Breaking
24 Feb 2025, Mon

මැයි දිනයෙන් ශ්‍රිලනිපය දෙකඩ වේ ද?

පෙර රූපවාහිනි විවාද පැවැත්වුණේ මැදියම් රැයටයි. ඒවාට සහභාගි වුණේ විවිධ පක්ෂ නියෝජනය කරන විවාදකයින්ය. මේ දිනවල අමුතු රූපවාහිනි විවාද මාලාවක් ඇරඹී තිබේ. එහි දෙපිලම නියෝජනය කරන්නේ ශ්‍රිලනිපයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ය. විකාශනය වන්නේ ප්‍රවෘත්ති විකාශනයේ කොටසක් ලෙසය. එක් පිලක් තර්ක කරන්නේ ගාල්ලේ ජනපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මැයි රැළියට නොයෑම ශ්‍රිලනිපය දෙකඩ කිරීමේ එජාප කුමන්ත්‍රණයක් බවයි. අනිත් පිරිස පවසන්නේ හිටපු ජනපති රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මැයි දිනයට සහභාගි නොවීම ශ්‍රිලනිපය දෙකඩ කිරීමේ එජාප කුමන්ත්‍රණයක් බවයි. මැයි දිනය අභියස සිට මෙහි ඇත්ත නැත්ත විමසමු.

ඇත්තෙන්ම ශ්‍රිලනිපය අමුතුවෙන් දෙකඩ වීමක් සිදු විය නොහැක. ඒ පක්ෂය දැනටමත් දෙකඩ වී ඇති බැවිනි. ඒ ආණ්ඩු පිල සහ විපක්ෂ පිල වශයෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සිට ශාඛා සභාපතිවරුන් දක්වා මේ පිල් බෙදීම දැකිය හැකිය. පාර්ලිමේන්තු කණ්ඩායමෙන් 60%ක් පිලි ගන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයයි. පලාත් සභා මට්ටමේ දී එය 80%ක් පමණ ද පලාත්පාලන මට්ටමේ දී 90%ක් පමණ ද ශාඛා මට්ටමේ දී එය 95%ක් පමණ ද වේ. මේ බෙදීම ඇති කලේ ජනපති සිරිසේන මිස ජනපති රාජපක්ෂ නොවේ. ඇත්තෙන්ම ජනපති සිරිසේන ශ්‍රිලනිපය දෙකඩ කලේ පියවර හතරකිනි.

ශ්‍රිලනිපය පළමුව දෙකඩ වුණේ 2014 නොවැම්බර් 22 දිනයි. ඒ ජනපති සිරිසේන එජාපය ඇතුළු විපක්ෂයේ ජනපති අපේක්ෂකයා වී ශ්‍රිලනිප අපේක්ෂකයා පරාජයට පත් කිරීමට ඉදිරිපත් වීමෙනි. ඔහුගේ ව්‍යාපෘතියට සහය පල කරමින් ශ්‍රිලනිපයේ සිටි රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක එම් කේ ඩී එස් ගුණවර්ධන ෆයිසර් මුස්තාෆා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැනි දේශපාලකයෝ ශ්‍රිලනිපයෙන් ඉවත් වූහ. එම දෙකඩ වීමේ ප්‍රතිඵලය වූයේ ශ්‍රිලනිප නායකත්වය යටතේ වසර 21ක් පැවැති ආණ්ඩුව බිඳ වැටී එජාපය ආණ්ඩුවක් පිහිටුවීමයි. ඊට අමතරව ශ්‍රිලනිපයෙන් ඉවත් වුණු රාජිත සේනාරත්න, එම් කේ ඩී එස් ගුණවර්ධන සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එජාපයට එක් වූහ. එසේ ශ්‍රිලනිපය දෙකඩ වීමේ ප්‍රතිඵලය වූයේ ශ්‍රිලනිපය පරාජය වී එජාප ආණ්ඩුවක් බිහි වීමත් ශ්‍රිලනිප පිරිසක් එජාපයට එක් වී එජාපය පෝෂණය වීමත්ය.

ජනපතිවරණය අවසන් වූ වහාම ශ්‍රිලනිපය දෙවැනි වරට ද දෙකඩ විය. ඒ ජනපති සිරිසේන ශ්‍රිලනිපයේ බලය ඇල්ලීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස විජිතමුණි සොයිසා, එස් බී නාවින්න සහ දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් සැබෑ ශ්‍රිලනිපය සිටින්නේ ජනපති සිරිසේන සමග යැයි පවසමින් ශ්‍රිලනිප සභාපති ධූරයට ජනපති සිරිසේනත් ලේකම් ධූරයට දුමින්ද දිසානායකත් පත් කර ගත්හ. මේ පිරිස ප්‍රසිද්ධ වූයේ “අප්පච්චි මලෝ“ කණ්ඩායම ලෙසයි.

