම් කොන්ග්‍රසයට ආසන 5ක්ද ද්‍රවිඩ සන්ධානයට ආසන 22ක්ද ඒ අතර විය. 14 වන පාර්ලිමේන්තු මැතිවරණය 2010 අප්‍රේල් 8 වැනිදා පැවති අතර ඉන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 144, එජාපය ආසන 60, ද්‍රවිඩ සන්ධානය 14 සහ ජවිපෙ ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ආසන 7කි.

මෙවර පැවැත්වෙන මැතිවරණය ඉතා උණුසුම්ය. ඒ සන්ධානයේ මෙහෙයුම් නායකත්වය මහින්ද රාජපක්ෂට හිමිවීමත් එජාප ආණ්ඩුවක් යටතේ මැතිවරණය පැවැත්වීමත් හේතුකොටගෙනය. මේ පිළිබදව දැනටත් පිලිගත් සමීක්ෂණ ආයතන 5ක් 2015 අගෝස්තු මුල් සතියේ පැවැත්වූ සමීක්ෂණ ප්‍රතිඵල සසඳමින් පහත දත්තයන් විශ්ලේෂණය කෙරේ. මෙම සමීක්ෂණ ආයතන වලින් 2ක්ම විදේශ තානාපති කාර්යාල මගින් නිල නොවන මට්ටමෙන් දේශීය උපදේශකයින් යොදා කරන ලද සමීක්ෂණයන්ය.

කොළඹ දිස්ත්‍රික්කයේ ආසන 19න් ආසන 9ක් දිනා ගන්නේ එජාපයයි. ආසන 8ක් සන්ධානය දිනාගන්නා අතර ජවිපෙ විසින් ආසන 2ක් දිනා ගනු ඇත. කොළඹ එජාප ජයග්‍රහක අපේක්ෂකයින් අතර මුල්තැන ගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක, පාඨලී චම්පික රණවක, විජේදාස රාජපක්ෂ, ෆෙරෝසා මුසම්මිල්, මනෝ ගනේෂන්, මුජිබ්‍රර් රහුමාන් සහ සුජීව සේනසිංහය. සන්ධාන අපේක්ෂකයින් අතර විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ජගත් කුමාරය. ජවිපෙ ජයග්‍රාහි අපේක්ෂකයින් වන්නේ අනුර කුමාර දිසානායක සහ ලාල් කාන්තය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන 18න් ආසන 11ක බලය හිමිවන්නේ සන්ධානයටය. එජාපයට ආසන 6ක් හිමිවන අතර ජවිපෙන් විජිත හේරත් ජයග්‍රහණය ලබනු ඇත. සන්ධානයෙන් ඉදිරියෙන්ම සිටින්නේ ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා, ලසන්ත අලගියවන්න, උපුල් මහේන්ද්‍ර, මොහොමඩ් නව්ෂාඩ්ය. බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග මහින්ද රාජපක්ෂ වෙනුවෙන් සෘජුවම පෙනී සිටීම සහ පළාත් අමාත්‍ය නිමල් ලන්සා මීගමුව, කටාන, වත්තල සහ ජාඇල ආසන 4 ඡන්ද දායකයින් අතර බෙහෙවින් ජනප්‍රිය අයෙකු හෙයින් සන්ධානයට ගම්පහ හිමිවන ආසන සංඛ්‍යාව ඇතැමිවිට 12ක් පමණ විය හැකිය. එජාපයෙන් ඉදිරියෙන් සිටින්නේ රුවන් විජේවර්ධන, ජොන් අමරතුංග, අජිත් මාන්නප්පෙරුම, හර්ෂණ රාජකරුණා, රන්ජන් රාමනායක සහ ජෝෂප් මයිකල් යන අය වේ.

