Breaking
23 Feb 2025, Sun

මෛත්‍රිපාලගෙ කඩුව නෑදෑයන් කෙටීමට ද? මෛත්‍රිගේ නෑදෑයන් ඇත්තේ එ ජා පක්‍ෂයේ ද ඒකාබද්ධ විපක්‍ෂයේ ද?

බැඳුම්කර වාර්තාව ජනාධිපතිට භාර දීලා. ඒක ලොකු පොත් තුනක්. ඒ වාර්තාවෙ වැඩියෙ තියෙන්නෙ සාක්‍ෂි හා වෙනත් සටහන් කියලා හිතෙනවා. නිර්දේශ මොනව ද කියලා දන්නෙ නැහැ. මොනව වුණත් දීර්ඝ නිර්දේශයක් ඇතැයි කියලා හිතන්න අමාරුයි. හෙට ජනාධිපතිත් වැඩි විස්තරයක් කියයි කියලා හිතන්න බැහැ. මේ රට පවතින්නෙ බොරු බලාපොරොත්තු දීමෙන් හා ඇති කිරීමෙන්. බලාපොරොත්තු ඉටු වෙන්න අවශ්‍ය නැහැ. මිනිසුන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් රැවටෙන්න උපන් පිරිසක් වගේ. බලාපොරොත්තුවකින් තවත් බලාපොරොත්තුවකට පනිනවා.

බැඳුම්කරය තවත් නාට්‍යයක් පමණක් වෙයි ද? කොහොමටත් මෛත්‍රිපාල මහින්ද ආදීන් මොනව හිතුවත් පළාත් පාලන ආයතන මැතිවරණයට බැඳුම්කරයෙ බලපෑම එතරම් නැහැ. එය ඇතැම් ජාතිකවාදීන්ට නම් කළකිරීමක් ඇති කරන්න පුළුවන්. බැඳුම්කරය තියෙන්නෙ ජනමාධ්‍යයෙ හා ඇතැම් මධ්‍යම පාංතිකයන්ගෙ හිත්වල. මේ පළාත් පාලන මැතිවරණයට ජාතික යැයි කියන ප්‍රශ්න බලපාන්නෙ නැහැ. ඒ නිසා මේ මැතිවරණය ජනමත විචාරණයක් ලෙස සලකන එක වැරදියි. කාගේ දෝ පංඩිත කතාවක් අහලා ඒකාබද්ධ විපක්‍ෂය දැන් ජනමත විචාරණ කතාව කරට අරන්. මැතිවරණයෙන් පස්සෙ ඒක කොහොමත් බිම තියන්න වෙනවා. ඊට කලින් බිම තියන එක හොඳයි.

රනිල් බැඳුම්කර කොමිසමට සාක්‍ෂි දෙන්න ගියෙ අපේ හොඳකට වෙන්න බැහැ. ඔහු බැඳුම්කර කොමිසමට යන්න ඉස්සෙල්ල අගමැති කමෙන් ඉවත් කරන්න තිබුණා. ඒක අදවත් කෙරෙන්නෙ නැහැ. මෙතැනදි මෛත්‍රිපාලගෙ කොන්ද ගැන කතා කරන්න බොහෝ දෙනා ඉදිරිපත් වේවි. ඒත් එහි දී බැසිල්ගෙ ක්‍රියාකාරීත්වයත් අමතක කරන්න එපා. පළාත් පාලන ආයතනවලට තරග කරන හුඟ දෙනෙක් ඉන්නෙ බැසිල් එක්ක. අද ඔවුන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයෙ දි ප්‍රතිඥාවක් දෙනවා. ඒ අය හැමදාමත් බැසිල් එක්ක ඉඳීය කියලා හිතන්න එපා.

මෛත්‍රිපාල හා රනිල් අතර විරසකයක් තියෙනවා. එහෙත් මෛත්‍රිපාල හා බැසිල් අතර එයට වැඩි විරසකයක් තියෙනවා. බැසිල් හා රනිල් අතර විරසකයක් ඇත්තේ නැති තරම්. මෛත්‍රිපාල රාජපක්‍ෂලා සමග එකතු වෙනවාට වඩා රනිල් එක්ක තව දුරටත් ඉන්න කැමැත්තක් දක්වන බව පේනවා. 1817 -18 නිදහස් සටන දිනා සිටිය දී අප පරාජය වුණෙ දැන් ක්‍රිකට් තරග පරදිනවා වගේ. එයටත් හේතුව වුණෙ අපට ශක්තිමත් නායකයකු නො සිටීම. විල්බාවේ රජු හැටියට පිළිගන්න සෙංකඩගල නිළමෙලා කැමති වුණෙ නැහැ. ඔවුන් මොනරවිල හෙවත් කැප්පෙටිපොළට අවනත වුණෙත් නැහැ. ඒ ඉතිහාසය දන්නෙ නැත්නම් අඩු තරමෙන් මුතුකුඩ නාට්‍යය නරඹන්න.

