LNN SPY

මෛත්‍රීපාල බෞතිස්ම කළ අලිබබා හා හොරු හතළිහ සහ .. “ස්විස් චැලෙන්ජ්” ජනාධිපතිගේ ටෙන්ඩර් සෙල්ලම කරළියට

Published on: Dec 7, 2018- රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් මණ්ඩලය තුළ සිදුවූ වංචා දූෂණ පිළිබඳව ජනාධිපති කොමිසමක් පත්කර පරීක්‍ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ප්‍රකාශ කර තිබුණේ විදෙස් මාධ්‍යවේදීන් කැඳවූ හමුවකදීය.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට පිළිතුරු වශයෙන් එජාප නායකයන් කියාතිබුණේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා බව ඔහුම නොදැන සිටීම කනගාටුවට කරුණක් බව හා ඔහුට විරුද්ධව ඔහුම පරීක්‍ෂා කිරීමට යන බවය.

එකම කරුණක් ගැන අවස්ථා කිහිපයකදී පරස්පර කථා කියන ජනාධිපතිවරයා කියන්නේ මොනවාදැයි නොදැන දෙඩවීම දැන් සාමාන්‍ය මිනිසුන්ට පවා රස සාගරයක් වී ඇත. ඒ ගැන වැඩිය කථා කිරීම තේරුමක් නැත.

නන්දෙඩවීමක් වශයෙන් හෝ කියූ ජනාධිපතිවරයාගේ එම යෝජනාව නම් කදිමය. එහිදී එජාප කැබිනට් සාමාජිකයන්ගේ පමණක් නොව ඔහුගේ ශ්‍රීලනිප කැබිනට් සාමාජිකයන්ගේ මෙන්ම ආරක්ෂක, පරිසර හා මහවැලි සංවර්ධන යන ඔහුගේ අමාත්‍යධුරවල කටයුතුද පරීක්ෂාවට ලක්වන බැවින්ය.

කවදාහෝ දිනක ඔහු ධුරයෙන් බැස ගිය පසු මොනවා හෝ කොමිසමකින් පරීක්‍ෂාවට ලක්කළ යුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හඳුන්වාදුන් අලුත් ටෙන්ඩර් සෙල්ලමක් පිළිබඳව අප මුල්වරට හෙළිදරව් කරන ලද්දේ පසුගිය ජුලි 15 දින පුවත්පතෙන්ය. එහි මාතෘකාව වූයේ ‘ස්විස් චැලෙන්ජ්, ජනාධිපතිගේ අලුත් ටෙන්ඩර් සෙල්ලම’ යන්නයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නීතිවිරෝධීව ධුරයෙන් ඉවත්කර කැබිනට් මණ්ඩලය විසුරුවීමෙන් පසු ඔහුගේ අලුත් දීගයේ සහායකයා වන මහින්ද රාජපක්‍ෂ ඇතුළු කල්ලියේ හොර කැබිනට් මණ්ඩලයේ ආශීර්වාදයෙන් ජනාධිපතිවරයා එම ටෙන්ඩර් සෙල්ලම යථාර්ථයක් බවට පත්කිරීමේ උත්සාහය ගෙන ඇත.

ඊට අදාළ පුවත්පත් දැන්වීම නොවැම්බර් 05 දින ඩෙලිනිව්ස් පුවත්පතේ පළවී ඇත. ඒ අනුව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පුවත්පත් දැන්වීමක් පළකරමින් ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් යෝජනා කැඳවීමක් සිදුකර ඇත. ඒ ‘ස්විස් චැලෙන්ජ්’ ක්‍රමය යටතේ කොළඹ වරාය අවට මුහුදේ විකෘත ස්වාභාවික ගැස් ගබඩා කිරීමේ නැවත ගැස් බවට පත්කිරීමේ ඒකකයක් ස්ථාපිත කිරීම ඊට අදාළ නල මාර්ග සකස් කිරීම හා ස්වාභාවික ගැස් සැපයීම යන කටයුතු සඳහාය.

