විශේෂාංග

මි‍ලේනියම් සිටි ජාතියේ මහා පාවාදීම පරදා … මහා පාවාදීමකට ශ්‍රී ලංකා ‍පොලිසිය පිඹුරුපත් සකසා අවසන්… පාතාලෙත් එක්ක නැගිටින කොටි ගැන බුද්ධි අංශ අලුත්ම හෙළිදරව්ව…

Published on: Jul 28, 2018- සහකාර ‍පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්‍පොළ විසින් අතුරුගිරිය, මි‍ලේනියම් සිටි නිවාස සංකීර්ණයේ අංක 844 දරන නිවස 2002 ජනවාරි මස 02 වටලනු ලැබුවේ ජාතියේ මහා පාවාදීම සනිටුහන් කරමිනි.

එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා ප්‍රචාරක බස් රථයට පහරදීමට සැලසුම් කළ බව කියමින් මි‍ලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය හමුදා බුද්ධි අංශයේ රහසිගත මෙහෙයුම් ඒකකය අත්අඩංගුවට ගන්නේ මාධ්‍ය සංදර්ශන පවත්වමිනි. මහනුවර ‍පොලිස් නිල සුනඛ අංශයේ සිටි සහකාර ‍පොලිස් අධිකාරිවරයකු විසින් දේශපාලන ලකුණු දමාගන්නට එදා කළ වැටලීමෙන් එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත්, යුද හමුදාපති ජෙනරාල් ලයනල් බලගල්ලත් ඇතුළුව නිලධාරින් අතලොස්සක් දැනගෙන සිටි රහස්‍ය බුද්ධි ඒකකය ගැන රටම දැනගත්තේය.

කොටි ත්‍රස්තවාදීන්ගේ පාලන ප්‍රදේශ තුළටම රිංගා සිදුකරන ලද දිගුදුර මෙහෙයුම් ප්‍රහාර සඳහා කොටි ත්‍රස්තවාදීන්ගෙන්ම ගලවාගත් දෙමළ ජාතිකයන් යොදවා ඇරඹූ මෙම විශේෂ මෙහෙයුම් ඒකකය පවත්වාගෙන යනු ලැබුවේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ කපිතාන් ෂාවුල් හමිඩ් නිලාම්ගේ නායකත්වයෙනි. කපිතාන් නිලාම් සෘජුවම අණ දුන්නේ එවකට බුද්ධි අධ්‍යක්ෂවරයා වූ බ්‍රිගේඩියර් කපිල හෙන්දාවිතාරනටය.

මි‍ලේනියම් සිටි මහා පාවාදීමට වැටලීම කළ ‍පොලිස් නිල සුනඛ අංශයේ කණ්ඩායම කපිතාන් නිලාම් සමග මෙම මෙහෙයුමට දායක වූ ආනන්ද උදලාගම, එච්.එම්. නිශ්ශංක හේරත්, එදිරිසිංහ ජයමාන්න, මොහමඩ් හිල්මි යන පස්දෙනා සමග යුද ටැංකි නාශක බෝම්බ, තර්මෝබැරික් විදින, තුවක්කු බිම්බෝම්බ ඇතුළු අවි ආයුධ, කොටි නිල ඇඳුම් හැටහයක්ද සමග අත්අඩංගුවට ගත්තේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන මෙම නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර රට හමුවේ යුද හමුදාව සතු රහසිගත මෙහෙයුම් ඒකකය ගැන අනාවරණය කළේය.

දිගුදුර මෙහෙයුම්  මගින් නැගෙනහිර කොටි බළකොටුවල සිටින කොටි නායකයන් අබිරහස් ලෙස ඝාතනය කිරීමට කපිතාන් නිලාම් හෙවත් මයික් යටතේ මෙම අබිරහස් කණ්ඩායම ක්‍රියාත්මක වී තිබුණේය.

