සිරිසේනගේ හපන්කම්
කළක් දිග් විජය පෑ ශ්‍රී ලංකා ක්‍රිකට්, දැන් නවකයින් වන ඇෆ්ගනිස්ථානයටත් පරාද ය. අනෙක් බොහෝ ආයතනයන් මෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ද දේශපාලන පංතියේ ධන උල්පතකි. මේ ධන උල්පතට පසුගිය කාලය පුරාම අධිපතියන් වූයේ ජනපති සිරිසේනගේ සව්වන්ය. දුරකථනය නොඉස්සු පළියට තානාපතිනියන් ගෙදර යවන සිරිසේන තවම ඒ කිසිම ජාවාරම්කාර දේශපානඥයකු ගෙදර යවා නැත.
දෛවෝපගත යැයි පෙනී යන පෙර නිමිති විටෙක අහම්බයන් වශයෙන් ද විටෙක අනිවාර්යයන් ලෙස ද පහළ වෙයි. මේ වනාහී එවැන්නක් විය හැකිය. සිරිසේනගේ ඉරණම දැන් කෙටෙන්නේ නවකයන්ටත් පැරදෙන පෙර නිමිති පෙන්වමිනි.
ඩෙංඟු මදුරුවා යනාදින් ගෙන්ම මෙන්ම දිනක් පාසා එළඹෙන අතුරු අන්තරාවන්ගෙන් තමන් ද තම දරු දැරියන්ද මුණුපුරු මිණිපිරියන්ද රැක ගන්නේ කෙළෙසකදැයි නොනතින පීඩාවකින් බැට කන ලංකාවාසී ජනයා කරා ඉඳහිට හෝ සතුටක් ගෙන ආ ක්‍රීඩාවක් වී නම් ඒ ක්‍රිකට් ය. සිරිසේන ද කළකට පෙර එවැනි සතුටක් ගෙන ආවේ ය. දැන් ඔහු ගෙන එන්නේ තිත්ත ම තිත්තකි. ඇත්ත ම ඇත්ත ඒක ය.
දෙවියනි ඔබ කොහිද ? – ඇමතුම නොගත් පළියට රාජ්‍යතාන්ත්‍රිකයින් යළි කැඳවයි
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමට ජනවරමක් ඉල්ලා එය ලබා ගත් සිරිසේන දැන් 19 වන සංශෝධනයෙන් පසු තමාට ඉතිරි වූ විධායක බලය පාවිච්චි කරන්නේ දුම්මල වරම ගත් කට්ටඬියකු ලෙස ය. ඔහුගේ වයර් පෙනෙන විදිහට සම්පූර්ණයෙන්ම පටලැවී තිබේ. එක්සත් ජාතික පක්ෂය, සුළුතර ප්‍රජාවන්හි දේශපාලන පක්ෂ ඇතුළු දහස් ගණන් සිවිල් ක්‍රියාකාරී පිරිස් විසින් ලබා දෙන ලද සහාය නොවන්නට ඔහු අද ඉන්නට තිබුණේ රාජපක්ෂ අඟු පිලේ ය. නමුත් මේ මිනිසාට ඒ කිසිවක් දැන් මතක නැත. ඔහු සිතා ඉන්නා බව පෙනෙන්නේ තමා මහ ඹබුගේ මුඛයෙන් එකවරම ජනාධිපති පුටුවට පහත් වූ බවකි. රහිසිගත යාන්ත්‍රණයක් මගින් සිරිසේන 2025 වන තුරුම ජනාධිපති වනු ඇතැයි උදාන වාක්‍ය කියැවෙන්නේ ද ඒ අනුව ම විය හැකිය.
අහෝ දෙවියනි! මේ තරම් නිර්ලජ්ජිත ලෙස ජනවරම පාවාදීමක් මෙයට පෙර මෙරට සිදුවී නැති තරම්ය!!