එම පුවත්පත් දැන්වීමේ කියන්නේ ඉහත සඳහන් කටයුතු සඳහා කොරියාවේ S KE ඇන්ඞ් S සමාගමෙන් ස්වෙච්ඡා කේවල යෝජනාවක් (Unsolicited) ලැබුණ බවත් එම යෝජනාවට ප්‍රතිවිරුද්ධව යෝජනා කැඳවන බවත්ය. ඒ සඳහා ලබාදී ඇත්තේ ඉතා සීමිත දින ගණනක්ය. ඒ දෙසැම්බර් 12 දින දක්වා පමණය. ඒ අනුව කොළඹ වරායට උතුරින් හා වයඹට වන්නට කිලෝමීටර් 9ක දුරින් මෙම ස්වාභාවික ගෑස් පර්යන්තය ඉදිකළ යුතුය.

යෝජනා ඉදිරිපත් කරන්නන්ට මෙම ටෙන්ඩර් දිනාගත හැක්කේ කොරියාවේ SK E ඇන්ඞ් S සමාගම ඉදිරිපත් කළ ස්වෙච්ඡා යෝජනාවට වඩා ලාභදායී හොඳ යෝජනාවක් ඉදිරිපත් කළහොත් පමණය. එසේ හොඳ හා ලාභදායී යෝජනාවක් ඉදිරිපත් කර වෙනත් සමාගමක් එම ටෙන්ඩරය ලබාගත්තද ඔවුන් මුල් ස්වෙච්ඡා යෝජනාව ඉදිරිපත් කළ කොරියාවේ SK E ඇන්ඞ් S සමාගමට එම යෝජනාව සංවර්ධනය කිරීම සඳහා වැය කළ මුදල් ගෙවිය යුතුය.

ශ්‍රී ලංකාව මෙතෙක් රාජපක්‍ෂ පාලනයට පෙර සිදුකළේ රටේ අවශ්‍යතාව අනුව යෝජනා සකස් කර ඒ සඳහා මිල ගණන් ඉදිරිපත් කරන ලෙස තරගකාරී ටෙන්ඩර් කැඳවීමය. මේ ක්‍රමවේදය වෙනස් කරනු ලබුයේ පසුගිය රාජපක්‍ෂ පාලනයය. ඔවුන් මේ විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදය වෙනුවට හඳුන්වාදුන්නේ ස්වෙච්ඡා කේවල යෝජනාය. පුදුමයකට මෙන් මෙම ස්වෙච්ඡා යෝජනා සියල්ලම පාහේ රාජපක්‍ෂ පාලනයට ලැබුණේ චීන සමාගම්වලින්ය. ශ්‍රී ලංකාවට හෙවත් රාජපක්‍ෂ පාලනයට ඒ ඒ අවස්ථාවේදී වුවමනා අන්තර්ජාතික ගුවන්තොටුපළක්ද, අන්තර්ජාතික වරායක්ද නැතහොත් පෝර්ට්සිටි යක්ද යන්න පිළිබඳව පරසිත් හෙවත් රාජපක්‍ෂවරුන්ගේ සිත් කියවීමේ පුදුම ඉන්ද්‍රජාලික හැකියාවක් එකල චීන සමාගම්වලට තිබුණි.

ඒ අනුව චීන සමාගම් විසින් ඉදිරිපත් කරන ස්වෙච්ඡා යෝජනා අනුව මේ රටේ සියලු මහා පරිමාණ ව්‍යාපෘති යෝජනා රාජපක්‍ෂ යුගයේදී ක්‍රියාත්මක විය. එම ක්‍රමවේදය වැරදි බවට කිසිම සැකයක් තිබුණේ නැත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ප්‍රසම්පාදන කොමිසම ස්වාධීන කොමිෂන් සභා යටතේ ස්ථාපිත වන්නේ මේ ආකාරයේ මහා පරිමාණ ටෙන්ඩර් ගනුදෙනු විනිවිදභාවයකින් යුතුව සිදුකිරීම සඳහාය. එහෙත් කනගාටුවට කරුණ වූයේ පසුගිය ඔක්තෝබර් 26 දා රාත්‍රියේ මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්‍ෂ නීතිවිරෝධී ආණ්ඩු පෙරළි කුමන්ත්‍රණය වන තෙක් එම ප්‍රසම්පාදන කොමිසම දෙපයින් සිටුවීම ගැන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවද කිසිදු උත්සාහයක් නොදැරීමය.