එවකට ‍පොලිස්පති ලකී කොඩිතුවක්කු මහතාගේ කාලයේදී සහකාර ‍පොලිස් අධිකාරිවරයකු විසින් රහසිගත බුද්ධි ඒකකයක් රටට අනාවරණය කරමින් කළ මහා පාවාදීම රටට දැනුණේ හමුදා බුද්ධි අංශයට බඳවාගෙන සිටි දෙමළ ජාතික බුද්ධි ක්‍රියාකාරීන් විසිපස්දෙනකු හා ඔවුන්ට සම්බන්ධ සිවිල් ඔත්තුකරුවන් ඇතුළුව අසූ දෙනකුට වඩා කොටි ත්‍රස්තවාදීන් විසින් පාවාදීමෙන් පසු ඝාතනය කිරීම නිසාය.

මහා පාවාදීමෙන් සති දෙකකට පසුව එනම් 2002 පෙබරවාරි 16දා පළමු බිල්ල ගන්නට ලාන්ස් කෝප්‍රල් වී. විජේරත්න කොටි ගරිල්ලන් පැහැර ගත්හ. දින හතරක් තිස්සේ දරුණු වධහිංසාවන්ට ලක්කර කපිතාන් නිලාම්ගේ රහස්‍ය කණ්ඩායමේ හෙළි නොවූ තොරතුරු දැන ගැනීමෙන් පසු ජනවාරි 20දා ඔහුව ඝාතනය කරන ලදී.

ලාන්ස් කෝප්‍රල් ක්ලැරි හෙවත් ගඩාෆි 2002 පෙබරවාරි 09දා මඩකලපුව, චෙන්කල්ලඩියේදී පැහැරගෙන ඝාතනය කළහ. ලාන්ස් කෝප්‍රල් සෞන්ද්‍රරාජා, ගනේෂ් මුර්ති (තිලකරත්න), පු‍ලේන්ද්‍ර රාසා (කැෂියර්), කදිරගාමපිල්‍ලේ රගුපති, සින්නතම්බි, දේවරාජා (අශෝක්), කණපතිපිල්‍ලේ දේවදාස්, සිදම්බරපිල්‍ලේ, අසීස්, සූරියන්, රිල්වාන්, විවේකනාදන්, සෞන්දනායගම් සබාරත්නම්, පු‍ලේන්ද්‍රරාජා, තංගරාජා, නාගකෝනේ අෂිෂ්, සුබ්‍රමනියම් ජයදේවන්, සබානායගම්, අබ්දුල් ෆවුසි, අරියනන්දන් හේමචන්ද්‍ර මෙසේ ඝාතනය වූවන් අතර වූහ. කොටි පිස්තෝල කල්ලි නැගෙනහිරෙන් පටන්ගත් ඝාතන සංග්‍රාමය කොළඹ, මාත‍ලේ ප්‍රදේශවලටද ව්‍යාප්ත විය.

මෙකී මි‍ලේනියම් සිටි ජාතියේ මහා පාවාදීම හමුදා බුද්ධි අංශයට එක්ව ක්‍රියා කළ හමුදාවෙන් වැටුප් ගත් දෙමළ ජාතිකයන් සංහාරයෙන් අවසන් විය. කොටි බුද්ධි අංශ නායක ශිවශංකර් ‍පොට්ටුඅම්මාන් දේශද්‍රෝහීන් අතුගා දැමීම යන තේමාව යටතේ මෙකී සංහාරය දියත් කර තිබිණි.

මෙකී සංහාරයට වගකිවයුතු සහකාර ‍පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්‍පොළ ඇතුළු ‍පොලිස් ලොක්කන් ජාතියේ මහා පාවාදීමට වගකිවයුතු බවට එවකට ජනාධිපතිනිව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් අභියාචනාධිකරණයේ හිටපු විශ්‍රාමලත් විනිසුරු ඩී. ජයවික්‍රම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත්කළ ජනාධිපති කොමිසම තීරණය කළේය. එම කොමිසමෙන් මෙම මහා පාවාදීමට සම්බන්ධව උදව් දුන් බව කියමින් යුද හමුදාවේ ජෙනරාල් අයිවන් දසනායක, කර්නල් දප දසනායක ඇතුළු කණ්ඩායමක් වරදකරුවන් කළ පසු හමුදාවෙන් නෙරපනු ලැබූහ.

