LNN SPY

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අසීමිත වාර ගණනක් ජනාධිපති වීමටත් අවස්ථාව ලැබෙයිද?

Published on: Jan 10, 2018 – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව යටතේ සම්මත කරන ලද 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිගේ ධුර කාලය වසර හයක්දැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත.

19 වන සංශෝධනය සිදු කරන අවස්ථාවේදී එනම් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ධූරය දරමින් සිටි ජනාධිපතිවරයාටත් එම තීරණය වලංගුදැයිඑම යොමු කිරීම මගින් විසදා ගැනීමට ජනාධිපතිවරයා ක්‍රියාකර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙම මස 14 වැනි දිනට පෙර ලබා දෙන්නැයිද ජනාධිපතිවරයා ඉල්ලා ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් නීතීඥ සංගමයට ලිඛිතව දන්වා ඇත්තේ මෙම සම්බන්ධයෙන් ජනවාරි 11 දා සලකා බැලීමට තීරණය කර ඇති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් නීතීඥ සංගමයට යවා ඇති ලිපිය සිංහල භාෂාවෙන් මෙසේ ය.

 

[ 2018ජනවාරි 08

සභාපති/ ලේකම්

ශ්‍රී ලංකා නීතීඥ සංගමය,

කොළඹ 12.

 

ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම 01/2018

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129(1)ව්‍යවස්ථාව යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම අධිකරණයට පහත ප්‍රශ්නය සළකාබලා මතය 2018 ජනවාරි 14 දිනටහෝ එදිනට පෙරවාර්තාකරන ලෙස යොමු කර ඇති බව ඔබ වෙත දැනුම් දෙන ලෙස ගරු අගවිනිසුරුතුමා විසින් මා වෙත නියෝග කර තිබේ.

ජනාධිපති ධූරයට තෝරාපත් කරගත් තැනැත්තා සහ අනුප්‍රාප්ත වූ තැනැත්තා වශයෙන් සහ 2015 ජනවාරි 09 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32.1ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූරය භාරගැනීමේ දී 2015 ජනවාරි 09 දින සිට එනම් ඡන්දයෙන් ජනාධිපති ධූරයට ප්‍රතිඵල ප්‍රකාශකළ දිනයේ සිට ජනාධිපති ධූරයේ වසර 06ක දිගට ධූරකාලය දැරීමට යම් බාධාවක් තිබේද?

ඉහත දක්වන ලද යොමු කිරීම 2018.01.11 දින පෙ.ව. 11.00ට ශ්‍රේෂ්ඨාධිකරණයේ සළකාබැලීම සදහා ලැයිස්තු ගතකර ඇති බව ඔබගේ සාමාජිකයන් වෙත දැනුම් දෙන්නේ නම් කෘතඥ වෙමි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්]

ජනාධිපතිවරයා විසින් ඉහත යොමු කිරීම සමග වැදගත් නීතිමය කාරණා රාශියක් විසදා ගැනීමට අවස්ථාව ලැබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ ප්‍රශ්නය යොමු කර ඇත්තේ 2015 ජනවාරි 09 දින ජනාධිපති ලෙස පත්වූ හෙයින් එවකට බලපාන ලද 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථා සංශෝධනය ප්‍රකාරවතමන්ට වසර 06ක කාලයක් ජනාධිපති ධූරය දැරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමටය.

එනම් 2015 ජනවාරි 09 දින වන විට වලංගුව පැවති නීතිය වත්මන් ජනාධිපතිවරයාට වලංගු වන්නේ නම් ඔහුට වසර 06ක් ධූරය දැරීමට හැකියාව ඇති බව ඉතා මැනවින් පැහැදිලිය. නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 ව්‍යවස්ථාව අනුව ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයා පස් වසරක් (05) ධූරය දරයි. ධූරයට පත් වූ අවස්ථාවේ නීතිය වලංගුවන්නේ නම් වසර 06ක් ජනාධිපති ධූරයේ දැරීමටත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ධූරද දරන කාලය වසර 05කටත් අඩු වනු ඇත.

එමෙන්ම 2015 ජනවාරි 09 දින ජනාධිපති ධූරයට පත්වන විට සීමා රහිත වාරගණනක් ජනාධිපති වීමටත්, ඒ සදහා අසීමිතව ජනාධිපතිවරණවලට තරග කිරීමටත් අවස්ථාව හිමි වන ලෙස නීතිය පැනවී තිබුණි.(18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්) එම නීතිය 2015 ජනවාරි මස 09 දින වන විටත් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වලංගුව තිබුණි. ඒ අනුව 2015 ජනවාරි 09 දින ධූරයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අසීමිත වාරගණනක් ජනාධිපති ධූරයට පත් වීමට අවස්ථාව තිබූ පැරණි නීතිය වලංගුතාවයක්ද පැන නගින්නේද යන්නත් විසදාගත යුතු වැදගත් නීතිමය ප්‍රශ්නයකි.

එමෙන්ම 2015 ජනවාරි මස 09 දින වන විට පැවති නීතිය අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් තිබුණේ නැත. නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථාවේ 35.1 ව්‍යවස්ථාව අනුව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ අයිතිය ජනතාවට ලබා දෙනු ලැබීය. ඒ අනුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ අයිතිය ලබා දුන්නද 2015 ජනවාරි 09 දින බලයට පත් ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට අයිතිය පසුව පැනවූ නීතියකින් නොලැබෙන්නේද යන්න මෙහිදී විසදාගත යුතුවේ.

කාර්ය පටිපාටිමය නීති ,හර්යාත්මක නීති අතීතයට බලපාන ආකාරයත් මෙහිදී නීති සාහිත්‍යයට මනා පැහැදිලි කිරීමක් කරනු ඇත.

2015 ජනවාරි 09 දින ධූරයට පත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අදාල වන්නේ පාර්ලිමේන්තුවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ චේතනාව නොව ඔහු ධූරයට පත්වන විට පැවති පාර්ලිමේන්තු චේතනාවද? යන්නත් මේ මත විමසීම සමග නීතිය පැහැදිලි වනු ඇති අතර මෙවැනි සංකීරණ නීතිමය ගැටළු විසදා ගැනීමට ජනතාව සක්‍රීයව නීතිමය යාන්ත්‍රණය සමග බැදී සිටීමද වැදගත් වේ…

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

B.Sc(Col), PGDC(Col)

2018.01.09

Top