Breaking
7 Apr 2025, Mon

මෛත්‍රිපාල ලවා රනිල් ඉවත් කිරීම

ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් මෛත්‍රිපාලට විරුද්ධ වීම පුදුමයක් නො වෙයි. ඔහු ශ්‍රී ල නි ප හැර දමා ඊනියා පොදු අපේක්‍ෂකයා නමින් ජනාධිපතිවරණයේ දී එ ජා ප අපේක්‍ෂයා වීම ඉතාමත් පිළිකුල් සගතයි. ඔහුට ලැබුණේ ඊනියා පොදු ඡන්දයක් නොව එ ජා ප දෙමළ හා මුස්ලිම් ඡන්ද. ශ්‍රී ල නි ප ඡන්ද ලැබුණේ නැහැ. මෛත්‍රිපාල ඊනියා පොදු අපේක්‍ෂකයා වීම ගැන තවත් වරදකරුවන් ඉන්නවා. ඒ ඉන්දිය ඔත්තු සේවය රෝ පමණක් නො වෙයි. මෛත්‍රිපාල දක්‍ෂයකු නො වෙයි. එහෙත් ඔහුට පසුගිය ආණ්ඩුවේ අගමැතිකම නොලැබුණේ හුදෙක් ඔහුගේ අදක්‍ෂතාව නිසා නො වෙයි. ඔහුට ඇතැම් රාජපක්‍ෂලා අතින් කෙණහිළිකම් සිදු වුණා. මහින්දගේ හා ගෝඨාභයගේ නම් ඒ අතර නැහැ. මෛත්‍රිපාල ද්‍රෝහි වී එ ජා ප අපේක්‍ෂකයා වීම අනුමත කරන්න බැරි වුවත් ඔහු එතැනට තල්ලු කළ අයත් එයට වග කිව කියන්න ඕන.

එහෙත් ඒ අය ගැන අද කතා වෙන්නෙ නැහැ. ඒ වෙනුවට අද නැවතත් ඔවුන් විපක්‍ෂය මෙහෙයවනවා. අද ඒකාබද්ධ විපක්‍ෂයේ බල සිඳලා. දිනේෂ් එහි නායකයා වුවත් ඔහුට නායකකමක් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය හුදු පාර්ලිමේන්තු කණ්ඩායමක් පමණයි. කතානායක එය පිළිගන්නේ නැහැ. ඔහුට ඒ සඳහා හේතුවක් තියෙනවා. එය සදාචාර නොවන්න පුළුවන්. එහෙත් ඔහු වැඩ කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් තරග කෙළේ එක්සත් ජනතා නිදහස් සංධානයෙන් බව පිළිගනිමින්. ඔහුගේ තීරණය සංගත වන්නේ නැහැ. ඒ මහජන එක්සත් පෙරමුණ, ලංකා සමසමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂ සම්බන්ධයෙන්. ශ්‍රි ල නි පක්‍ෂයත් ඉහත කී පක්‍ෂත් සංධානයේ සාමාජික පක්‍ෂ.

එසේ වුවත් ශ්‍රී ල නි පක්‍ෂය ඇතැම් විට පාර්ලිමේන්තුවේ ස්වාධීන ව කටයුතු කරනවා. එහෙත් ඉහත සඳහන් අනෙක් පක්‍ෂවලට ඒ නිදහස නැහැ. ජාතික නිදහස් පෙරමුණ ගැන ඒ බවක් කියන්න බැහැ. ජා නි පෙ සංධානයේ සාමාජික පක්‍ෂයක් නො වෙයි. ජා නි පෙරමුණේ අය මැතිවරණයේ දී සංධානයෙන් තරග කර ඇත්තේ පෞද්ගලික ව. ඒ කොහොම වුණත් අද තත්වයට වග කිව යුත්තේ මැතිවරණයේ දී සංධානයෙන් වෙන් වී වෙන ම පක්‍ෂයක් ලෙස තරග නොකිරීමට බල කළ අය. අද ඒකාබද්ධ විපක්‍ෂය් ඉන්න අය එදා වෙන ම තරග කළා නම් සමහර විට ආණ්ඩු බලය ගන්නත් තිබුණා. එදා මෛත්‍රිපාල පක්‍ෂ හා සංධාන ලේකම්වරුන් මාරු කරමින් කළ නොමග යැවීම නිසා විශාල ඡන්ද ප්‍රමාණයක් සංධානයට අහිමි වුණා. ඒ ඔවුන් ඡන්දය දීමට නොගිය නිසා. මෛත්‍රිපාල කර ඇති පාවා දීම් කෙළවරක් නැහැ. එහෙත් ඒ අවස්ථාවේ වෙන ම පක්‍ෂයක් ලෙස තරග නොකිරීමට බල කළ අයත් එවැනි ම වූ පාවා දීමක් කළා. පාවා දීම් දෙපැත්තකින් සිදු වුණා.

එදා පක්‍ෂයක් බිහි කිරීමට විරුද්ධ වූ අය අද වෙනත් පක්‍ෂයක් නිර්මාණය කරලා. මෙවර මැයි දිනය පැවත්වන්නේත් ඒ පක්‍ෂයෙන්. එය අනුමත කරන්න බැහැ. මැයි රැළිය පැවැත්විය යුතුව තිබුණේ එක්කෝ ඒකාබද්ධ විපක්‍ෂයෙන් නැත්නම් එයට සහාය දෙන වෘත්තීය සමිතිවල මෙහෙයවීමෙන්. මෙයින් කියන්නේ ජනතාව අවහිරයට පත් කරමින් වර්ජන කරන වෘත්තීය සමිතිවලින් රටට වැඩක් වන බව නො වෙයි. මේ ආණ්ඩුව හැකි ඉක්මණින් පළවා හැරීම වෙනුවට නව පක්‍ෂය කරන්නේ 2019/2020 මැතිවරණවලට සූදානම් වීම. එය වැරදි දේශපාලනයක්. 2019/20 වන විටත් මේ ආණ්ඩුව පැවතුණොත් රට බෙදෙන තැනකට තල්ලු වී නැවත රට ගොඩ නැගීමට බැරි තැනකට යාවි.

