LNN SPY

මාධ්‍ය නිවේදනය බොරු! ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා නොවේ

ඊළඟ ජනාධිපතිවරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අපේක්‍ෂකයෙකු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින්  මේ දක්වා නම්කර නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහතින් දැක්වෙයි.

ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් සමාජ ජාලා වල සංසරණය වීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් ලෙස සකස් කරන ලද කූඨ ලේඛනයක් ඊයේ, එනම් 2018 ජුලි 17 වෙනිදා කිසියම් පිරිසක් විසින් සමාජ ජාලා වලට මුදා හැර ඇති බව අපි නීරීක්‍ෂණය කළෙමු. මේ කූඨ ලේඛනයෙන් කර ඇත්තේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂයා හැටියට ගෝඨාභය රාජපක්‍ෂ මහතාව නිල වශයෙන් නම් කර ඇති බව කීමය.

ඊළඟ ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් තවම නම් කර නැති බව මෙයින් අපි දැණුම් දී සිටිමු. හිටපු ජනාධිපතිතුමා සිංගප්පූරු සංචාරයක් සඳහා රටින් පිටවෙන තුරු බලාසිට මේ කූඨ ලේඛනය මුදා හැර තිබෙන බව පැහැදිළිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කරන විට එය මාධ්‍ය නිවේදනයක් මඟින් නොකරන බවත්, එය ප්‍රසිද්ධ ස්ථානයක තමන් පුද්ගලිකවම සිදුකරන බවත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දැණුම් දී සිටී.

අදාල කූඨ ලේඛනයේ සිරස්තලය වූයේ “2020 ජනාධිපතිවරණය” යනුවෙනි. නමුත්, 2020 දී මේ රටේ ජනාධිපතිවරණයක් නැත.ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන්නේ 2019 දීය. අපේ ව්‍යවස්ථාවට අනුව 2019 දෙසැම්බර් 09 වෙනිදාට පෙර ඊළඟ ජනාධිපතිවරණය පවත්වා හමාර විය යුතු වේ. මේ බව මුලින්ම ජනතාවට දැණුම් දී සිටියේද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට කලකට පෙර නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් බවද මෙහිදී පෙන්වා දිය යුතුය.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ
මාධ්‍ය ලේකම්

Top