වත්මන් යහපාලන රජය බලයට පත්වූ පසුව එම මහා පාවාදීමට චෝදනා ලද හමුදා නිලධාරීන්ට යළි විශ්‍රාම වැටුප් හා හිඟ වැටුප් ලබාදෙන්නේ දේශපාලන පළිගැනීම් ලැයිස්තුව යටතට දමාය. හිටපු ජනාධිපතිනිය පත්කළ කොමිසමක වරදකරුවන් වූ නිලධාරීන්ට ඇයත් නියෝජනය කරන යහපාලන රජය යටතේ යළි සමාව ලැබෙන්නේ ෙදෙවෝපගත ලෙසය.

ඉහත කී මහා පාවාදීමෙන් වසර දහසයකට පසුව වත්මන් යහපාලන රජය යටතේ යළිත් එවන් මහා පාවාදීමකට ශ්‍රී ලංකා ‍පොලිසිය පිඹුරුපත් සකසා අවසන්ය.

ඔඩ්ඩුසුඩාන් කැලෑවෙන් ඉකුත් ජුනි 22දා ක්‍ලේමෝ බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය සමග අල්ලාගත් කොටි ත්‍රස්තයන් සමග කරළියට ආ කොටි ත්‍රස්තයන්ගේ යළි නැගිටීම ගැන රටට හෙළි නොකර මෙම ත්‍රස්තයන් ගැන හෙළිකරගත් හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවන් පාවාදීම අලුත්ම වෑයම වී ඇත.

අලුත්ම බිල්ලකට කොටි යළි නැගිටී යන ශිර්ෂය යටතේ රිවිර ඉරිදා සංග්‍රහයෙන් ඉකුත් ජුනි 24දා මෙම ලියුම්කරු කළ අනාවරණය නිසා කොටින්ගේ හිස එසැවීම යහපාලනයේ නාමයෙන් යටපත් කරන්න පිඹුරුපත් සැකසූ ‍පොලිස් කණ්ඩායමේ වෑයම ව්‍යර්ථ වූ පසුව සිදුවූයේ ලියුම්කරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත සිකුරාදා (20) දිනයේ කැඳවා පැය 5ක් ප්‍රශ්න කිරීමය.

ඔඩ්ඩුසුඩාන්වලදී බෝම්බ හමු වූ කොටි ජාලය ගැන තොරතුරු යටපත් කර ඒ ගැන ඔත්තු සෙවූ හමුදා බුද්ධි අංශය මත වරද පටලවා තවත් පාවාදීමක් කරන්නට ශ්‍රී ලංකා ‍පොලිසිය ගත් වෑයම පස්සට දමන්නට රිවිර ඉරිදා සංග්‍රහය කළ හෙළිදරව්ව ද හේතු වූයේය.

මීට වසර දහසයකට පෙර ‍පොලිස් දෙපාර්තමේන්තුවට නිගාවක් දෙමින් මහා පාවාදීම කළේ මහනුවර නිල සුනඛ අංශයේ ‍පොලිස් නිලධාරීන්ය. නමුදු මෙවර එම පාපකර්මයට කර ගසන්නට සිදුවී ඇත්තේ රටේ ත්‍රස්තවාදය සම්බන්ධව සොයා බලන්නට ඇති ‍පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (ඊච්)ටය. ඉහළ නිලධාරීන් දේශපාලන ලකුණු දමාගන්නට රටේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන්නට යන බව මෙහි ‍පොඩ්ඩන්ට තේරුණද ඔවුන්ටද කරන්නට දෙයක් නොමැති වී ඇත්තේය.