තමන්ගේ දුරකථන ඇමතුමක් ගැනීමට කිසිවකු නොසිටියේ යැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙනත් රටක් නියෝජනය කළ තානාපති කාර්ය මණ්ඩලයක්ම සිය රට කැඳවූ ජනාධිපතිවරයකු ලොව සිටින්නට ඇත්නම් ඒ ඉඩී අමීන් හෝ බොකාසා හෝ වැනි අධම ඒකාධිපතියකු පමණක් විය හැකිය. ජන වහරේ බසින් කියන්නේ නම් මේ වනාහී මූලග්ගාය ඉස්මුදුනට පැමිණීමකි.
එපමණකුත් නොව මේ කතාව සිහි ගන්වන්නේ ‘එකක් කඩතොලූ වසාගන්නෙ ගිහින් මට වුණු කාරියා, දෙකක් කඩතොලූ හදා දුන්නැයි ඉඳුරුවේ ආචාරියා’ යන ජනවහර ය. ලොව හිනැස්සූ මෙම ආපසු කැඳවීම ගැන මුලින් කීවේ ‘ එසේ කැඳවා ඇත්තේ සේවා කාලය අවසන් වූ නිලධාරින් පමණක්’ බවය. නමුත් සිරිසෛ්න දැන් කියන්නේ තමන්ගේ දුරකථන ඇමැතුම් නොගත් නිසා ‘අනෙක් උන්දෑලාටත් පාඩමක් උගන්වන්න හැතිරේම ගෙදර කැඳවූ’ බව ය.
එදා රාජපක්ෂ – මෙදා සිරිසේන
සිරිසේන මේ පාවිච්චි කරන්නේ තමා විසින් ම අහෝසි කරන බවට පොරොන්දු වූ විධායක බලය යිි. ඔහු එම බලය ම පාවිච්චි කොට උග්‍ර රාජපක්ෂවාදියකු වන දයාන් ජයතිලක රුසියානු තානාපති ලෙස පත් කර හැරියේ ය. එපමණක්ම නොවේ. මෙම විධායක බලය ම පාවිච්චි කොට තවත් රාජපක්ෂවාදියකු වූ ඒ. එස්.පී. ලියනගේ කටාර් රාජ්‍යයේ තානාපති වශයෙන් පත් කර යැවූවා පමණක් නොව ඔහු එරට සිංහල පාසැලක් නීති විරෝධීව පවරා ගැනීම පවා ආරක්ෂා කළේය.
දැන් සිරිසේනගේ නීතිය බිහිවන්නේ ඔහුගේ හිසෙනි. පිළිගත් රීතින්ට හෝ නීති පද්ධතීන්ට අනුව නොවේ.
එබැවින් සිරිසේනට අනුව ශ්‍රී ලංකාවේ නීතිය සැමට සමාන නැත. ඔහුට අනුව ජනමාධ්‍යවේදීන් පැහැර ගැනීමට උත්සාහ කළ, පැහැර ගෙන ගිය, පැහැර ගෙන මරා දමන ලද යනාදී වූ අපරාධයන්ට ආරක්ෂක හමුදා පිරිස් සැක කෙරේ නම් ඔවුන් අත් අඩංගුවට නොගත යුතු ය. අත් අඩංගුවට ගත යුත්තේ නඩු දැමීමට ඔන්න මෙන්න නම් පමණය.
සිරිසේනට අනුව අධිකරණය විසින් ඉල්ලා සිටින එකී අපරාධයන්ට සම්බන්ධ තොරතුරු නොදිය යුතුය. පරීක්ෂණ කටයුතු සඳහා එම තොරතුරු පොලීසිය විසින් ආරක්ෂක හමුදාවන්ගෙන් ඉල්ලා නොසිටිය යුතුය. සාමාන්‍ය ජනයාට ඒ වරප්‍රසාද සිරිසේන යටතේ නැත!