කළුතර දිස්ත්‍රික්කයේ ආසන 10න් ආසන 6කින් ජයගනු ලබන්නේ සන්ධානයයි. එජාපයට ආසන 3ක්ද ජවිපෙට 1 ආසනයක්ද හිමිවේ. සන්ධානයෙන් පෙරමුණේ සිටින්නේ කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, විදුර වික්‍රමනායක, ලලිත් එල්ලාවල සහ ජයන්ත සමරවීරය. එජාපයෙන් මුල්තැන ගන්නේ වෛද්‍ය රාජිත සේනාරත්න සහ අජිත් පෙරේරාය. ජවිපෙන් පත්වනු ඇත්තේ වෛද්‍ය නලීන් ඉන්ද්‍රතිස්සය.

මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 12න් 6ක් එජාපය ජයගන්නා අතර සන්ධානයට 5ක් හිමිවේ. ජවිපෙට 1 ආසනයක්ද හිමිවනු ඇත. මාතලේ දිස්ත්‍රික්කයේ ආසන 5න් 3ක් සන්ධානයට හිමිවන අතර 2ක් එජාපයට හිමිවේ. සන්ධානයෙන් ලක්ෂ්මන් වසන්ත පෙරේරා, රෝහණ දිසානායක, ජනක තෙන්නකෝන්ද එජාපයෙන් රංජිත් අළුවිහාරේ සහ රෝහිණී කවිරත්නද ඉදිරියෙන් සිටී. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආසන 8න් එජාපයට 5ක් හිමිවන අතර සන්ධානයට හිමිවන්නේ ආසන 3කි. සන්ධානයෙන් ආරුමුගම් තොන්ඩමන්, මුත්තු ශිවලිංගම්, සී.බී රත්නායකද, එජාපයෙන් පාලනී දිගම්බරම්, රාජදුරේ යෝගරාජන්, බණ්ඩාර දිසානායක ඉදිරියෙන් සිටී. එජාපයේ සෙසු ජයග්‍රාහයකින් දෙදෙනා අතර සටන තියුණුය.

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන 10න් සන්ධානයට 7ක් හිමිවන අතර එජාපයට 3කි. මාතර දිස්ත්‍රික්කයේ ආසන 8න් 5ක් සන්ධානයට හිමිවන අතර 3ක් එජාපයට හිමිවේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන 7න් 5ක් සන්ධානයට හිමිවන අතර 2ක් එජාපයට හිමිවේ. ගාල්ල දිස්ත්‍රික්කයේදී සන්ධානයේ චන්දිම වීරක්කොඩි, වෛද්‍ය රමේෂ් පතිරණ, නිශාන්ත මුතුහෙට්ටි, මනූෂ නානායක්කාර, මොහාන් සිල්වා, බද්දේගම සමිත හිමිද එජාපයෙන් ගයන්ත කරුණාතිලක, වජිර අබේගුණවර්ධන ඉදිරියෙන් සිටී. මාතර පෙරමුණ ගෙන සිටින්නේ සන්ධානයෙන් ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මනෝජ් සිරිසේන, චන්ද්‍රසිරි ගජධීරය. එජාපයෙන් බුද්ධික පතිරණ, සාගල රත්නායක සහ මංගල සමරවීරය. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සන්ධානයේ ඉදිරියෙන් සිටින්නේ නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, වී.කේ. ඉන්දිකය. එජාපයෙන් සජිත් ප්‍රේමදාස සහ දිලිප් වෙදආරච්චිය.