ඒ නිසාම දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ හුරුපුරුදු පැරණි සගයන් සමග මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ස්වෙච්ඡා කේවල යෝජනාවලට සුජාතභාවය ලබාදීමේ ‘ස්විස් චැලෙන්ජ්’ නම් වූ අලුත් ටෙන්ඩර් ක්‍රමවේදය ආරම්භ කර ඇත. සංස්කෘතික වශයෙන් රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ එජාපය තමන්ට නොගැළපුණා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කීවේ රාජපක්‍ෂ යුගයේ මෙන් ඔහුට වුවමනා ස්වෙච්ඡා කේවල යෝජනා යහපාලනය තුළ ක්‍රියාත්මක කිරීමට බැරිවූ නිසා විය හැකිය.

මෙම යෝජනාවේ පුවත්පත් දැන්වීම විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නමින් කලඑළි බැස්සද ඇත්ත වශයෙන්ම කොරියානු සමාගමේ මෙම යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ යෝජනාවක්ය. ජනාධිපතිවරයා ඒ සඳහා වූ ඔහුගේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන්නේ 2016 ජුලි මාසයේදීය. පසුව එම යෝජනාව පිළිබඳ දෙවන යෝජනාව ඉදිරිපත් වන්නේ 2017 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදීය. එම දෙවන යෝජනාව ඉදිරිපත් කරන්නේ විදුබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා වශයෙන් රංජිත් සියඹලාපිටිය හා විශේෂ කාර්යභාර්ය අමාත්‍යවරයා වශයෙන් සරත් අමුණුගමගේ ඒකාබද්ධ යෝජනාවක් වශයෙන්ය.

යෝජනා දෙකේම වෙනසක් නැත. දෙවන යෝජනාව වූ කලි ජනාධිපතිවරයාගේ පළමු යෝජනාවේ පිටපතක් පමණය. අනුන්ගේ විෂයකට තමා කෙසේ කැබිනට් පත්‍රිකා ඉදිරිපත්කරන්නේ ද යන විචිකිච්ඡාව මත කොපිය වෙනත් ඇමතිවරුන්ට පැවරූ බවට සැකයක් නැත.

මීට පෙර ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකා අනුව 2015 -2034 යන අවුරුදු 20ක කාල පරිච්ඡේදයේදී ඉදිකිරීමට නියමිත විදුලි බලාගාරත්, දැනට ඇති සමහර විදුලි බලාගාරත් ගෑස් මඟින් ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති අතර මේ කොරියානු සමාගම ඊධඔ හෙවත් ඉදිකර, පවත්වාගෙන ගොස් අයිතිය ලබාදීමේ ක්‍රමවේදයට අනුව මෙම ඉදිකිරීම් සිදුකරයි. එමෙන්ම ගිවිස ගන්නා කාලයේදී රටේ අවශ්‍යතාවට කොතරම් වැඩි වුවත් නියමිත ගෑස් මෙටි්‍රක් ටොන් ප්‍රමාණයක් අදාළ සමාගමෙන් ශ්‍රී ලංකාව මිලදී ගැනීම අනිවාර්ය කර ඇත.