මේ වනාහී ඔහු විසින්ම කියන ලද කරුණු ය. රටෙහි නීතියේ පාලනය පිහිටුවන බවට ශපථ කර බලය ලබා ගත් මිනිසකුගේ මේ හැසිිරීම විග්‍රහ කළ හැකි විශේෂණ පදය කුමක්ද ? ඔබම කල්පනා කර තෝරා ගන්න.
චතුරිකාට රාජ්‍ය මාධ්‍ය ආයතන වලට කඩාපනින්න කාගේ හයියක්ද ?
විධායක බලයේ ආධිපත්‍ය විසින් රීතීන් කොතරම් විනාශ කර ඇත්ද යත් පෙන්වන ලැජ්ජා සහගත උදාහරණයක් නම් කිසිදු නිල බලයකින් තොරව ‘ජනාධිපති තාත්තා’ ගේ දුව චතුරිකා සිරිසේන රජයේ විද්‍යුත් මාධ්‍ය ආයතනයන්ට කඩා පැන ඒවායේ බලධාරීන්ට උපදෙස් දෙන්නට පටන් ගෙන සිටීමයි. ඇයට මේ බලය ආවේ කොහොන්ද? ඇය ජනමාධ්‍ය ගැන අහවල් ලබ්බක්වත් දන්නේ ද?
2015 ජනවාරියේද හැට හතර ලක්ෂයක් ජනයා සිරිසේනට කතිරය ගැසූවේ රාජපක්ෂ දරුවන් විසින් කරන ලද අනීතික අත්තනෝමතික ක්‍රියා නැවත ඇති නොවනු පිණිස ය. දැන් චතුරිකා සිරිසේන පෙන්වන්නේ කාගේ හයියක්ද ?
ජනාධිපති සිරිසේන, මේ දේශපාලන හැසිරීම නම් කැත ය. ඉන් ඔබට වෙන්නේ අවැඩකි.
තමන්ට නරක් වූ කජ්ජක් කෑමට දුන්නේයැයි සිය රටෙහි ජාතික ගුවන් සේවයට ප්‍රසිද්ධියේ නිගා කල ජනාධිපතිවරයකු සිටිය හැක්කේ ශ්‍රී ලංකාවේ පමණ ය. කජ්ජ නරක් වි තිබුණේ නම් ඔහු මහත්මයකු ලෙස කළ යුතු වූයේ එය ඒ අවස්ථාවේම ගුවන් යානයේ සේවක සේවිකාවන්ට දැන්වීමයි. ඒ වෙනුවට මේ මිනිසා කළේ එය ලෝකයට ඇසෙන්නටට කියා පෑමය. කුණූ රෙදි එළියේ සෝදන්නේ කවුද ?
කජ්ජේ තරම ලෝකයටම කී ජනපති
කජ්ජ දකින සිරිසේනට සිය ඇබිත්තයකු වූ බස්නාහිර මහ ඇමැති ලක්ෂ හය ගණනේ එතරිින් පුටු සිය ගණනක් ගෙන්වීම පෙනුණේ නැත. ඔහුගේ නීතිය අනෙකාට පමණි.
මෙරට මානව හිමිකම් ප්‍රවර්ධනය කොට වගවීම ඇති කරන බවට පොරොන්දු වී දෙමළ ජනයාගේ ජන්ද ලක්ෂ ගණනින් ලබා ගත් මේ මිනිසා දැන් ඒ පොරොන්දුවද නොපිට පෙරළීමට කුරුමානම් අල්ලයි. තමා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ සැසි වාරයෙහි දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි මානව හිමිකම් කොමිසම සම්මත කර ඇති යෝජනා වෙනස් කිරිමට හෝ ඉවත් කිරීමට කටයුතු කරන්නේ යැයි සිරිසේන දැන් නිල ප්‍රකාශයක් මගින් දක්වා තිබේ. ඔහු මෙසේ කියා සිටින්නේ මෙරට දෙමළ ජනතාවගේ දේශපාලන ඉල්ලීම් සපරනු වස් ගෙන එන බවට පොරොන්දු වූ දේශපාලන විසඳුමක් පේන තෙක් මානයකවත් නැති තත්වයක් තුළ ය.
