Breaking
24 Feb 2025, Mon

මෛත්‍රිපාල මේ කිසිවක් දන්නෙ නැතුව ඇති

අද අයවැය සම්මත වේවි. බොහෝ විට තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් ම සම්මත වේවි. මෛත්‍රිපාලගෙ මියගිය ශ්‍රී ල නි ප අවතාර ටික කිසිම ලජ්ජාවක් නැතිව අයවැයට පක්‍ෂ වේවි. සීනි කිලෝවක මිළ රුපියල් දෙකකින් අඩු කරලා. අයවැයට පක්‍ෂව ඡන්දය දෙන්න ඒකම වුනත් ඇති. සීනි දෙසිය පනහක් අඩු වෙන්නෙ කීයකින් ද කියලා තුනේ පංතියෙ ළමයකුගෙන් අහන්න පුළුවන්. ඒත් ඒ ළමයි ශත පනහෙ කාසි දැකලා නැතුව ඇති. ඒ නිසා ඒක අහන එකේ තේරුමක් නැහැ. ඒක වියුක්ත ප්‍රශ්නයක් වේවි. ඒ ළමයට අංක ගණිතය එපා වේවි. අන්දරේ පස් කනව කියලා සීනි කෑවා. දැන් සීනි කනවා කියලා පස් කන්න වෙලා.

ජ වි පෙරමුණ අයවැයට පක්‍ෂව ඡන්දය දුන්නත් නැතත් අයවැය ගැන ඒ පක්‍ෂයත් වග කියන්න ඕන. රාජපක්‍ෂ රෙජිමය කියලා බටහිරයන් රනිල් ලව්ව කියව ගත්ත එක පරාද කළෙ ජ වි පෙ නූනත් ( ජ වි පෙරමුණටවත් ජාතික හෙළ උරුමයටවත් එහෙම හයියක් නැහැ) ජ වි පෙ ඒ පරාද කරන අදහසෙ හිරියා. ඔවුන්ටත් ඕනැ වුනේ යහපාලන ආණ්ඩුවක් ඇති කරන්න. ඔවුන්ගේ ඊනියා විද්‍යාත්මක මාක්ස්වාදී දෘෂ්ටියට යහපාලනෙ කෙරුවාව පෙනුුනෙ නැද්ද? අපෝහකය, ඔවුන් කියන විධියට දයලෙක්තිය ඔවුන්ට උපකාර වන්නෙ නැද්ද? දැන්වත් මාක්ස්වාදයෙ දරිද්‍රතාව හා අපෝහකයේ රූපිකය කියෙවුවොත් නරක ද? 1980 දි ලියවුනු මාක්ස්වාදය විද්‍යාත්මක ද කියන ලිපිය අවශ්‍ය නම් වික්‍රමබාහු සහෝදරයගෙන් ඉල්ල ගන්න පුළුවන්. අනුර දිසානායක දැන් ආණ්ඩුවට විරුද්ධව බෙරිහන් දෙන්නෙ කාව රවට්ටන්න ද?

මේ අයවැය ගැන කතාකරන්න දෙයක් නැහැ. බොහොම කාලෙකට පෙර ඇන් ඇම් පෙරේරා අයවැයක් ගැන කිවුවෙ ඒක ලියල තියෙන කඩදාසිය තරම්වත් වටින්නෙ නැහැ කියලා. ඒක ඉංගිරිසි කියමනක් තමයි. ඒත් රවි කරුණානායකට තේරෙන්නෙ ඉංගිරිසි කියමන් මිසක් අන්දරේ සීනි කෑ හැටි නො වෙයි. මේ අයවැයෙන් යෝජනා කීයක් ලබන අවුරුද්දෙ අග වෙනකොට ඉතිරි වෙයි ද කියලා ඒකට පක්‍ෂව ඡන්දෙ දෙන අයවත් දන්නෙ නැතිව ඇති. මෛත්‍රිපාලට අයවැය ගැන මොකුත් කියලා නැති පාටයි. දැනගෙන හිටිය නම් ඔය බදු එකක්වත් වැඩි කරන්න දෙන්නෙ නැහැ. කොහොමටත් අයවැය රහස් දන්නෙ මුදල් ඇමති විතරයි කියලා පොඩි ළමයින්ට උගන්වනව නේ.

බදු ගැන බස් ගැමුණු බලා ගනීවි. අප කලබල වෙන්න ඕන නැහැ. ඒත් අර මහා බැංකුවේ ස්වාධීනත්වය නැති කරන්න යනවා කියලා එහි හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු කියලා තියෙන එක ගැන බස් ගැමුණු දන්නෙ නැතිව ඇති. දන්නව නම් මහා පාරෙ එක බසයක්වත් දුවන්නෙ නැහැ. එහෙනම් බස් දුවන්නෙ රේල් පාරෙ ද කියලා මගෙන් අහන්න එපා. රේල් පාරෙ දුවන බස් නම් තියෙන බව මා දන්නවා. ඒවා බස් ම නො වෙයි. කොහොම වුනත් ඒක ගැන වාද කරන්න මා සූදානම් නැහැ. මා කිසිම දෙයක් ගැන කාලෝ ෆොන්සේකා හැරෙන්්න වෙන කා සමගවත් වාද කරන්නෙ නැහැ. කාලෝ සමගත් වාද කරන්නෙ බටහිර විද්‍යාව පට්ටපල් බොරු ද කියන එක නොපෙනෙන මානය ආදී දේ ගැන විතරයි. ඔහු ඊනියා යථාර්ථවාදයෙ ලංකාවෙ නියෝජිතය වගේ කටයුතු කරන්නෙ.