උතුරු පලාතේ යාපනය දිස්ත්‍රික්කයේ ආසන 7න් ද්‍රවිඩ සන්ධානයට 4ක්ද එජාපයට 1ද සන්ධානයට 1ද ඊ.පී.ඩී.පී සංවිධානයට 1ද හිමිවේ. වන්නි දිස්ත්‍රික්කයේ ආසන 6න් එජාපයට සහ සන්ධානයට ආසන 1ක්ද සෙසු පක්ෂවලට ආසන 4ක්ද හිමිවේ. මඩකලපුවේ ආසන 5න් එජාපයට සහ සන්ධානයට ආසන 1 බැගින්ද සෙසු පක්ෂවලට ආසන 3ක්ද හිමිවේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආසන 4න් ද්‍රවිඩ සන්ධානය ආසන 1ක්ද එජාපය 2ක්ද සහ සන්ධානයට ආසන 1ක්ද හිමිවේ. මෙහිදී සන්ධානයේ අපේක්ෂක සහ හිටපු ඇමති සුසන්ත පුංචිනිලමේට ඉහළම වාර්තාගත මනාප සංඛ්‍යාවක් හිමිවනු ඇත. එජාපයෙන් සින්න මහරැෆ් සහ එම්.එෆ්.තවුෆික්ද, ද්‍රවිඩ සන්ධානයෙන් ආර්. සම්බන්ධන්ද පත්වනු ඇත. දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ආසන 7න් සන්ධානයට ආසන 3ක් හිමිවන අතර එජාපයට ආසන 4ක් හිමිවේ. සන්ධානයෙන් හිටපු පළාත් අමාත්‍ය විමලනාත් දිසානායක, හිටපු අමාත්‍ය ඒ.එම්.අතාවුල්ලා සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකරය. එජාපයෙන් පී. දයාරත්න සහ රාෆුල් හකීම් ඇතුළු ඔහුගේ මුස්ලීම් කොංග්‍රසයේ නියෝජිතයින් 2කු ඉදිරියෙන් සිටී. ද්‍රවිඩ සන්ධානය එක් ආසනයක් දිනා ගතහොත් ඒ සදහා පත්වනු ඇත්තේ නේරුය. එමෙන්ම අග්නදිග සරසවියේ හිටපු උපකුලපති ඇතුළු මුස්ලීම් කණ්ඩායමක් ස්වාධීන අපේක්ෂක කණ්ඩායමක් වශයෙන් ඉදිරිපත්වීමද ප්‍රබලව සැලකිල්ලට ගත යුතු කරුණකි. එසේ වුවහොත් එජාපයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ බලය වෙනස් වී සන්ධානයට දිගාමඩුල්ල බලය ලැබිමටද ඉඩ තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන 15න් සන්ධානයට ආසන 10ක් හිමිවන අතර එජාපයට හිමිවන්නේ ආසන 5කි. සන්ධානයේ අපේක්ෂකයින් අතර මහින්ද රාජපක්ෂ, ටී.බී. ඒකනායක, අනුර ප්‍රියදර්ශන යාපා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාලින්ද දිසානායක, දයාසිරි ජයසේකර, අසංක නවරත්න, තාරනාත් බස්නායක සහ ඉන්දික බණ්ඩාරනායක පෙරමුණේ සිටී. එජාපයේ ඉදිරියෙන්ම සිටින්නේ අකිල කාරියවසම්, ගාමිණී ජයවික්‍රම, ජේ.සී. අලවතුවල, නලීන් බණ්ඩාරය. කුරුණෑගලින් ඉදිරිපත්වන මහින්ද රාජපක්ෂට මැතිවරණ ඉතිහාසයේ ලැබුණු වැඩිම මනාප සංඛ්‍යාව ලැබෙනු ඇත. එය ලක්ෂ 5කට වැඩිවනු ඇත. මෙයට පෙර වාර්තාගත මනාප පිළිවෙලින් ලබාගෙන ඇත්තේ 1994දී චන්ද්‍රිකා කුමාරතුංග ගම්පහින් ඡන්ද 464,588ක්ද, 2010 බැසිල් රාජපක්ෂ ගම්පහින් ඡන්ද 425,861ක්ද සහ 2004 රනිල් වික්‍රමසිංහ කොළඹින් ඡන්ද 329,524ක්ද වශයෙනි.