අද කළ යුත්තේ මැතිවරණවලට සූදානම් වීම නොව හැකි ඉක්මණින් මේ ආණ්ඩුව පළවා හැරීමයි. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමටත් ආණ්ඩුව පළවා හරින්නට වේවි. මැතිවරණ කොමිසමත් කෝලමක් බවට පත් වෙලා. ඉස්සර පොලිස් කෝලමක් තිබුණා. දැන් එවැනි නාට්‍ය නිර්මාණය කරන්න ගියොත් කෙළවරක් නැති වේවි. පොහොට්ටුව වටේ එක් රොක්වන පළාත් පාලන මන්ත්‍රීධුරාපේක්‍ෂයන්ටත් මැතිවරණ කෝලම තේරෙන්න ඕන. ඔවුන් තමන්ට නොව රටට සේවයක් කරන්නේ නම් පළමුව ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කළ යුතුයි.

ආණ්ඩුව පෙරළීම කියන්නෙ රනිල් ඉවත් කිරීම. මෛත්‍රිපාලට අද තමන්ට ඕන විධියට වැඩ කරන්න දෙන්නෙ නැත්තෙ රනිල් මිස වෙනත් කිසිවකු නො වෙයි. රනිල්ට රටේ ස්වෛරීභාවය ප්‍රශ්නයක් නො වෙයි. ඔහු කල්පනා කරන්නෙ බටහිරයන් වෙනුවෙන් තම බලය රැක ගැනීමට රට වුණත් විකුණන්න. ත්‍රිකුණාමලය ඉන්දියාවට දෙන රනිල් හම්බන්තොට චීනයට දෙනවා. මෛත්‍රිපාලට තනිව ම මේව නවත්වන්න බැහැ. චීනය හා ඉන්දියාව යන බලවතුන් දෙදෙනා ඉදිරියේ රනිල්ට රටට හිතවත් ප්‍රතිපත්තියක් නැහැ. ඔහු දන්නේ තුලනය කිරීමට (බැලන්ස්) රට විකිණීමට. කොහොමත් වෙළදාමේදී තුලාවක් (තරාදියක්) අවශ්‍ය වෙනවා.

රනිල් ඉතා සියුම් ව තම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනවා. තෙල් ටැංකි දීම පිළිබඳ ප්‍රශ්නයේ දී වෘත්තීය සමිති මැදිහත් වුණෙ වැරදි ආකාරයකට. ඔවුන් රනිල්ගෙ වෘත්තීය සමිති ද? ඔවුන් ජනතාවට හිරිහැර කරමින් කළ වර්ජනයෙන් රනිල්ගෙ දෑත් ශක්තිමත් වුණා. අද රනිල් ඉන්දියාවට යන්නෙ තෙල් ටැංකි ගැන ඉන්දියාවට සහතිකයකුත් අරගෙන. මෙතන ප්‍රශ්නය තෙල් ටැංකි බදු දීමට හෝ පැවරීමට හෝ වඩා ඉන්දියාව ත්‍රිකුණාමලයට ඇතුල් වීම. සුසිල් ප්‍රේමජයන්ත කියපු දේ වෘත්තීය සමිති ගණන් ගත්තෙ නැද්ද? ඉන්දියාවට චීන මුහුදු සේද මාර්ගයට මුහුණ දීමට ත්‍රිකුණාමලය අවශ්‍ය වෙනවා. ඉන්දියාවට පුළුවන් තම තෙල් ටැංකි ආරක්‍ෂා කර ගැනීමට කියා අවශ්‍ය විටෙක හමුදා එවීමටත්. රනිල්ගෙ දේශපාලනය නිසා උතුරු හා නැගෙනහිර පළාත් ඉන්දියාවේ නිල නොවන ප්‍රාන්තයක් බවට පත් වෙනවා. ඉන්දියාව මන්නාරමේ සිට ත්‍රිකුණාමලය මුහුද ද ගොඩබිම ද අර හනුමා පාළම ද පාලනය කරාවි. චීනය දකුණ පාලනය කරාවි. අපට අයත් වන්නේ මැද ටිකක් පමණ ද? එයත් ජපානයට හා කොරියාවට දුන්නොත් ලංකාව නියම ආසියාතික රටක් වේවි.
මෛත්‍රිපාල මොන තරම් වැරදි කළත් අද රනිල් ඉවත් කරන්න පුළුවන් ඔහුට පමණයි. ඔය වෘත්තීය සමිතිවලට ඉදිරි දැක්මක් නැහැ. ඔවුන් කරන්නෙත් වෙන ම දේශපාලනයක්. ඔවුන්ටත් දේශපාලන බලාපොරොත්තු තියෙනවා. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීිමට මෛත්‍රිපාලට බලය තිබෙනවා. අප මෛත්‍රිපාලට කෙතරම් අකමැති වුවත් රනිල් ඉවත් කිරීමට ඔහු යොමු කළ යුතුයි.
නලින් ද සිල්වා

2017 අප්‍රේල් 25

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.