Breaking
23 Feb 2025, Sun

මෛත්‍රිපාලට රාජපක්‍ෂලා විශ්වාස නැහැ. රාජපක්‍ෂලාට මෛත්‍රිපාල විශ්වාස නැහැ…. රනිල් අවශ්‍ය කාහට ද?

කලකට පෙර බැඳුම්කර ඝෝෂාව තියෙන කාලයේ ඒකාබද්ධ විපක්‍ෂය රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට උනන්දුවක් දැක්වූවා. ඒ උනන්දුව අද නැත්තේ ඇයි? අද එ ජා ප මන්ත්‍රීවරුන් රනිල්ට විරුද්ධව කැරළි කතා කරනවා. මා ඒවාට කැරළි ගසනවා කියන්නේ නැහැ. විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන එක පහසු නැහැ. විශේෂයෙන් ම කරු ජයසූරිය වැනි ඊනියා අපක්‍ෂපාත කතානායකයකු සිටින විට. බොහෝ දෙනා කියන්නේ මෛත්‍රිපාලට කොන්දක් නැහැ කියලයි. ඒත් අද කොන්දක් තියෙන දේශපාලනඥයන් කී දෙනකු ඉන්නවා ද?

එක් අතකින් බලන විට මෛත්‍රිපාලට කෘත්‍රිම කොන්දක් දුන්නා කියලා කියන්න පුළුවන්. ඒ ඇතැම් රාජපක්‍ෂලාට විරුද්ධව යෑමට. මෛත්‍රිපාලට ඒ වෙලාවෙ කොන්දක් ලබා දුන්නෙ බටහිර හා ඉන්දීය නියෝජිතයන්. අද රනිල්ට විරුද්ධව යෑමට මෛත්‍රිපාලට එවැනි කොන්දක් ලබා දෙන්න කවුරුන්වත් නැහැ. බටහිර රටවල හා ඉන්දියාවේ තානාපතිවරු, මහා කොමසාරිස්වරු කිසි දිනෙක මෛත්‍රිපාලට ඒ කොන්ද ලබා දෙන්නේ නැහැ. ඔය එ ජා ප පසු පෙළ මැද පෙළ ඉදිරි පෙළ මෙන් ම පෙළක් නැති මන්ත්‍රීවරුන් ගැනත් විශ්වාසයක් තබන්න බැහැ. ඒ සියල්ලන්ට ම තියෙන්නෙ පෞද්ගලික ප්‍රශ්න. ඔවුන් කිසිවකුටවත් ජාතික ප්‍රතිපත්තියක්වත් ජාතිකත්වයක්වත් නැහැ.

ඒකාබද්ධ විපක්‍ෂෙ කියලා වැඩි වෙනසක් නැහැ. මහින්ද වැනි අය ජනමතයට තරමක් බයයි. රනිල් ජනමතය තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. ජී එල් වැන්නන් ද එසේමයි. ඔවුන්ට ජනමතය තේරෙන්නේවත් නැහැ. ජී එල් හා කෙහෙළිය සමගාමී ලැයිස්තුව අස්කර ගැනීමට ලිපියක් දී වැඩි කලක් නැහැ. මට තියෙන ප්‍රශ්නය ඒ ලිපිය ගැන මහින්ද දැන හිටියා ද යන්නයි. මගේ උපකල්පනය ඔහු ඒ දැන සිටි බවත් මහජන මතයට බය වී ඒ අදහස වෙනස් කර ගත් බවත්. මහින්දට ජී එල් මුල් උපදෙස දුන්නා වෙන්නත් පුළුවන්.

ඒකාබද්ධ විපක්‍ෂෙ නාමල් රාජපක්‍ෂට ඇති ජාතිකත්වය කුමක් ද? බැසිල්ට ඇත්තේ ඡන්ද දිනා ගැනීමේ අදහස පමණයි. ඔහු රිෂාඩ් බදුර්දීන් සමග ඇයි හොඳයිකම් පවත්වනවා. ඒ ඡන්ද සඳහා. එහෙත් ඡන්ද ලැබෙන්නේ මහින්ද ජනතාවට විරුද්ධව යෑමට අකමැති නිසා හා ඔහු ජනතාවගේ පටු ජාතිකත්වය නියෝජනය කරන නිසා. ජනතාවට ඇත්තේ ඉතා ම පටු ජාතිකත්වයක්. ඒ රට බෙදීමට විරුද්ධවීම හා දැන් තියෙන සංකේත බුද්ධාගම ආරක්‍ෂා කිරීම. ඔවුන්ට නලින් ද සිල්වාගේ මුග්ධ ජාතිකත්වය නැහැ. කවුරු හරි පඬියකු අහන්න බැරි නැහැ මා රට බෙදීමට පක්‍ෂ ද කියලා!