කෙසේ වුවත් පසුගිය අඟහරුවාදා (17) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, රාජ්‍ය ආරක්ෂක ‍ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් සමග ත්‍රිවිධ හමුදාපතිවරුන්, ‍පොලිස්පති හා බුද්ධි ප්‍රධානීන් පැවැත්වූ බුද්ධි සමාලෝචන රැස්වීමේදීත් මෙම පාවාදීම ගැන සාකච්ඡා කර තිබිණි.

ජාතික ආරක්ෂක කවුන්සිලය වෙත සන්නද්ධ බුද්ධි බළකාය දිගින් දිගටම එල්ටීටීඊය යළි ක්‍රියාත්මක වන ආකාරය හා එල්ටීටීඊ ක්‍රියාකාරකම් හමුදා බුද්ධි බළකාය නිරීක්ෂණය කරන ආකාරය තොරතුරු සහිතව වසරක් පමණ තිස්සේ ඉදිරිපත් කර තිබියදී හමුදා බුද්ධි අංශය මත ඔඩ්ඩුසුඩාන් සිද්ධිය පටවන්නට උත්සාහ නොකරන්නැයි ආරක්ෂක ‍ලේකම්වරයා මෙහිදී ‍පොලිස්පතිවරයාට හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාට දැඩිව අවධාරණය කර තිබිණි.

මෙම සිද්ධිය ගැන කරන ‍පොලිස් විමර්ශන මගින් මි‍ලේනියම් සිටිවල කළ පාවාදීම වැනි තවත් මි‍ලේනියම් සිටියක් නොකරන්නැයි හමුදාපතිවරුන්ද ‍පොලිස් ප්‍රධානීන් වෙත මෙහිදී අවධාරණය කර තිබුණේය.

කෙසේ වුවද කොටි ත්‍රස්තයන් යළි නැගිටීමට වෙර දරද්දීම යුද හමුදා බුද්ධි අංශය මගින් එය අනාවරණය කරගන්නට එම කණ්ඩායම් තුළටම රිංගවා තිබූ කොටි සංවිධානයේ සිටියදී හමුදා ඔත්තුකරු ලෙස කටයුතු කළ පුද්ගලයාව යාපනයේ පළවන උදයන් පුවත්පත හරහා අනාවරණය කරවන්නේ මෙකී ‍පොලිස් පරීක්ෂණවලදීය.

ඔඩ්ඩුසුඩාන්වලදී ක්‍ලේමෝ බෝම්බ සමග කොටි ත්‍රස්තයන් අත්අඩංගුවට ගත් පසුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට විමර්ශන භාරගත් අතර උදයන් පුවත්පත ජූනි 24 දා යුද හමුදා බුද්ධි අංශයෙන් මාසිකව පඩි ගත් පුද්ගලයකු සිටින බවට අනාවරණය කළේය.

2016 මාර්තු 29 වැනිදා යාපනය චාවකච්ච්ෙරියේදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් පැති බෝම්බ හතරක් යාපනය සමග කබ්රියල් එඩ්වඩ් ජුලියට් (33) නමැති ත්‍රස්තයකු, යාපනය කොට්ඨාස බුද්ධි ඒකකය අත්අඩංගුවට ගත් පසුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශන භාර කෙරුණේය. එහිදීත් ත්‍රස්තවාදය හිස ඔසවන බව හෙළි නොකරන්නට වුවමනා නිසා හමුදා බුද්ධි අංශයේ පිටින් එයත් යවන්නට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පිඹුරුපත් සැකසුවේය.

කොටි ත්‍රස්තයන් හිස ඔසවන්නට එන බවට හමුදා බුද්ධි අංශය දිගින් දිගටම ජාතික ආරක්ෂක කවුන්සලය වෙත වාර්තා කරමින් ආරක්ෂක මණ්ඩලය හමුවේ වසරක් පමණ තිස්සේ හමුදා බුද්ධි අංශය තොරතුරු වාර්තා කර තිබුණෙන් එක්වරම සිද්ධිය කනපිට හරවන්නට ‍පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නොහැකිවිය.