දැන් ශ්‍රිලනිප දෙකකි. එකක සභාපති ජනපති සිරිසේනයි. ලේකම් දුමින්ද දිසානායකයි. අනිත් ශ්‍රිලනිපයේ සභාපති ජනපති රාජපක්ෂයි. ලේකම් අනුර යාපායි. මේ බෙදීමෙන් පසු ජනවාරි 13 දින රාජපක්ෂ පිලේ ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව රැස් විය. එහි දී හදවතින් ජනපති සිරිසේනට එක් වී නමට පමණක් ජනපති මහින්ද සමග සිටි පිරිසක් දෙකඩ වුණු පක්ෂය යළි සමගි කිරීම සඳහා පක්ෂ නායකත්වය ජනපති සිරිසේනට භාර දෙන මෙන් බල කළහ. ඒ අනුව ජනපති රාජපක්ෂ පක්ෂ නායකත්වය ජනපති සිරිසේනට භාර දීමට තීරණය කලේය. ජනපති රාජපක්ෂගේ එම උදාර පරිත්‍යාගය හේතුවෙන් යළි පක්ෂය සමගි විිය.

අවාසනාවට ජනපති රාජපක්ෂගේ පරිත්‍යාගයෙන් බිහි වුණු සමගියට ආයුෂ අහිමි කලේ ජනපති සිරිසේනගේ දේශපාලන තීන්දුවකි. ඒ ජනපති සිරිසේන විසින් දින සීයේ ආණ්ඩුවේ ඇමති ධූර ශ්‍රිලනිප මන්ත්‍රිවරුන්ට ලබා දීමෙනි. එජාපය සමග හවුල් ආණ්ඩුවක් බිහි කිරීමට ශ්‍රිලනිප මන්ත්‍රිවරුන්ට ජන වරමක් නොතිබුණි. එබැවින් මෙම තීන්දුවට මන්ත්‍රිවරුන් බහුතරයක් විරුද්ධ වූහ. ඒ අනුව ඇමති ධූර භාර ගත් අය ආණ්ඩු පක්ෂයේ ද ඊට විරුද්ධ වූ අය විපක්ෂයේ ද වාඩි වීමෙන් තෙවන වතාවටත් ශ්‍රිලනිපය දෙකඩ විය. ආණ්ඩුවට එක් වුණු ශ්‍රිලනිප අය එජාප ආණ්ඩුව රකිමින් කටයුතු කරන විට සංධානයේ සෙසු පක්ෂ සමග එකතු වුණු විපක්ෂයේ ශ්‍රිලනිප පිරිස ආණ්ඩුව පතුරු ගසමින් රට පුරා රැලි පැවැත්විය. ජනතා රැල්ල තිබුණේ විපක්ෂ පිල සමග බැව් එම රැලි වලට ඇදී ආ දැවැන්ත ජන ගංගාවෙන් පැහැදිලි විය.

2015 ජූනි මස පාර්ලිමේන්තු මැතිවරණය උදා වූ විට ආණ්ඩු පිලට විපක්ෂ පිල සමග සමගි වීමට අවශ්‍ය විය. ඒ ජන බලය තිබුණේ විපක්ෂ පිලට බැවිනි. එබැවින් සමගි වී මැතිවරණයට මුහුණ දීමට ආණ්ඩු පිලෙන් විපක්ෂ පිලට යෝජනා ඉදිරිපත් විණි. එහි දී අපි ඊට විරුද්ධ වූයෙමු. පාර්ලිමේන්තු මැතිවරණයේ දී අප ඡන්ද අපේක්ෂා කරන්නේ පසුගිය ජනපතිවරණයේ දී ජනපති රාජපක්ෂට ලබා දුන් ඡන්ද ලක්ෂ 58නි. ඔවුන් ජනපති සිරිසේන ප්‍රතික්ෂේප කරමින් ඡන්දය ප්‍රකාශය කළ පිරිසකි. ඔවුන්ට තිබුණු ආණ්ඩු බලය අහිමි කළ ඔවුන් විසින් ජනපතිවරණයේ දී ප්‍රතික්ෂේප කළ ජනපති සිරිසේනගේ නායකත්වයෙන් මැතිවරණයට ඉදිරිපත් වීම ඔවුන්ගේ මනාපයට හේතු නොවේ. එවිට ලක්ෂ 58න් සැලකිය යුතු පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉදිරිපත් නොවුණු ඇත. ජනපති සිරිසේනගේ ලක්ෂ 62 දෙමළ ජාතික සංධානය, ජවිපෙ සහ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය අතරේ බෙදුණු පසු එජාපයට ඉතිරි වන්නේ හුදෙක් ලක්ෂ 50ක් පමණි. එබැවින් අපේ ලක්ෂ 58න් ලක්ෂ 51ක් ඡන්දය පාවිච්චි කළොත් ජයග්‍රහණය අපේය. නමුත් ජනපති සිරිසේනගේ නායකත්වයෙන් ජනතාව ඉදිරියට ගියොත් ලක්ෂ 58 නොව ලක්ෂ 51වත් ලබා ගැනීම අසීරුය.