පුත්තලම දිස්ත්‍රික්කයේ ආසන 8න් ආසන 4ක් සන්ධානයටද ආසන 3ක් එජාපයටද එක් ආසනයක් පුත්තලම නගරාධිපති බායිස්ගේ ස්වාධීන කණ්ඩායමටද හිමිවනු ඇත. මුස්ලීම් ජන කොටසේ වෙනම පාර්ශවයක් ඔවුන් නියෝජනය කරන අතර යම් හෙයකින් ස්වාධීන කණ්ඩායමට ආසනයක් හිමි නොවූවහොත් එම ආසනය එජාපයට හිමිවන අතර එසේ වූවහොත් සන්ධානයට ආසන 5ක් හිමිවී පුත්තලම් දිස්ත්‍රික්කයේ ආසන 3ක් එජාපයට හිමිවනු ඇත. සන්ධානයෙන් ඉදිරියෙන්ම සිටින්නේ ප්‍රියංකර ජයරත්න, සනත් නිශාන්ත, දයාශ්‍රිත පෙරේරා, අරුන්දික ප්‍රනාන්දුද එජාපයෙන් රංග බණ්ඩාර, නිරෝෂන් පෙරේරා, අශෝක වඩිගමංගාවය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන 9ක් ඇති අතර ඉන් 6ක් සන්ධානයටද 3ක් එජාපයටද හිමිවේ. සන්ධානයෙන් එස්.එම් චන්ද්‍රසේන, තිස්ස කරළියද්ද, දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක, ෂෙහාන් සමරසිංහද එජාපයෙන් පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, චන්දිම ගමගේද ඉදිරියෙන් සිටී. වී මිල ඉතා අඩුවීම, බඩඉරිගු වලට සහතික මිලක් නොදිමද ගංවතුර සහ නියගයට නොමිලේ ලබාදුන් බිත්තරවී සදහා ගොවියාගෙන් මුදල් අයකරගැනීමට ගන්නා උද්සාහයද නිසා එජාප ආණ්ඩුව පිළිබදව රජරට ගොවින් තැබී විශ්වාසය බිඳ වැටී ඇත. ජවිපෙ වසන්ත සමරසිංහද ඉහළ මනාප සංඛ්‍යාවක් ලබාගනු ඇත.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආසන 5ක් ඇති අතර ඉන් 3ක් ජයගන්නේ සන්ධානයයි. එජාපයට ආසන 2කි. ඉදිරියෙන්ම සිටින්නේ සන්ධානයේ රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, චන්ද්‍රසිරි සූරියආරච්චිද, එජාපයෙන් නාලක කොලොන්නේය. ඉතිරි එජාප ආසනය සඳහා වසන්ත සේනානායක, අන්සර් හමීඩ් සහ සිඩ්නි ජයරත්න අතර තියුණු සටනක් ඇත. පොලොන්නරුවේ සන්ධානයේ ජයග්‍රහණය බොහෝ දෙනාගේ අවධානයට ලක්වන්නේ ශ්‍රිලනිප නායකත්වය මෛත්‍රීපාල සිරිසේන පොලොන්නරුවෙන් සිය දේශපාලන ජීවිතය ආලෝකමත් කරගත් බැවිනි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන 8න් 3ක් එජාපය ජය ගන්නා අතර සන්ධානයට ආසන 4ක් හිමිවේ. සන්ධානයේ නිමල් සිරිපාලද සිල්වා, උදිත ලොකුබන්ඩාර, තේනුක විදානගමද, එජාපයේ හරීන් ප්‍රනාන්දු, වඩුවේලු සුරේෂ්, රවින්ද්‍ර සමරවීර ඉදිරියෙන්ම සිටින අතර වෙනම තරග කරන ලංකා කම්කරු කොන්ග්‍රසයටද 1 ආසනයක් හිමිවේ. බදුල්ල දිස්ත්‍රික්කයේ සන්ධානයේ ශක්තිය හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල මතද එජාපයේ ශක්තිය ඌව මහ ඇමති හරේන් මතද රදා පවතී. බදුල්ල දිස්ත්‍රික්කය ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජයගත්තේ වැඩි ඡන්ද 281කිනි.