මෙම එල්.ටී.ටී.ඊ. ජාලයේ දිනේෂ්, කරන් ගුන්ඩන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදිත් හමුදා බුද්ධි අංශය සමග ඇති සබඳතා සොයන්නට ‍පොලිස් බලධාරීන් උත්සුක වී තිබුණේ යහපාලන ආණ්ඩුව අපහසුතාවට පත්කරන්නට හමුදා බුද්ධි අංශය කටයුතු කළ බව කියමින් කතාවක් ගොතන්නට විය හැකිය.

කෙසේ හෝ මෙම කොටි කණ්ඩායම මන්නාරම කේන්ද්‍රකරගෙන සි.ෂෝ පුපුරන ද්‍රව්‍ය කිලෝ හතළිහක් ඉන්දියාවෙන් ගෙනවිත් ඔඩ්ඩුසුඩාන් වෙත රැගෙනයන්නේත්, වන්නියේ සඟවා තැබූ නවීන අවි නැගෙනහිරට යවන්නේත් කොටි ඩයස්‍පෝරාව දුන් ඉලක්කයන් ගැනීමටය.

කරන්ගේ පුදුකුඩිඉරිප්පු ගරාජයේ යතුරුපැදි හා ත්‍රීවීල් සකස් කරන්නේත් ඉදිරි මෙහෙයුම් සඳහාය. ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන විනයාකම් නෝර්වේ සිට ක්‍රියාත්මකවන නෙදියවන් (පෙරිම්බනායගම් ශිවපාරන්) රටින් පිටත සිට ඊළාම් රාජ්‍යයක් සඳහා ඊළමක් බිහිකරන්නට දරන තැත සඳහා යොදා ගත් එක් පුරුකක් ලෙස මෙම කණ්ඩායමේ කොටු වූ දිනේෂ් හඳුනාගෙන ඇත.

මෙම කණ්ඩායම කරන බුද්ධි තොරතුරු රැස් කිරීම, තැන් තැන්වල සැඟවූ අවි ආයුධ අවශ්‍ය තැන්වල ස්ථානගත කිරීම හා නිද්‍රාශීලි කොටි යළි නැගිටවීම දෙමළ ඩයස්‍පෝරා නායකයන්ගේ ඉලක්කය වී තිබුණේය.

ඉන්පසු දකුණේ ප්‍රහාර හා ඉලක්ක සඳහා දෙමළ කණ්ඩායම්වලට වඩා දකුණේ පාතාල කණ්ඩායම් යොද ගැනීම මෙවර සැලසුම් බව බුද්ධි අංශ අනාවරණය කළේය.

ඉතිහාසයේ කිඹුලා ඇළ ගුණා තෙල් බාලා, මාකඳුරේ මධුෂ් යන පාතාල නායකයන්ගේ සහාය කොටි ත්‍රස්තයන් ඊලාම් යුද සමයේ ගත්තේ තම ප්‍රහාරකයන් හා ආයුද ප්‍රවාහනය හා ඉලක්ක වෙත රැගෙන යාමටය. මෙවර පාතාලයට මුදල්දී තමන්ට අවශ්‍ය ඉලක්ක ගැනීම යළි හිස ඔසවන කොටින්ගේ ඉලක්කය වී ඇති බව කියවෙන්නේය. මෑතකදී කොළඹ පාතාල ක්‍රියා හා දකුණේ පාතාල ක්‍රියාවලට සම්බන්ධ සැඟවුණු මිනීමරුවා වූ කෙනඩි එල්.ටී.ටී.ඊ. චාල්ස් ඇන්තනි බළකායේ සේවය කර බූස්සේ සිරගෙදරදි කොස්ගොඩ සුජි නමැති පාතාල නායකයා හඳුනාගෙන පාතාලයට ගොඩබැස්ස කොටියෙකි. මේ අයුරින් පාතාලය හා කොටි වෙඩික්කරුවන් යොදා ඉදිරියේදී තවත් ඉලක්ක කරා යෑමේ අවධානමක්ද ඇති බව බුද්ධි අංශ පෙන්වාදෙයි. සන්නද්ධ ලෙවල් එකේ බෝම්බ ගහන්නේ නැතිව සල්ලි විසිකරලා පාතාලෙන් වැඩ ගන්න එක මෙවර ප්‍රභූ ඉලක්ක සොයා යළි නැගිටින කොටි සංවිධානාත්මකව එන්නේ, සිංහල, දෙමළ, මුස්ලිම් පාතාලයද එකතු කරගෙනය. මේ නිසා පෙරටත් වඩා ප්‍රභූ ජීවිතවලටද බලපෑමක් එල්ල විය හැකිය.

