Breaking
24 Feb 2025, Mon

මෛත්‍රි ජනාධිපති පොහොට්ටුවේ අපේක්ෂකයා කරන්නේ නෑ… දිනන්න බැරි සිරිසේන අපිට එපා

Published on: Jun 9, 2019 – එළැඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට කිසිදු අදහසක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

වර්තමානයේ රට මුහුණ පා තිබෙන අවාසනාවන්ත තත්ත්වයට මෛත්‍රිපාල සිරිසේන මහතා ද මූලිකව වගකිව යුතු බව පැවසූ රණතුංග මහතා ඔහුට නැවත වරක් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත් අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ උඩුගම්පොළ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

දැන් මේ රටේ ජනතාවට යහපාලන ආණ්ඩුව තිත්ත වෙලා තියෙන්නේ. ඒ ආණ්ඩුවේ කිසිම කෙනකුට නැවත වරක් රටේ පාලන බලය හිමිකර දෙන්න ජනතාව සූදානම් නැහැ. ඒ කාරණය ජනාධිපතිවරයාට වගේම අගමැතිවරයාටත් අදාළයි. නැවත වරක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න වර්තමාන ජනාධිපතිවරයාට කිසිම අවස්ථාවක් නැහැ.

මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති අපේක්ෂකයා කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම තීන්දුවක් අරගෙන නැහැ. අපේ අපේක්ෂකයා තීන්දු කරන්නේ මහින්ද මහත්මයා විසින් කියන කාරණය අපි පැහැදිලිව කියලා තිබෙනවා. හැබැයි එහෙම කියලා මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති අපේක්ෂකයා කරන්න අපි සූදානම් නැහැ.

මහින්ද මහත්තයා කිව්වත් මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති පුටුවේ නැවත වරක් වාඩි කරවන්න අපි සූදානම් නැහැ. අද රටට උදා වෙලා තියෙන කණගාටුදායක වාතාවරණයට මූලිකව වගකිවයුත්තේ වර්තමාන ජනාධිපතිවරයා බව අපට අමතක කරන්න බැහැ. මේ ඉරණමට රට ඇදලා දැම්මේ මෛත්‍රිපාල ජනාධිපතිවරයයි.

දයාසිරි මන්ත්‍රීවරයට අමතක වෙලා තියෙනවා රටට වින කටින මේ ආණ්ඩුවේ සාමාජිකයන් වෙලා එයත් හිටියා කියලා. අවුරුදු හතරක් තිස්සේ රට අගාධයට ඇදගෙන යන්න උදව් කරපු දයාසිරිලට දැන් තමයි ඒකාබද්ධ විපක්ෂය මතක් වෙලා තියෙන්නේ. මෙදා පාරත් රැවටෙන්න අපි සූදානම් නැහැ.

මේ රටේ ජනතාව දැන් පැහැදිලි මතයක ඉන්නවා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට රට භාර දෙන්න ඕනේ කියලා. ජනතාව විශ්වාස කරනවා මේ රට ගොඩනගන්න පුළුවන් ඒ කන්ඩායමට පමණයි කියලා. ඒකෙන් ප්‍රයෝජන ගන්න තමයි දයාසිරිලා මේ උත්සාහ කරන්නේ.

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ කෙනෙක් කරේ තියාගෙන ජනතාව හමුවට යන්න අපට බැහැ. එහෙම වුණොත් ජනතාව අපවත් එළවා ගනියි. අපි අවුරුදු හතරක් තිස්සේ මේ ආණ්ඩුවට විරුද්ධව සටන් කළා. ජනතාව ඒ සටනට සහය දුන්නා. ඒ නිසා ජනතාව රවටන්න අපට බැහැ.

රතන හිමියන්ගේ උපවාසයට ඒකාබද්ධ විපක්ෂය වශයෙන් අපේ සහය හිමිවෙනවා. මේ ජනතා ද්‍රෝහී  ඇමැතිවරුන් එළවන්න අපි මුල සිටම සටන් කළා. අපේ සටනට තවත් අය දායක වෙන එකට අපේ අකැමැත්තක් නැහැ. හැබැයි මේ පිටුපස වෙනත් අරමුණු තියෙනවාද කියන එක ගැනත් අපි කල්පනා කරන්න ඕනේ.

අද ආණ්ඩුවට විරුද්ධව කතා කරන මේ අයම තමයි 2015 දි මේක රත්තරන් ආණ්ඩුවක් කියලා ජනතාව රැවටුවේ. අපට තියෙන ප්‍රශ්නය රටෙන්ම ආණ්ඩුව ප්‍රතික්ෂේප වෙමින් තියෙන වෙලාවක සරත් විජේසූරියලා, රතන හිමියෝ වගේ අය සැරසෙන්නේ කුමකටද කියන සාධාරණ සැකය අපට තිබෙනවා.

ආණ්ඩුව ගෙනාපු රතන හිමියන්ටම අද ආණ්ඩුව විරුද්ධව උපවාස කරන්න සිද්ධ වෙලා තියෙන්නේ 2015 දී ජනතාව හමුවේ බොරු කරපු නිසයි. ආණ්ඩුව ගැන උන්වහන්සේලා දීපු ගැරැන්ටිය විශ්වාස කරලා තමයි ජනතාව ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළේ.

ඒ නිසා දැන් හරි උන්වහන්සේලා නිවැරැදි පැත්ත තෝරා ගැනීම ගැන සතුටු වෙනවා. ඒ වගේම අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා නැවත වරක් වැරැදි තීන්දු ගන්නේ නැතිව ආණ්ඩුවට එරෙහිව කරන සටන අඛණ්ඩව ඉදිරියට කරගෙන යන්න කියලා. ඒකට අපේ සහය හිමි වෙනවා.

අනාගතයේදි අපි හදන ආණ්ඩුවට කිසිම අවස්ථාවක මුස්ලිම් අන්තවාදීන්ගේ සහයෝගය ගන්නේ නැහැ. විශේෂයෙන් රිෂාඩ්, හිස්බුල්ලා, සාලි වගේ ත්‍රස්තවාදී ඇමැතිවරුන්ට අපේ ආණ්ඩුවේ ඉඩක් නැහැ. ඒ විතරක් නෙමෙයි රාජිත, මංගල වගේ දේශද්‍රෝහී ඇමැතිවරුන්ටත් අපේ කදවුරේ ඉඩක් නැති බවත් කියන්න කැමැතියි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.