මොණරාගල දිස්ත්‍රික්කයේ ආසන 5න් 3ක් සන්ධානානය ජයගන්නා අතර එජාපයට ආසන 2ක් හිමිවේ. සන්ධානයෙන් සුමේධා ජයසේන සහ විජේමුණි සොයිසාද එජාපයෙන් රංජිත් මද්දුම බණ්ඩාරද ඉදිරියෙන් සිටී. එජාපය සහ සන්ධානයේ අවසන් ජයග්‍රාහී අපේක්ෂකයන් දෙදෙනා වීමට කිහිප දෙනා අතර තියුණු සටනකි. ජගත් පුෂ්පකුමාර, පද්ම උදය ශාන්ත ඒ අතර සන්ධානයෙන් වේ. මොණරාගල දිස්ත්‍රික්කය යනු 2001දී එජාප ආණ්ඩුව පිහිටුවීමේදී පවා සන්ධානය ජයගත් දිස්ත්‍රික්කයකි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ආසන 11 ආසන 7ක් සන්ධානයට හිමිවන අතර එජාපයට හිමිවන්නේ ආසන 4කි. සන්ධානයෙන් ප්‍රේමලාල් ජයසේකර, ජෝන් සෙනෙවිරත්න, ප්‍රවිත්‍රා වන්නිආරච්චි, ජනක වක්කුඹුර, රංජිත් සොයිසා, වාසුදේව නානායක්කාර, සනී කොඩිතුවක්කුද, එජාපයෙන් දුනේෂ් ගන්කන්ද, තලතා අතුකෝරාල, ජයතිස්ස රණවීරද ඉදිරියෙන්ම සිටී. එජාපයේ ඊළඟ ජයග්‍රාහකයා වීමට ඒ.ඒ. විජේතුංග ඇහැලිගොඩ ප්‍රාදේශීය සභාවේ සන්ධාන සභාපතිවරයා සිට ‘යහපාලනයට’ එක්වූ සරත් සන්දනායක සහ කරුණාරත්න පරණවිතාන අතර සටන උණුසුම්ය. ජොන් සෙනෙවිරත්න සහ පවිත්‍රා වන්නිආරච්චිගේ දේශපාලන එකතුවත් වාසුදේවගේ පරිණත දේශපාලනයත් සන්ධානයේ ඉහළ ජයග්‍රහණයට හේතුවී තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ආසන 9න් ආසන 6ක් සන්ධානයට හිමිවන අතර එජාපයට ආසන 3ක් හිමිවේ. සන්ධානයේ ඉදිරියෙන්ම සිටින්නේ ඩබ්ලිව් ජී. පද්මසිරි, ලලිත් දිසානායක, කනක හේරත්, රංජිත් සියඹලාපිටිය, අනුරුද්ධ පොල්ගම්පලය. එජාපයෙන් කබීර් හස්මි, චම්පිකා ප්‍රේමදාස, රුක්මන් සේනානායක පෙරමුණේ සිටී. ජවිපෙ අපේක්ෂක ගාමිණී රත්නායකද ඉහළ ඡන්ද ප්‍රමාණයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. මුස්ලීම් ඡන්දවල බලපෑම නිසා එජාපයට කෑගල්ලේ වැඩි වාසි අත්වූවද කෑගල්ලේ වතු ද්‍රවිඩ ජනතාව බහුතරයම වාගේ තවම නියෝජනය කරන්නේ තොන්ඩමන්ගේ කම්කරු කොන්ග්‍රසය බැවින් එය සන්ධානයට වාසි සහගතය.

සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵලවලින් එකදු ආසනයක් හෝ නොලැබීමේ අවකාශයක් දැනට පෙන්නුම් කලද ජාතික ලැයිස්තුවෙන් ප්‍රජාත්‍රන්තවාදී පක්ෂයට ආසනයක් හිමිවීමේ සම්භාවිතාව වැඩිය. එය සමකල හැක්කේ සිහළ උරුමයට 2000 ඔක්තෝබර් මහ මැතිවරණයේදී ලැබුණ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය මෙනි.

ධර්මන් වික්‍රමරත්න 

ejournalists@gmail.com

 

Top