මෙවර අලුත්ම කොටි නැගිටීම හරහා ඉලක්ක බවට පත්ව ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ, දෙමළ ජාතියේ හතුරන් ලෙස කොටි ඩයස්‍පෝරාව නම් කර ඇති එම්. සුමන්තිරන්, කරුණාඅම්මාන්, කුමරන් පද්මනාදන් යන අය බව බුද්ධි අංශවලට තොරතුරු ලැබි ඇතත් එය එළිපිට කියන්නට කිසිවකුත් උත්සුක නොවන්නේ දේශපාලන අරමුණු හේතුවෙනි.

ඊළාම් යුද සමයේ සිංහල කොටින් ලෙස ආරක්ෂක අංශ හා ‍පොලිසිවල සාමාජිකයන් කොටින්ගේ වැටුප් ගෙවන්නට බඳවාගත් අයුරෙන් දැනටමත් කොටි ජාත්‍යන්තර ජාලය අත දිගහැර මුදල් වියදම් කරන බවද හෙළිවී ඇත.

මෙම කොටි ත්‍රස්ත ජාලය කොටු කරන්නට අනගි මෙහෙවරක් කළ හමුදා බුද්ධි අංශයේ කොටි ඔත්තුකරුවන් පාවාදීමට ‍පොලිස් ලොක්කන් වෙර දරන්නේත් ඩයස්‍පෝරාව අත දිගහැර මුදල් වියදම් කරන නිසා ද යන සැකය යම් දිනක රට හමුවේ පැනනැගිය හැකිය.

ඩයස්‍පෝරාවේ උවමනාව ඉටුකර දෙන්නට ශ්‍රී ලංකා ‍පොලිසිය යළිත් මහා පාවාදීමකට චෝදනා ලබන්නට තල්ලු කරන්නේ එවැනි බලවේග විය හැකිය.

කෙසේ හෝ මන්නාරමෙන් රැගෙන ආ අවිආයුධ එක්රැස් කර ප්‍රභූ ඝාතන ඇතුළු ඉලක්ක වෙත යාමට යළි නැගිටින කොටි කණ්ඩායම් දැරූ උත්සාහය ගැන සියලු බුද්ධි තොරතුරු තිබියදී මෙය වසා දමන්නට ඉඩ නොදී අක්මුල් සියල්ල සොය යෑමට රාජ්‍ය ඔත්තු සේවාව වැනි සේවාවකටවත් පැවරීම සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිවරයා වත් පියවර ගත යුතුය.

එසේ නොවුණහොත් තවත් වසර කිහිපයකින් හෝ කොටි ත්‍රස්තයන් හිස එසවීමක් සිදුවුවහොත් එහි වගකීම සේනාධිනායක වශයෙන් ජනාධිපතිවරයාටත් ඉතිහාසගත චෝදනාවක් පැවරෙන නිසාය.

යළි හිස ඔසවන්නට වෙර දැරූ කොටි ත්‍රස්තයන් දිනේෂ් නමැති ඔත්තු අංශ නායකයා යටතේ බෝම්බ විශේෂඥයන්, දුරස්ථ පාලක සැකසීමේ මහ මොළකරුවන් ඇතුළු අනාගතයට වැඩගත හැකි පුද්ගලයන් එක්රැස් කර ඇති වගද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබි තිබුණේය.

