Breaking
24 Feb 2025, Mon

මෛත්‍රීපාලගේ ලෝක යුද්දෙ ඉවර වෙන්නෙ ඊළම දීලා

මෛත්‍රීපාල සිරිසේන තමාට මේ දවස්වල හරියට වැඩය කියලා සී වී ගුණරත්න සමරු උත්සවයේ දී කියලා තිබුණා. ඒත් ආරක්‍ෂක ඇමති හැටියට සාලාවෙ ගිනි ගැනීම ගැන මෙතෙක් කිසිවක් කියලා නැහැ. සාලාවක් ගිනි ගත්තම ජනාධිපති එහෙමත් නැත්නම් ආරක්‍ෂක ඇමති මැදිහත් වෙන්නෙ අහවල් දෙයකට ද? රනිල් ඔය හැම සාලාව ම බලාගෙන ඉන්න එකේ ඔය ගින්න ගැනත් මොනව හරි කියාවි. ඒත් මදිනම් ආරක්‍ෂක ලේකම් ඉන්නව. එයත් ඔය ගිනි නිවන පුහුණුවක් ගැන කතා කරලා තිබුණෙ. ගින්නක් නැතිව ගිනි නිවන්නෙ කොහොමද කියලා රනිල් පොඩි කාලෙ කියවල තියෙන ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් පොතේ ඇලිස් අහන්න තිබුණා. ගමේ ඇලිස් අක්ක නම් කියනව ඇත්තෙ ගින්නක් නැතිව දුමක් නගින්නෙ නැහැ කියලා. වෛදික තර්ක ක්‍රමයෙ කියන්නෙ කුස්සියේ දුමක් ඇත. එහි ගින්නක් ඇත. කන්දේ දුමක් ඇත. ඒ නිසා කන්දේ ද ගින්නක් ඇත කියලයි. ඒ තමයි ඇනලොග් එහෙම නැත්නම් සාදෘශ්‍ය ක්‍රමය. එතනදි කෙරෙන්නෙ සමාන වගේ පෙනෙන දේ අතර සංසන්දනයක්. කුස්සියෙ දිග රියන්වලින් මනින්නෙත් සාදෘශ්‍ය ක්‍රමයට. කුස්සියේ දිග රියන සමග සංසන්දනය කරනවා. එහි දී තොරතුරු සංසන්දනය කෙරෙනවා. වෛදික තර්කය බටහිර තර්ක ක්‍රමයට වැඩිය වෙනස්. වෛදික තර්කය අනුභූතියක්. අනුභූතියක් කියන්නෙ අත්දැකීමක්. පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීමක්. ඒක අප වැනි පෘථග්ජනයන්ගෙ ප්‍රත්‍යක්‍ෂයක් කියලා කියන්නත් පුළුවන්. අපේ සිංහල වෙද කමේ කියනවා අත්දුටුවයි, ප්‍රත්‍යක්‍ෂයි කියලා. පසක් වෙනවා කියන්නෙත් ප්‍රත්‍යක්‍ෂ වෙනව කියන එකට. බටහිර තර්ක ක්‍රමය එක්තරා ආකාරයකට මුල ඉඳලම ඩිජිටල් නැත්නම් සංඛ්‍යාංක පැත්තට යොමු වුනා. සංඛ්‍යාංක ක්‍රමයේදි තොරතුරු සංඛ්‍යා බවට පත්කරනවා. කවුද තරුණයකු අහලා තිබුණා ඔටුන්නෙ ප්‍රශ්නෙ මහෞෂධ පඬිතුමාගෙන් ඇහුව නම් මොන වගේ පිළිතුරක් ලැබෙයි ද කියලා. ඇත්තට ම මාත් දන්නෙ නැහැ. ඒ වුනත් ඒ තරුණයා ඒ ප්‍රශ්නෙ අහපු එකම ඉතා වැදගත්. අපට එක් පැත්තකින් ඇත්තෙ මහෞෂධ පඬිතුමා හා ආකිමිඩීස් අතර ප්‍රශ්නයක්. අපි මේව ගැන පස්සෙ තව කතා කරමු.

මෛත්‍රිපාල කියලා තිබුනෙ තමන් දැන් ලෝක යුද්ධයක් කරන බව. ඒ එල් ටී ටී ඊ මතවාදය පරාජය කිරීමට. එල් ටී ටී ඊ මතවාදය පරාජය කරන්න ලෝකෙ පුරා දුවන්න වෙලා තියෙන්නෙ මොකද කියන ප්‍රශ්නයට පිළිතුරක් හොයාගත්ත නම් ඒක වැදගත්. ඒ වුනත් ඒ ප්‍රශ්නෙට පිළිතුරක් හොයන්නත් අපට දැන් ලෝකෙ පුරා දුවන්න සිද්ධවෙලා. එල් ටී ටී ඊ මතවාදය කියලා වෙන ම එකක් නැහැ. ඒක තමයි දෙමළ ජාතිවාදී මතවාදය. ඒක තියෙන්නෙ එංගලන්තය ප්‍රධානව බටහිර රටවල හා ඉන්දියාවෙ. ඒක තමයි ඒ මතවාදය පරාජය කරන්න කියලා මෛත්‍රිපාලට ලෝකෙ පුරා දුවන්න සිද්ධ වෙන්නෙ. එංගලන්තය නැත්නම් දෙමළ ජාතිවාදය කියලා ප්‍රශ්නයක් ඇතිවෙන්නෙත් නැහැ. දෙමළ ජාතිවාදයට අවශ්‍ය දේ කරගන්න කොටි සංවිධානය ආයුධ අතට ගත්ත.

