ලෝකයා

“මෛත්‍රී -රනිල් රට ගොඩගන්නවා සිකුරුයි” හොම්බට හැටක් අනිමුද?

මෛත්‍රීපාල නම් වූ සරල ජනාධිපතිවරයා සහ රනිල් නම් වූ බුද්ධිමත් නළුවෙක් නොව මොළයක් වූ අගමැතිවරයා යටතේ අපේ රට අසියාවේ පමණක් නොව මුලු ලෝකයේම අශ්චර්‍යවත් රාජ්‍ය බවට පත් වේ යැයි එක එකා කියන විට අපි එයට ඔච්චම් කළෙමු. අපි එසේ කීවවුන්ට හිනා වීමු. මේ මාස දහයේ කෙරුවාව මෙහෙමනම් අවුරුදු 5 යන විට අපේ රටට දළදා හාන්දුරුවන්ගේ පිහිටයැයි සිතුවෙමු. කීවෙමු

රාජපක්ෂ පාලන කාලයේ තිබූ 8% ආර්ථික වර්ධන වේගය අද 4.5% අඩු වී ඇතැයිද, රුපියල අවප්‍රමාණය වෙමින් ඩොලරයට රු 150 කරා යමින් ඇතැයිද, විදෙස් සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සිට 6 දක්වා අඩු වී ඇතැයිද , බඩු මිල අහස උසට යමින් ඇතැයිද , ලෝක වෙලඳපොළේ තෙල් මිල ලෙල්ලටම අඩු වී ඇති බැවින් යන්තම් ඒ ගහන හෙන ගහන බද්දෙන් ඔලුව උස්සාගෙන හිටියත් එයද ඉතා තාවකාලික යැයි අප කීවෙමු. ඉදිරි අය වැයේදී බඩ පුරා කන්නට බලාසිටියවුන්ට බඩ කට පුරා ලැබෙනු ඇතැයි උපහාස කළෙමු.

ඒ අතර 1815 උඩරට පාවාදීමේ ගිවිසුම පරදවන ජිනීවා පාවාදීමේ එකඟතාවය හරහා අප රට දිනපතා ලේ හලාගන්න කාලකණ්නි දේශයක් වනු ඇතැයි අනාවැකි පළ කළෙමු. රණවිරුවන් ප්‍රමුඛ ත්‍රස්තවාදය මැඩලීමට නායකත්වය සැපයූවන් (ෆීල්ඩ් මාෂල් තුමා හැර ) යුධ අපරාධ දංගෙඩියට සෙමෙන් සෙමෙන් දක්කාගෙන යනු ඇතැයිද, බටහිර අධිරාජ්‍යවාදය උතුරු නැගෙනහිර වෙමන රාජ්‍යයක් දක්වා බෙදා වෙන්කරන දිශාවට තල්ලු කරනු ඇතැයිද බිය වීමු. විපක්ෂයේ හඬ හාන්සි කර ඒකාධිපති වියරුවෙන් මුලු රටම අඳුරු අගාධයකට යනු ඇතැයිද සිරිසේන මහතා හරහා ශ්‍රීලංකා නිදහස් පක්ෂය විනාශ කර දමා කාලයක් යනතුරු යලි හිස එසවිය නොහැකි වන සේ විපක්ෂය නැත්තටම නැති කර දමනු ඇතැයි අනාවැකි කීවෙමු.

අහෝ අප සිටි මායාව…
මේ සියල්ල කොතරම් වැරදිද….
අප ආසියාවේ පමණක් නොව ලෝකයේම ආශ්චර්‍ය වන බවට දැන් නම් කිසිඳු සැකයක් නැත..එක බස්නාහිරින් ඉර පායනවා වගේ ෂුවර්ය.

අපට හදිසියේ ඒ විශ්වාසය ලැබුනේ කෙසේදැයි අප සමග මේ කරුණු අරඹයා නිකරුණේ රණ්ඩු සරුවල් කරගත් අපේ මිත්‍රයන් බලනු ඇති…
ගොඩක් කාලෙකින් ස්වර්ණවාහිනී ලයිට් ඇට් 8 නැරඹුවෙමු…

එහි ‘මොකද වෙන්නේ’ වැඩසටහනට අද සහභාගිවූයේ සුමනදාස අබේගුණවර්ධන නම් වූ දෛවඥයාය…ඔහු යලිත් රාජකීය දෛවඥයා වන ලකුණු ඒ කතාව තුලින් අපට පෙනුනි… [යමෙකුට ඒ පිළිබඳ නිකමට හෝ පුදුම සිතේ නම් නිමල් ලංසා , මුතුහෙට්ටිගම , ලක්ෂමන් වසන්ත , එස් බී ඇමති වරුන් වූ සැටි මදක් සිහි කරන්න..]

රටේ වාසනාවය…

ඔහුගේම වචනවලින් කිවතොත් ‘ මහින්ද අද සිටියානම් ජිනීවාවල අප අලි කරදරයක වැටී අවසන්ය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූයේත් , රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූයේත් රටේ වාසනාවටය. මහින්ද රාජපක්ෂ මහතාට ලංකාව ආසියාවේ ආශ්චර්‍ය කිරීමට නොහැකි විය. ඔහු අසාර්ථක නායකයෙකි. රනිල් – මෛත්‍රී සුසංයෝගයෙන් අප ආසියාවේ පමණක් නොව ලෝකයේම ආශ්චර්‍යවත් රාජ්‍ය වන දිනය වැඩි ඈතක නොවේ”

ඒ සුමනදාස අබේගුණවර්ධන මහතාගේ කිරි ගහට ඇන්නා වැනි අනාවැකියයි….

ආචාර්‍යවරු , මහාචාර්‍යවරු , විදුලි ඉංජිනේරුවරු , උගත් නීතිඥ මහත්වරු කොතෙකුත් මේ කතාවම දහස් වර කීවද අප විස්වාස නොකළෙමු . ගං කබරයන් බයියන් යැයි අපේ විරුද්ධවාදී අපට කරන ආමන්ත්‍රණ කොතරම් සත්‍යදැයි වැටහෙන්නේ දැන්ය…

අදින් පසු එකෙක්වත් රනිල් -මෛත්‍රී හවුල පිළිබඳ සැක සංකා ඇති නොකරගන්නා බව ඉර හඳ සේ දැන් විස්වාය. තවදුරටත් රනිල්ට හෝ මෛත්‍රීට යමකු විවේචනය කරන්නට ඉදිරිපත් වුවහොත් එවුන්ගේ කන් දෙකේ ඇඟුලි ගහගන්නට දෙකක් කියන්න , ඒත් නතර නොවුනොත් හොම්බට හැටක් දෙන්නට වුවද අපට පුළුවන. ඒ විස්වාසය ඇති කලේ වෙනකෙකු නොව සුමනදාස අබේගුණවර්ධන ශ්‍රීමතානන්ය…

දැන් ඉතින් හිතේ බයක් නැතිව නිදාගත හැකි…….අනේ වාසනාවන්..
මගේ රටට දළදා හාන්දුරුවන්ගේ පිහිටයි.. ආ…..රක්ෂාවයි…..

මීට බයියා

-යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය

Top