දිනේෂ්ට ඉහළින් දිනේෂ්ව මෙහෙයවු කණ්ඩායම් නැගෙනහිර හා කිලිනොච්චිවල සිට මෙහෙයවූ බවට තොරතුරු ලැබුවද ඔවුන් හඳුනා ගන්නට පෙර මෙකී පාවාදීම සිදුවිය.

දැනට ඇති තොරතුරු මත මුලතිව්, වව්නියාව නැගෙනහිර, කිලිනොච්චි ආශ්‍රිතව ප්‍රධාන කොටි ක්‍රියාකාරි කණ්ඩායම් හතරක්, පහක් ක්‍රියාත්මක වී ඇතත්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ඇරඹීමත් සමග සියලු කණ්ඩායම් අතුරුදන් වී ඇති වගට සැක පහලවී ඇත.

රටේ ජාතික ආරක්ෂක කවුන්සලය පවා දැනුවත්ව සිදුකළ කොටි ක්‍රියාකාරින්ගේහිස එසවීම ගැන සොයන රහස්‍ය බුද්ධි මෙහෙයුම අතරේ අහම්බයෙන් මෙන් ඔඩ්ඩුසුඩාන්වලදී අසුවූ අවි ආයුද හා සැකකරුවන් ගැන මාධ්‍යයට එක්වරම හෙළි නොකර රහසිගත පරීක්ෂණයක් සිදු කළා නම් මීට වඩා සාර්ථකව සමස්ත ජාලයටම අයත් කොටි ත්‍රස්තයන් බහුතරයක් කොටුකර ගන්නට හැකියාව තිබුණි. ජාතික පුවත්පතක් ලෙස රිවිර ඉරිදා සංග්‍රහය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් වගකීමෙන් යුතුව මෙම සිද්ධිය මුල සිටම වාර්තා කළේ විමර්ශනවලට බාධාවක් නොවන ලෙසය.

වෘත්තිමය දක්ෂතාවකින් හෙබි කණ්ඩායමක් ලෙස හැසිරෙමින් දේශපාලන ලකුණු දමා ගන්නට උත්සාහ නොගෙන ජාතික ආරක්ෂාව ගැන සිතුවානම් යුද හමුදා බුද්ධි අංශය සමග එක් වී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට සාර්ථකම බුද්ධි මෙහෙයුමක් කරන්නට ඉඩ තිබුණේය.

අදටත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශන කරන්නේත් සන්නද්ධ බුද්ධි බලකාය ජාතික ආරක්ෂක කවුන්සලයේ උපදෙස් මත ඔවුන්ට ලබා දුන් බුද්ධි තොරතුරුත් වාර්තා පදනම් කරගෙන බැවින් ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමක් හෙට දිනයේ හෝ ආරම්භ කළා නම් රට හමුවේ ඇති අනාගත අභියෝග ජයගන්නටත් තිබුණි.

මීට පෙර 2014 අප්‍රේල් 10 වනදා ඔඩ්ඩුසුඩාන් කැලෑවේ දී හමුදා මෙහෙයුමකින් මරා දැමූ ගෝපි, තේවියන්, අප්පන් හට සැඟවීමට ඉඩ දුන්නේ චන්ද්‍රමෝහන් නමැති කොටි ක්‍රියාකරුගේ මව මලර්ගේ නමින් කූමාන්කුලම් හා ආසිකුලම්වල තිබූ ආරක්ෂිත නිවෙස්වලය. චන්ද්‍රමෝහන්ගේ මවට මෙම නිවෙස් ලබාදෙන්නේ කටාර් රාජ්‍යයේ සිට ක්‍රියාත්මක වන ඩයස්‍පෝරාවෙනි. චන්ද්‍ර මෝහන් ද මේවන විට හිරෙන් නිදහස් වී යළි කරළියට පැමිණ ඇත.