කැබිනට් පත්‍රිකාවේ තිබුණේ මෙම සමාගම කොරියානු රජයේ සමාගමක් බවත් කොරියාවේ එක්සිම් බැංකුව මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර සපයන බවත්ය. එදා අපගේ හෙළිදරව්වෙන් අප පෙන්වා දෙනු ලැබුයේ එම සමාගම කොරියානු රජයේ සමාගමක් නොවන බවත්, ඒ අනුව එක්සිම් බැංකුවෙන් ණය ලබාදීම ගැටලු සහගත බවත්ය. අපගේ එම හෙළිදරව්කිරීම අද පුවත්පත් දැන්වීම් මඟින් සනාථ වී ඇත. SK E ඇන්ඞ්Sසමාගම කොරියානු රජයට අයත් සමාගමක් බව හෝ එක්සිම් බැංකුව මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වන බව හෝ එහි සඳහන් වන්නේ නැත. නමුත් කැබිනට් පත්‍රිකාවේ එය සඳහන් වූයේ ශ්‍රී ලංකාවත්, කොරියාවත් අතර හෙවත් ආණ්ඩු දෙකක් අතර ව්‍යාපෘතියක් වශයෙන්ය.

එහෙත් අපගේ පෙර ලිපියෙන් අප හෙළිදරව් කරනු ලැබුයේ අදාළ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඇළුමිනියම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදනවලට සුප්‍රසිද්ධ ජනාධිපතිවරයාගේ පුත්‍රයාට සම්බන්ධ සමාගමක් විසින් ගෙනැවිත් තිබූ යෝජනාවක් බවය. කොරියානු සමාගමේ නියෝජිතයා වශයෙන් එම සමාගම නම් කිරීම මඟින් ජනාධිපතිවරයාට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා යහපාලන ආණ්ඩුව සමග සබඳතාවක් ඇති කර ගැනීමට ඇමතිවරයෙකු සමග ගිය ව්‍යාපාරික ධම්මික පෙරේරාට ප්‍රතිඋපකාරය වශයෙන් ඔහුගේ සමාගමේ නම දීම සඳහා කැමතිකරවා ගැනීම මඟින් මෙම ව්‍යාපෘති යෝජනාව ඔහුට අයත් ඩීමෝ සමාගමේ දේශීය නියෝජිතත්වයෙන් කලඑළි බැස්ස බවය.

අප එයින් නැවතුථේ නැත. තවදුරටත් පසු ගිය අගෝස්තු 05 වැනිදා වාර්තා කරනු ලැබුයේ මේ කොරියාවේ SK E ඇන්ඞ්S එම දිනවල සිදුවූ ලාඕස් ඛේදවාචකයේද විත්තිකරුවන් බවය. එය අප වාර්තාකළේ ජනාධිපති ලංකාවට නිර්දේශ කළ සමාගම ලාඕස ඛේදවාචකයේ විත්තිකරුවෝ ලෙසින්ය. ජල විදුලි බලාගාරයක් සඳහා ඉදිකරමින් තිබූ වේල්ලක් පසුගිය ජුලි 23 වැනිදා පුපුරායෑමෙන් එහි වැසියෝ 100කට අධික ප්‍රමාණයක් මරණයට පත්වූහ. එම වේල්ල ඉදිකරමින් සිටියේ කොරියාවේ SK E ඇන්ඞ් S සමාගමය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කොරියනු සමාගමට ලබාදීමට යන්නේ වේල්ලක් වැනි ගොඩබිම ඉදිකිරීමක් නොවන නිසා ගොඩබිම් ජනතාවට අනතුරු ඇඟවීමට සමහර විට අපට සිදුනොවනු ඇත. ඒත් කොළඹ වරාය අවට ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිසටත් විශේෂයෙන් කොළඹ වරායට සේන්දුවන නැව්වලටත් මෙවැනි ප්‍රමිතියෙන් තොර සමාගම්වල ඉදිකිරීම්වලින් අනතුරක් සිදුවිය හැකිය. නමුත් ඒ ගැන කීමට තවම කල් වැඩිය.

එක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහු විසින්ම බෞතිස්ම කළ අලිබබා හා හොරු හතළිහ සමග “ස්විස් චැලෙන්ජ්’ හඳුන්වාදෙමින් ආපසු යන්නේ අවපාලනයට බව ඉඳුරාම කිව හැකිය. එම අවපාලනයෙන් වෑහෙන කොමිස් හොයන්නට අනාගත යහපාලනයකට රට රාජ්‍යවල බැංකු පීරන්නට සිදුවන බවටද සැක නැත.

~~ලසන්ත රුහුණගේ~~

Top