ඒකාබද්ධ විපක්‍ෂෙ හා ඔවුන්ගෙ අනුගාමිකයන් අද නිකමටවත් කතා කරන්නෙ නැහැ රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගැන. ඒ වෙනුවට ඔවුන් කතා කරන්නෙ මහා මැතිවරණයක් දිනා ගැනීම ගැන. දහනවවැනි සංශෝධනය අනුව 2020 පෙබරවාරි වෙනකම් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. එයට කලින් ජනාධිපතිවරණය තියන්න වෙනවා. එයට කලින් මැතිවරණයක් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ ඒ සඳහා තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය වෙනවා. රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවකට අවශ්‍ය වන්නේ සරල බහුතරයක් පමණයි. සරල බහුතරයක් ගන්න බැරි නම් තුනෙන් දෙකක් ගන්නෙ කොහොමද කියලා මා අහන්නෙ නැහැ. රනිල් ඉන්නකම් කරු ජයසූරිය ඔහුට විරුද්ධව යන්නෙත් නැහැ. රනිල් ඉවත් කරන්න පොදුජන පෙරමුණ නිල වශයෙන් සහාය දෙන්නෙත් නැහැ. ඔවුන් නව ඇමති මණ්ඩලයක තනතුරු භාර ගන්නෙ නැහැ. මෛත්‍රිපාල කියන්නෙ ඒ තනතුරු භාර නොගන්නෙ වැඩි කලක් නොගෙස් විශ්වාසභංගයක් ගේන්න කියලා. රාජපක්‍ෂලා කියන්නෙ ආණ්ඩුවට එකතු වුණොත් පළාත්සභා ඡන්දෙ දි අවාසියක් වෙයි කියලා. මෛත්‍රිපාලට රාජපක්‍ෂලා විශ්වාස නැහැ. රාජපක්‍ෂලාට මෛත්‍රිපාල විශ්වාස නැහැ. රනිල් ඉවත් කිරීමට පක්‍ෂව කටයුතු කරන අය දෙපැත්තෙ ම ඉන්නවා. සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, එස් බී දිසානායක, හා ඒකාබද්ධ විපක්‍ෂෙ කිහිප දෙනකු ඒ අතර ඉන්නවා. මා ඔවුන්ගේ නම් කියන්න කැමති නැහැ. ඒ ඔවුන්ට හිරිහැරයක් වීමට ඉඩ තියෙන නිසා. අද දහනවවැනි සංශෝධනය කටු අකුළක් වෙලා. දහනවවැනි සංශෝධනයට සංධානෙ මන්ත්‍රීවරුන් ඡන්දය දුන්නෙ මහින්දගෙ ඕනෑකමට බව පවිත්‍රා කියා තියෙනවා. අන්තො ජටා බහි ජටා!

අද 2020 ගැන කතා කිරීම තේරුමක් නැති දෙයක්. ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය ද බැසිල් ද පවිත්‍රා ද ආදී කතා තේරුමක් නැහැ. අද අවශ්‍ය රනිල් ඉවත් කිරීමයි. මෛත්‍රිපාලට රනිල් අවශ්‍ය යැයි කියන්නේ මුහුණු පොතේ දේශපාලනය කරන හුදකලා දාර්ශනිකයන් පමණයි. අද ඇතැම් රාජපක්‍ෂලාට රනිල් අවශ්‍ය බව මා දන්නවා. මා මෙසේ කියන්නේ හුදකලාව නො වෙයි. අද මෛත්‍රිපාල මහින්ද (බැසිල්) එකතු කිරීමට ඇතැමුන් වැඩ කරනවා. බාධකය මෛත්‍රිපාල නො වෙයි.

පළාත් සභා මැතිවරණ තරග කරන්නේ කෙසේ ද ආදිය රනිල් ඉවත් කිරීම සමග සංසන්දනය කරන විට වැදගත් නැහැ. අද තිබෙන තත්වය අනුව පළාත් සභාවලත් 50%ක ඡන්දයක් ලබා ගැනීමට කිසිවකුටවත් බැහැ. රනිල් ඉවත් කළහොත් මැතිවරණ ප්‍රතිඵල වෙනස් වේවි. අද පළාත් පාලන ආයතන එකසිය ගණනක සභාපති තේරීම ප්‍රශ්නයක් වෙලා. මෛත්‍රිපාල දිනා ගන්නා 13%ක ඡන්දය මේ හැම තැනක ම වැදගත් වෙනවා. මහින්දටත් මෛත්‍රිපාලටත් ලැබෙන ඡන්දවලින් බහුතරයක් යම් ජාතිකත්වයක් ඇති සිංහල ඡන්ද.

අද උතුරේ දේශපාලන බලතුලනයත් වෙනස් වෙමින් පවතිනවා. දෙමළ ජාතික සංධානයට හිතූ තරම් ඡන්දයක් ලැබී නැහැ. ආනන්දිව ඉලංකෙයි තමිල් අරසු කච්චියෙන් අස්කරලා. සිංහලයන් සමගි වුවහොත් දෙමළ ජාතිවාදය පවත්වාගෙන යෑමට එංගලන්තයට හා ඉන්දියාවට බැරි වෙනවා. එහෙත් දේශපාලනඥයන් හා ඔවුන්ගේ අනුගාමිකයන් හිතන්නේ මීළඟ මැතිවරණය ගැන මිස රට ගැන නො වෙයි.
________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-27

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.