අවුරුදු දෙසියකට පස්සෙ තවත් මුතුකුඩ නාට්‍යයක් රඟ දැක්වෙනවා. එහෙත් එදා හිටිය මුතුකුඩ මැණිකෙලා දැන් නැහැ. දැන් ඉන්න මැණිකෙලා ගැන මා කියන්න යන්නෙ නැහැ. කොහොමටත් අදත් අපට නායකයෙක් නැහැ. මහින්දට නන්දිකඩාල් ජයග්‍රහණය තහවුරු කරන්න බැරි වුණා. නන්දිකඩාල් ජාතිකවාදීන් ඔහු වටකර ගත්තා. ඒ අතර ස්මාට්ජාතිකවාදීන් ද හිටියා. මහින්ද ජාතිකවාදීන්ට සවන් දෙන තාක් ඔහු ජයග්‍රහණයෙන් ජයග්‍රහණයට ගියා. එහෙත් ඉන් පසු? 13+ ගැන ඔහු ලවා කතා කෙරෙව්වෙ කවුද?

එදා සිංහලයන්ට, සෙංකඩගල සිංහල නායකයන්ට ඩොයිලි තේරුම් ගන්න බැරි වුණා. ගණනාථගෙ ඊනියා මූලාශ්‍ර අර්ථකථන කුමක් වුවත් ශ්‍රී වික්‍රම රාජසිංහ අවසානයෙ කෲර රජෙක් වුණා. ඔහු කෲරයකු කරන්න මනු නීතියත් (සිංහල නීතියනොවෙයි) ඩොයිලිලාත් සමත් වුණා. ශ්‍රී වික්‍රම රාජසිංහ ඉංගිරිසින් හංවැල්ලට පන්නා දැමූ බවත් අප අමතක කළ යුතු නැහැ. ඔහුගේ වැටීම ඇරඹුණෙ ඊට පස්සෙ. ඉංගිරිසින් සෙංකඩගල නායකයන් ශ්‍රී වික්‍රම රාජසිංහට විරුද්ධව යොදා ගත්තා. මේ ඉතිහාසය අද වෙනත් ආකාරයකින් රඟ දැක්වෙනවා.

භගවද්ගීතයෙහි අර්ජුනට කඩුව ගන්න කියන්නෙ නෑයන් වුවත් කපා දැමීමට. අද මෛත්‍රිපාල භගවද්ගීතය ගැන මතක් කරමින් කඩුව අතට අරගෙන. ඔහුට ධම්මපදය මතක් වෙලා නැහැ. කැප්පටිපොළට නම් මරා දමන මොහෙතෙදිත් ධම්මපදය මතක් වුණා. මෛත්‍රිපාලගෙ කඩුව නෑදෑයන් කෙටීමට ද? ඔහුගේ නෑදෑයන් ඇත්තේ එ ජා පක්‍ෂයේ ද ඒකාබද්ධ විපක්‍ෂයේ ද? සිංහල රජවරුන් භගවද්ගීතය අනුව වැඩ කළ බවක් ඉතිහාසයේ සඳහන් වෙන්නේ නැහැ. මෛත්‍රිපාලට කඩුව නොව භගවද්ගීතය දුන්නේ කවු ද?ඩොයිලි ද රාම ද? මොන ඔත්තු සේවය ද?

රනිල් බැඳුම්කර කොමිසමට යන බව කී විට ඔහුට යම් ශක්තියක් තිබූ බව වැටහුණා. රවි කරුණානායක ඇමති කමෙන් අස්වුණාට ඔහුගේ වරප්‍රසාද අඩු වූ බවක් පෙනෙන්නෙ නැහැ. මෛත්‍රි ගුණරත්නවත් සජිත් ප්‍රේමදාසවත් කියන දේට වටිනාකමක් නැහැ. ඔවුන් සිහින දකින්නන් පමණයි. මෛත්‍රිපාල පළාත් පාලන මැතිවරණයෙහි දී යම් ජයග්‍රහණයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔහුට යම් පිරිසකට කතා කිරීමට බැඳුම්කරය වැදගත් වේවි. එහි එයට වඩා වටිනාකමක් ඇතැයි හිතන්න බැහැ.

අප කල්පනා කළ යුත්තේ මැතිවරණයට වඩා මැතිවරණයෙන් පසු ඇති විය හැකි තත්වය ගැනයි. මැතිවරණය කෙරෙහි  ඇතැමුන්ගේ ඇත්තේ උදාසීන බවක්. එ ජා ප විරෝධය යනු අන් කිසිවක් නොව ජාත්‍යන්තර සුපිරිව්‍යුහ සංස්ථාපන විරෝධයක්. එය පසු බිමේ ඇත්තේ ජාතිකත්වය. එහෙත් මාක්ස්වාදීන්ට පින්සිදු වන්නට ඇතැම් ජාතිකවාදීන් සේනානායකලාට ආධාර කළා. ඔවුන්ගේ දරු මුණුබුරන් රනිල්ට ආධාර කරනවා. ජාතිකවාදීන්ට අද නායකයකු නැහැ. ඔවුන්ගෙන් ඇතැමකුගේ උදාසීනත්වය තේරුම් ගන්න පුළුවන්. බැඳුම්කර කතාවෙන් පසු ඔවුන් තවත් උදාසීන වන්න ඉඩක් තියෙනවා. බැඳුම්කරයට අවසානයේ දී කොමිසම වැරදිකරු වුවෙත් මා පුදුම වන්නේ නැහැ. දේශපාලනඥයන් මැතිවරණ ගැන මිස ජාතිය ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ.

______________________

වෙබ් අඩවියේ සංස්කාරකවරු

2018-01-02

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.