යෝජිත නව ව්‍යවස්ථාව කුණු කූඩයටද ?
කෙළෙහිගුණ දන්නා දේශපාලනඥයකු වී නම් සිරිසේන විසින් කළ යුතු මූලික කාරියක් වූයේ නව ව්‍යවස්ථාවක් පිළිබද කරුණු කාරණා ඉක්මන් කරවීමයි. ඒ වෙනුවට ඔහු කළේ ව්‍යවස්ථා සංශෝධනයට ඇණයක් වීමය. දශක ගණනාවක් තිස්සේ මෙරට දෙමළ ජනයා අපේක්ෂා කරන දේශපාලන විසඳුම ගැන උනන්දුවනවා වෙනුවට ශ්‍රී ලංකාවේ යුද හමුදාව ආරක්ෂා කරන යෝජනාවක් තමන් ගෙන එන්නේ යැයි කීම කොතරම් ගුණමකු කුමක් ද ? සිරිසේන මේ ප්‍රකාශය කරන විටම වාගේ ඔහුගේ තවත් සව්වන් දෙනෛකු වන එස්. බී. සහ ඩිලාන් නොදැනුවත්කමට හෝ කියා සිටියේ යුද අපරාධ සිදුවූ බවට සාක්ෂි තමන් දන්නා බවයි.
ඊටත් වඩා සිරිසේන ඉහත කී ප්‍රකාශය කරන ලද්දේ අාණ්ඩුවේ බහුතර බලය ඇති එක්සත් ජාතික පක්ෂය සමඟ හෝ දෙමළ ජාතික සන්ධානය සමඟ හෝ තමන් බලයට පත් කිරිමට දායක වූ සිවිල් සමාජය සමඟ හෝ කිසිදු සාකච්ජාවකින් තොරව ය. ඒ වනාහී ඊටත් වඩා ගුණමකුකමකි.
සමහර විට ඔහු උපදෙස් ගන්නට ඇත්තේ 2015 තීරණාත්මක අවස්ථාවේදී රාජපක්ෂ අර්ධ ඒකාධිපතිත්වය දිගටම පවත්වා ගෙන යෑමට කැස කැවූ දයාන් ජයතිලක වැනි අයගෙන් විය හැකිය. මන්ද යත් සිරිසේනගේ මේ කතාව රාජපක්ෂවාදීන්ගේ මතයක කොපියක් පමණක් නිසා ය. ඔහුගේ ග්‍රැමෆෝනයේ දැන් දුවන්නේ රාජපක්ෂ තැටි ය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට ජිනීවා මානව හිමිකම් කොමිසමට බලපෑමට හැකියාවක් නැති අතර එවැනි සම්ප්‍රදායක් ද නැත. ඊටත් වඩා 34/1 දරන 2015 සැප්තැම්බර් ශ්‍රී ලංකා යෝජනාව ජිනීවාහීදී සම්මත වුයේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස ජන්ද විමසීමකින් තොරව ය. මේ සියළු තත්වයන් නොසලකා සිරිසේනගේ මූලිකත්වයෙන් 2019 මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කෙලෙසීම් වසා ගනු පිණිස ඒක පාක්ෂික යෝජනාවක් ඉදිරිපත් කළ හොත් එහි ඉරණම, ඉන් මාස නමයකට පසු ජනාධිපති සිරිසේනට ශ්‍රී ලංකාවේ දී අත්වීමට නියමිත කණගාටුදායක ඉරණම ම බව දැන් සිටම ලියා තැබිය හැකි ය.
~~සුනන්ද දේශප්‍රිය~~
(2018 සැප්තැම්බර් 23 වැනිදා ‘රාවය‘ පුවත්පතේ පළවූ ලිපිය)