කෙසේ වුවද හමුදා බුද්ධි අංශය මෙම කොටි ජාලය තුළට රිංගවූ ඔත්තුකරුවන් ගැන පිටට හෙළි නොවන පරිදි සාර්ථක බුද්ධි ක්‍රියාන්විතයක් කළා නම් දෙස් විදෙස් කොටි ජාලයේ යළි නැගිටි කොටි ත්‍රස්තයන් රැසක් කොටු කර ගන්නට ද ඉඩ තිබුණි. මේවන විට බහුතරයක් පැනගොස් ඇත්තේ නිසි වේලාවට සාර්ථක මෙහෙයුමක් කරන්නට සැලසුමක් නොවුණ නිසාය. සමහරු දැනටමත් ඉන්දියාවට පැනගොසින්ය.

අත්අඩංගුවට ගත් සාමාජිකයන් බූස්ස වැනි බන්ධනාගාරයක රඳවා තබනු වෙනුවට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තැබිමෙන් දිනපතා ජාත්‍යන්තර කොටි ජාලය මොවුන් සමග තොරතුරු හුවමාරු කරගනිමින් සිටින වාතාවරණයක් ගැන ද අනාවරණය වී තිබුණි. මෙයද දැනට කෙරෙන බුද්ධි මෙහෙයුම්වලට අවාසිසහගත විය හැකිය.

සැබැවින්ම ජාතික ආරක්ෂාවට බලපාන මෙවැනි සංවේදී සිදුවීම්වලදී විදෙස් රටවල ඔත්තු සේවාවන් ක්‍රියාත්මක වන ආකාරයට දේශපාලන න්‍යායපත්‍ර අතහැර ‍පොලිසිය ස්වාධීනව කටයුතු කළා නම් රට හමුවේ ඇති ලොකු අභියෝගයක් රටක් වශයෙන් අපට ජයගන්නට තිබුණි. නමුදු තවමත් සිදුවන ක්‍රියාකාරකම්වලට අනුව රටේ වගකිව යුතු නායකයන්ට ද රට හමුවේ ඇති තර්ජනය නිසායාකාරව පෙන්වා දෙන්නට බුද්ධි නිලධාරීන් සමත්වී නැති බව දැනට සිදුවන කරුණු කාරණාවලදී පැහැදිලි වන්නේය.

රාජ්‍ය ඔත්තු සේවාව වැනි රටේ ජනාධිපතිට වගකියන බුද්ධි සේවාවක් යොදවා හෝ හමුදා බුද්ධි අංශය එළිකර දුන් කොටින්ගේ අලුත්ම ජාලය ගැන දීර්ඝ විමර්ශනයක් කර රටට ඇති තර්ජනය හඳුනා ගැනීම බලධාරීන්ගේ වගකීමය.

එමෙන්ම හමුදා බුද්ධි අංශයේ දක්ෂතාවයෙන් කොටි ජාලය තුළට ඔත්තුකරුවන් ලෙස රිංගවූ හමුදා ඔත්තුකරුවන් රැක නොගතහොත් ඔවුන් සමාජයට ආ විගස කොටි ජාත්‍යන්තර ජාලයේ හෝ කොටින්ට උදව් දෙන විදෙස් ඔත්තු සේවාවල ඉලක්කයක් වනු ඇති බව බුද්ධි අංශ පෙන්වා දෙති.

ජාතික ආරක්ෂාව තකා අප දන්නා තොරතුරු සියල්ල හෙළි නොකර සිටින්නේ ද සියලු දෙනාට ජීවත්වන්නට නිදහස් රටක් ඉතිරිව තිබිය යුතු නිසාය. එහෙත් මි‍ලේනියම් සිටි වැනි පාවාදීම් තවදුරටත් සිදුකර දේශපාලන න්‍යායපත්‍රවලට අනුව ක්‍රියාත්මක වන්නට ‍පොලිස් ලොක්කන් කටයුතු කරන්නේ නම් එය නොබියව ජාතික පුවත්පතක් ලෙස හෙළි කරන්නට රිවිර අප බැඳී සිටින්නෙමු.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

Top