Anonymous Reporter

මාර්තු 13 වැනිදායින් පසු ඉස්ලාම් දේවස්ථානවල යාච්ඥාවන් නෑ… අසත්‍ය ප්‍රචාර වලට මුස්ලිම් කවුන්සිලය පිළිතුරු දෙයි… ඉදිරි දින 15 මෙරටට ඉතා තීරණාත්මකයි…GMOA කියයි..

Published on: Mar 29, 2020- ජාතිවාදය පැතිරවිම හරහා සිය නොහැකියාව වසා ගැනිමට රාජ්‍ය අනුග්‍රහය ලබන විවිධ කණ්ඩායම් කටයුතු කරමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයෙන් සදහන් කර ඇත්තේ මාර්තු 13 වැනිදායින් පසු ඉස්ලාම් දේවස්ථානවල යාච්ඥාවන් නොපැවැත්වීමට තීරණය කළ බැවින් මාධ්‍යවල සඳහන් වූ පරිදි මාර්තු 20 වැනිදා යාච්ඥාවක් කොටුව රතු පල්ලියේ නොපැවති බවයි.

කොටුව රතු පල්ලියේ පැවති යාච්ඥාවකට සහභාගි වූ පුද්ගලයකුට කොරෝනා වැළඳී ඇතැයි වාර්තා වූ පුවත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිත අදාල පුද්ගලයා මාර්තු 13 වැනිදා පමණක් එම දේවස්ථානයේ යාච්ඥාවට සහභාගි වී ඇති අතර ඔහුට කොරෝනා ආසාදනය වී ඇතැයි මාර්තු 23 වැනිදා තහවුරු වූ බවයි.

මොහු ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ සිට පවුලේ අය සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.එමෙන්ම මොහුගේ පියා මොහු ආසදිතයකු බව තහවුරු වීමට පෙර මාර්තු මස 21 වන දින කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර එය තහවුරු වී ඇත්තේ මාර්තු 22 වන දින බවද එම නිවේදනයෙන් පෙන්වා දි තිබේ.

මේ අනුව මාර්තු 22 වැනිදා දක්වා එම පියා සහ පුත්‍රයා ඇසුරු කළ පිරිස් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස ආරක්ෂක අංශ දැනුම් දී තිබේ.

කෙසේවෙතත් සමාජ ජාලා මෙන්ම ඇතැම් ජාතිවාදී මාධ්‍ය ආයතන මේ වනවිට විවිධ ජාතින් ඉලක්ක කර අසත්‍ය ප්‍රචාරයන් දියත් කරමින් සිටින බව පැහැදිලිව දකින්නට තිබේ.යම් ව්‍යසනකාරි තත්ත්වයන් දඩමිමා කරගනිමින් ජාතිවාදී ගිනි ඇවිලිමට කටයුතු කරන අය සම්බන්ධයෙන් නීනිය වහාම ක්‍රියාත්මක විය යුතු බව අපගේ අදහසයි.

ශ‍්‍රී ලංකා පොලිසිය හා සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව විසින් නිකුත් කරන විශේෂ නිවේදනය පහත දැක්වේ.

01. ඇඳිරි නිීතිය බල පැවැත්වෙන විට අනුගමනය කළ යුතු කරුණු

ඇඳිරි නිීතිය බල පැවැත්වෙන විට නිවසින් බැහැරව යාමෙන් සම්පුර්ණයෙන් වැළකී සිටීම.

අත්‍යවශ්‍ය භාණ්ඩ හැකි පමණින් නිවසට ගෙන්වන සේවාව මාර්ගයෙන් (Delivery Service) ලබා ගැනීම (මේ සඳහා රාජ්‍ය අනුමැතිය ලද ආයතන වල නාමයන් විද්‍යුත් මාධ්‍යවල පළ විය.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන අවස්ථාවකදී කිසිවෙකු නිවසින් පිටවිය නොහැක.අතිශයින්ම සුවිශේෂී අවශ්‍යතාවකදී පමණක් නිවසින් බැහැර වීමට පෙර අදාළ ප‍්‍රදේශයේ පොලිස් අවසරයක් (Curfew Pass) ලබා ගත යුතු අතර එය නිකුත් කරන විට කොන්දේසි අදාළ වේ.

කොරෝනා වයිරසය පැතිරී යාම වැළැක්වීම සඳහා මහජන යහපත මුල් කරගෙන රජය ඇඳිරි නීතිය පනවා ඇති බව වටහා ගෙන වගකීමෙන් ක‍්‍රියා කළ යුතුයි. ඊට පටහැනි වන තැනැත්තන්ට නීතිමය ක‍්‍රියාමාර්ග දියත් කරනු ලැබේ.

රජය ඇඳිරි නීතිය ඉවත් කරන ලද මොහොතක පහත කරුණු වලට සම්පුර්ණයෙන්ම කීකරු වී කටයුතු කළ යුතුයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසට ගෙන්වන සේවාව මාර්ගයෙන් (Delivery Service) ලබා ගැනීමට කටයුතු කළ යුතු අතර එසේ නොහැකි අවස්ථාවකදී එක් නිවසකින් එක් පුද්ගලයෙකු පමණක් පිටව යා යුතුය.

එසේ යන විට නිවසේ සිටින කුඩා හෝ මහලූ පුද්ගලයන් නොයවා තරුණ අය යාමට කටයුතු කළ යුතුය.