දෙමළ ජාතිවාදය පරාජය කරන්න ලෝකෙ පුරා දුවන්න ඕන නැහැ. කරන්න තියෙන එකම දෙය එංගලන්තෙ, ඉන්දියාව හා බටහිර අනෙක් රටවල් කියන විධියට වැඩ නොකර ඉඳීම පමණයි. මහින්දගෙ ආණ්ඩුවෙ මෛත්‍රිපාල වැඩ බලන ආරක්‍ෂක ඇමති වෙලා හිටියා. මහින්ද එංගලන්තෙ හා ප්‍රංශෙ විදේශ ඇමතිවරුන්ට සලකපු ආකාරය මෛත්‍රිපාල දැනගන්න ඕන. මෛත්‍රිපාලයි රනිලුයි දෙමළ ජාතිවාදය පරාජය කරන්න යනවයි කියන්නෙ දෙමළ ජාතිවාදයට තව තවත් දොළ පිදේනි දෙන එකයි. අප 2009 මැයි 18 වැනි දා ඊනියා රාජපක්‍ෂ රෙජිමය යටතේ දෙමළ ජාතිවාදය හමුදාමය වශයෙන්, ඒ කියන්නෙ දේශපාලනික වශයෙන්, පරාජය කළා. අපට කරගන්න බැරිවුනේ ඒක නීති පොතට ඇතුල් කරන එකයි. රනිලුයි මෛත්‍රිපාලයි ඒ වැඩේ කරනව ද? මහින්දත් ඒකට සහාය දේචි. ඒ සඳහා කරන්න තියෙන්නෙ දේශපාලනික ව පරාජය කරපු දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා පනත තවත් පනතක් මගින් අහෝසි කරන එකයි.

මෛත්‍රිපාල ලෝකෙ වටේ දුවන්නෙ එයාගෙ ඊනියා මිත්‍ර රටවල්වලට ඕනෑ විධියට දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දෙන්න. ඒ රටවල් එයාගෙ හා රනිල්ගෙ මිසක් අපේ මිත්‍ර රටවල් නොවෙයි. ඒවා ඒ අයගේ මිත්‍ර රටවල් වෙන්නෙ මෛත්‍රිපාලව නාමික ව හරි ජනාධිපති කරල රනිල්ට බලය අරන් දුන්නෙ ඒ රටවල් නිසා. ඒ රටවල් චන්ද්‍රිකාට කිවුවෙත් සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කරලා දෙමළ ජාතිවාදයට අවශ්‍ය දේ ඉටු කරන්න කියලා. ඒ වැඩේට අකමැති වුනේ මහින්ද විතරයි. ඒ අය මහින්දව ගෙදර යැවුවෙ ඒ නිසයි. ඒ අය දෙමළ ජාතිවාදය ඇතිකරලා පෝෂණය කළේ මෛත්‍රිපාල ඉඳලා හිටලා කතාකරන සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරන්නයි.

මෛත්‍රිපාල ඔය අගේ ඇති මිත්‍රයන් හමුවුනු අවස්ථාවක බයක් සැකක් නැත්නම් පොඩි ප්‍රශ්නයක් අහනවා ද? ඒ ගොල්ලො දෙවැනි ලෝක යුද්දෙන් පරාද කරපු නට්සිවාදයට ඔය කියන සාධාරණය ඉටුකරන්න නට්සිවාදීන් එක්ක සාකච්ඡා කරනවාද කියලා අහනවා ද? මංගල ලවාවත් අස්සවනවා ද? දෙමළ ජාතිවාදය නැති කරන්න පුළුවන් එක්කො බටහිර රටවලට හා ඉන්දියාවට කුද ගහගන්න කියලා නීති පොතේ කරන්න තිබෙන වැඩ ඉවර කරන එක. එහෙම නැත්නන් ඒ රටවලට අවශ්‍ය වන ආකාරයට දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දෙන එක. හැබැයි ඒක ඉවර වෙන්නෙ ඊළම දීලා. මෛත්‍රිපාල ලෝකෙ වටේ යන්නෙ දෙවැනි කාරණේට. ඒක තමයි මෛත්‍රිපාලගේ ලෝක යුද්දෙ.
නලින් ද සිල්වා

2016 ජූනි 09

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.