අප ඉහත තර්කය ඉදිරිපත් කරමින් ශ්‍රිලනිපයේ ආණ්ඩු පිලත් සමග එකතු වීම ප්‍රතික්ෂේප කළ නමුත් පක්ෂයේ සමගියේ නාමයෙන් ඕනෑම අවදානමක් ගැනීමේ මානසිකත්වයක ජනපති රාජපක්ෂ පසු විය. එබැවින් සමගිව තරග කළ අතර අප අපේක්ෂා කළ අයුරින්ම ජනපති සිරිසේන සිය පක්ෂ නායක ධූරයේත් විධායක ජනපති ධූරයේත් බලය යොදා සංධානය පරාජය කරමින් එජාපය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් භාවිතා කරන ලදී.

එජාපය සිය මැතිවරණ ප්‍රකාශනයෙන් ශ්‍රිලනිපය සමග හවුල් ආණ්ඩුවක් බිහි කිරීමට ජන වරමක් පැතීය. නමුත් ශ්‍රිලනිපය ජන වරමක් පැතුවේ එජාපය පරාජය කිරීමට මිස ඒ සමග හවුල් ආණ්ඩුවක් ගොඩ නැගීමට නොවේ. නමුත් සිය ජන වරමට පිටු පාමින් ශ්‍රිලනිප මන්ත්‍රිවරු පිරිසකට ඇමති ධූර ලබා දීමට ජනපති සිරිසේන කටයුතු කලේය. ඒ අනුව ආණ්ඩු පිල සහ විපක්ෂ පිල ලෙස ශ්‍රිලනිපය නැවත වරක් බෙදිණි. ඒ වසරක් තුල ශ්‍රිලනිපයේ සිදුවුණු සිව් වන බෙදීමයි. මෙම දෙකඩවීම් සියල්ලටම මූලිකත්වය ගත්තේ ජනපති සිරිසේනයි. ඒ අනුව ශ්‍රිලනිපය දැන් දෙකඩ කරන බවට කිසිවෙකුට චෝදනා නැගිය නොහැක. එය ජනපති සිරිසේන විසින් දැනටමත් සිදු වී හමාරය.

දැන් කළ යුත්තේ බෙදුණු ශ්‍රිලනිපය සමගි කිරීමයි. ඒ සඳහා විකල්ප දෙකක් ඇත. එක්කෝ විපක්ෂයේ සිටින අය ආණ්ඩුවට යා යුතුය. නැතිනම් ආණ්ඩුවේ සිටින අය විපක්ෂයට පැමිණිය යුතුය. විපක්ෂයේ සිටින පිරිස ද එජාප ආණ්ඩුවට එක් වුණොත් එජාපය සහ ශ්‍රිලනිපය අතර වෙනසක් නොමැති වීමෙන් ශ්‍රිලනිපය මිය යනු ඇත. ශ්‍රිලනිපයට අනාගතයක් ඇත්තේ ද එජාප ආණ්ඩුව පෙරලා ශ්‍රිලනිප ප්‍රමුඛ ආණ්ඩුවක් බිහි කළ හැක්කේ ද ශ්‍රිලනිපය විසින් එජාප ආණ්ඩු විරෝධි අරගලයට නායකත්වය දීමෙනි. එබැවින් ශ්‍රිලනිපය සමගි විය හැක්කේ තනතුරු පතා ආණ්ඩුවට එක් වුණු පිරිස නැවත ආණ්ඩු විරෝධි අරගලයට එකතු වීමෙනි. ශ්‍රිලනිපයේ සමගිය පතන අය මෙන්ම එහි ජයග්‍රහණය පතන අය ද කළ යුත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් කිරුලපනේ පැවැත්වෙන ආණ්ඩු විරෝධි මැයි රැලියට එකතු වීමයි.
උදය ප්‍රභාත් ගම්මන්පිල
2016.04.28

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.