ඒත් අර නොපෙනෙන මානය ගැන නම් මොනව හරි ලියන්න ඕනෙ. ඒ වාදයක් සඳහා නො වෙයි. දෙවියන් භූතයන් ඉන්න බව මා දන්නවා. ඒ මා දැකලා නොවෙයි. දැකපු අය ඉන්නවා. ගුරුත්වාකර්ෂණය දැකපු කවුරුවත් නැහැ. දෙවියන් ඇති බව තියා ගුරුත්වාකර්ෂණය ඇති බවවත් බටහිර විද්‍යාවට පෙන්නන්න බැහැ. ජ වි පෙරමුණට හා අනුගාමිකයන්ට ඒ බව පෙන්වන්න පුළුවන් ද කියලා ඒ ගොල්ලන්ගෙ ම අහන්න ඕන. බටහිර විද්‍යාවට තමන්ගෙ ඊනියා විධික්‍රමයට පෙන්නන්න පුළුවන් ද සම්මත අර්ථයෙන් පවතින්නෙ ඉන්ද්‍රිය ගෝචර ලෝකය පමණක් කියලා. එහෙමත් නැත්නම් ඉන්ද්‍රියානුභූතවාදියකුට හරි ඊනියා පශ්චාත් ඉන්ද්‍රියානුභූතවාදියකුට හරි පුළුවන් ද? බටහිර විද්‍යාව තමන්ගෙ හතර මායිම පමණක් ම තියෙනවා කියලා, වෙනත් කිසිවක් නැහැ කියලා පෙන්නලා වැඩේට බැස්ස නම් කාටවත් ප්‍රශ්න නැහැ. අර නිර්වචන ඉල්ලන පඬියන් ඉස්සෙල්ල හතර මායිම ලකුණු කරගත්ත නම් නරක ද? ගැලීලියෝවත්, බේකන්වත්, මාක්ස්වත් වෙන කවුරුන්වත් තාම ඒක කරලා නැහැ. පඬියන්ට පුළුවන් ද?

ආණ්ඩුව මහා බැංකුවට පමණක් කරගෙන යෑමට අවසර තිබූ දෙයක් පෞද්ගලික ආයතනයකටත් භාර දෙන්න යනවා කියලා හිටපු නියෝජ්‍ය අධිපතිතුමා කියලා තිබුණා. ඔහු ඊනියා ලිබරල් ආර්ථිකයකට විරුද්ධ ය කියලා මා හිතන්නෙ නැහැ. ඔහු 1917 අයවැය 1916 අයවැයට වඩා හොඳය කියලත් කියනවා! ඔහු ආණ්ඩුව අයවැයෙන් මහා බැංකුවෙ කාර්යයන් කිහිපයක් ම තමන්ට පවර ගන්නවා කියලා චෝදනා කරනවා. 1949 දි මහා බැංකුව එහෙමත් නැත්නම් මධ්‍යම බැංකුව පිහිටුවනු ලැබුවෙ ඊනියා ස්වාධීන ආයතනයක් ලෙස. එය මුදල් ඇමතිගෙන් නිදහස්. දැන් නම් මහා බැංකුව මුදල් ඇමතිට අයිති නැහැ. කොහොමටත් මුදල් මණ්ඩලය තියෙන්නෙ මහා බැංකුවෙ. ඒකට මුදල් ඇමතිට වුනත් නියෝගයක් දෙන්න ඕන නම් කොන්දේසි රාශියක් අනුගමනය කරන්න වෙනවා.

ආණ්ඩුව අයවැයෙන් මුදල් මණ්ඩලයෙ වැඩත් තමන් අතට ගන්නවා. එය මුදල් මණ්ඩලයට පිටින් ශ්‍රී ලංකා ගෙවීම් දොරටුවක් විවෘත කරන්න යනවා. ඒ වගේ ම වාණිජ බැංකුවලට ණය දීම් සම්බන්ධ ව නව නියෝග දෙනවා. හිටපු නියෝජ්‍ය අධිපතිතුමා කියන්නෙ මේ නිසා වාණිජ බැංකුවල කළමනාකරුවන්ට තමන්ට අවශ්‍ය විධියට මාමණ්ඩිලට හා බෑණන්ඩිලට අරමුදල් බැර කරන්නට ක්‍රම හා විධි සකස් කරගන්න පුළුවන් කියලා. අගමැති වගඋත්තරකරුවකු වන මහා බැංකු කොල්ලය කාගෙ හරි හිතට එනව නම් පුදුම වෙන්න දෙයක් නැහැ. මෛත්‍රිපාල මේ කිසිවක් දන්නෙ නැතුව ඇති.

නලින් ද සිල්වා
2016 නොවැම්බර් 18

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.