නිවසින් පිටව යන විට නොවරදවා මුඛ/නාස් ආවරණයක් පැළඳ ගත යුතුය.

භාණ්ඩ ලබා ගැනීමට පෝලිමේ සිටින විට එකිනෙකා අතර පරතරය මීටරයක් පමණ ඈතින් තබා ගත යුතුය.

වෙළඳපොලෙහි වැඩ කටයුතු ඉතා සුළු වේලාවකින් නිම කර ගැනීම.

නිවසින් පිටතට ගොස් පැමිණි විට වහා සබන් දමා අත් සෝදා ගැනීම හා ස්නානය කර නිවැසියන් සමග සබඳතා පැවැත්වීම.

03. ස්වයං නිරෝධායනයේ යෙදෙන විට අනුගමනය කළ යුතු කරුණු

පසුගිය සති දෙක තුළ කොරෝනා රෝගියෙකු බවට සැකකරන තැනැත්තෙකු ඇසුරු කර තිබේද? එසේ නම්, ඔබ වහාම ස්වයං නිරෝධායනයටයොමුවිය යුතුය.

01.රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටින්න.

02.නිවස තුළ සිටින අන් අයගෙන් වෙන් ව නිවසේම රැඳී සිටින්න.

03.අන් අය සමග ගැවසීමේ දී අවම වශයෙන් මීටරයක් පමණ දුරස්ථ ව සිටින්න.

04.සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණයක් පළඳින්න.

05.කසින විට හෝ කිවිසන විට මුව ආවරණය කර ගන්න.

06.නිරන්තරයෙන්සබන් යොදා අත් සෝදන්න.

07.නිවසේ භාවිත කරන දෑ අන් අය සමග හුවමාරු කර ගැනීමෙන් වළකින්න.

08.භාවිත කරන දෑ පිරිසිදු කර ගන්න,භාවිත කොට ඉවතලන දෑ විනාශ කරන්න.

09.ඉවත දැමිය හැකි භාජනයක ආහාර ලබා ගන්න,රෝගියාටම වෙන් වූ වැසිකිළි හා නාන කාමර භාවිත කරන්න.

10.ස්වයං නිරෝධායනය ආරම්භ කළ දින සිට අවම වශයෙන් දින 14 ක් මෙම ක‍්‍රමය අනුගමනය කරන්න.

මෙම කාලය තුළ රෝග ලක්ෂණ මතු වුවහොත් වහාම පහත අංක අමතන්න.
0112444480/0112444481 හෝ 1933 නැතහොත්  lahd@police.lk ලිපිනයට ඊ-මේල් කරන්න.

ඔබ නිරෝධායන උපදෙස් වලට පටහැනි ව ක‍්‍රියා කළහොත් සිදුවන්නේ කුමක් ද?

නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතට අදාළවේ.

x ඔබ නිරෝධායන ක‍්‍රියාවලියට අනුගත කළ හැකිය.

x ඔබගේ ගමන් බිමන් සීමා කළ හැකිය.

x අන් අයගෙන් වෙන් කර තැබීම හෝ ප‍්‍රතිකාර සඳහා බලහත්කාරයෙන් වුවද යොමු කළහැකිය.

x ඊට අවනත නොවීම හේතුවෙන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකිය.

x වරදකරුවෙකු වුවහොත් මාස 06 ක් දක්වා සිර ද`ඩුවම් හෝරු 2,000/- සිට රු 10,000/- දක්වා දඩයකට යටත් කළ හැකිය.

ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය අනුව ද වරදකි.

මේ අතර ශ‍්‍රී ලංකාව තුල කොරෝනා ව්‍යාප්තියේ මුල් දින 15ක කාලය ජර්මනිය, ස්පාඤ්ඤය, ඇමරිකා යක රටවල මුල් දින 15 සමග සසදද්දී අවදානම් තත්ත්වයක ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටිනවා.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා දත්ත සටහනක් ඉදිරිපත් කරමින් සදහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් මුල් දින පහළොවේ දී ශ්‍රී ලංකාවෙන් 100ක් වාර්තා වෙද්දී ජර්මනියෙන් 130ක්, ස්පාඤ්ඤයෙන් 84ක්, ඇමරිකාවෙන් 75ක් වාර්තා වී තිබු බවයි.

නමුත් ඊළඟ දින 15දී එම රටවල තත්ත්වය බොහෝ දරුණු බව ඔහු පෙන්වා දෙනවා.මේ හේතුවෙන් ඉදිරි දින 15 මෙරටට ඉතා තීරණාත්මක බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා අවධාරනය කරනවා.

මේ වනවිට ශ්‍රී ලංකාවෙි කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරන අතර කොරෝනා ආසාදනය වී කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කර සිටියා.

මාර්තු 23, 24 හා 26 දින වල ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමග ඇති වු තත්ත්වයන්හිදි සමාජ දුරස්ථකරණය දැඩි ලෙස බිඳවැටීමට ලක්වු බවත් ඒ හරහා සිදු වන්නේ මාර්තු 25 වන දින සිට අප්‍රියේල් 7 දක්වා ප්‍රකාශයට පත් කල අවදානම් කාලය තවදුරටත් දිර්ඝ වනු ඇති බවයි.

Top