Breaking
4 Mar 2025, Tue

මෛත්‍රී රනිල් හීනය කිසිදා සැබෑ වෙන්නේ නෑ… රනිල්- මෛත්‍රී 16 පිල්ලියේ ගේම් එක මෙන්න …

කුමන දේශපාලන ප්‍රයෝග යෙදුවත් ඒකාබද්ධ විපක්ෂය දෙකඩ කිරීමේ මෛත්‍රී රනිල් හීනය කිසිදා සැබෑ නොවන්නක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මෛත්‍රී රනිල් හවුලේ බාල දේශපාලන උපක්‍රමවලට ඒකාබද්ධ විපක්ෂය හසුනොවන බව අවධාරණය කළ රණතුංග මහතා 2019 ජනාධිපතිවරණය ස්ථිර වශයෙන්ම ජයග්‍රහණය කළ හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය හිමි ඒකාබද්ධ විපක්ෂයට පමණක් බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (10) පැවැති උත්සවයකට සහභාගී වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

2015 ජනවාරි 08 වැනි දා පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය වුණාම ඒ වෙනතුරුම මහින්ද මහත්තයා ළඟ හිටපු අය එතුමව අතහැරලා ගියා. බලය තියෙන කාලයේ වැඩිපුරම වාසි ගත්ත සියලුදෙනාම ගිහින් මෛත්‍රීපාල මහත්තයා එක්ක එකතු වුණා.

හැමෝම එදා හිතුවේ රාජපක්ෂලා ඉවරයි කියලා. හැබැයි මේ රටේ ඉන්න කෙළෙහිගුණ දන්න ජනතාව ඒ හිතුව විදියට රාජපක්ෂලාට ඉවර වෙන්න ඉඩ තිබ්බේ නැහැ. පැරදුණු දවසේ ඉඳලම ජනතාව වැල නොකැඩී මහින්ද මහත්තයා බලන්න යන්න ගත්තේ හරියට වන්දනාවක යනවා වගෙයි.

මේ රටෙ හිටපු කිසිම ජනාධිපතිවරයකුට නොලැබුණ අන්දමේ ගෞරවයද් ජනතාවගෙන් මහින්ද මහත්තයට ලැබුණා. මිනිස්සු ගිහින් මහින්ද මහත්තයගෙන් ඉල්ලුවේ ආපහු දේශපාලනයට එන්න කියලයි. ඒ අනුව මහින්ද මහත්තයා අගෝස්තු මැතිවරණයට තරග කරලා ආපහු පාර්ලිමේන්තුවට ආවා.

මහින්ද මහත්තයා ප්‍රමුඛ කරගත් අපේ දේශපාලන වැඩපිළිවෙළ ඒකාබද්ධ විපක්ෂය විදියට නම් කරලා ආණ්ඩුවට එරෙහි සටන ආරම්භ කළා. මේ වෙනකොට රනිල්- මෛත්‍රී ප්‍රමුඛ ආණ්ඩුවට ලොකුම හිසරදය වෙලා තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයයි. අවුරුදු තුනක් යන්නත් ඉස්සර අපි මේ ආණ්ඩුව හෙල්ලුවා.

රනිල් මෛත්‍රී දෙන්නා ප්‍රධාන පක්ෂ දෙකම එකතු කරලා ජාතික ආණ්ඩුව හැදුවේ කාටවත් අභියෝග කරන්න බැහැ කියලා හිතාගෙනයි. හැබැයි අපි අලුතින් හදපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ ප්‍රධාන පක්ෂ දෙකම පහුගිය මැතිවරණයේ දී උස්සලා පොළවේ ගැහුවා.

ඒ පරාජයත් එක්ක වියරු වැටුණු ආණ්ඩුව දැන් ඒකාබද්ධ විපක්ෂය දෙකඩ කිරීමේ වෑයමක නිරත වෙනවා. ආණ්ඩුවේ හෙංචයියෝ කියන්නෙම ඒකාබද්ධය බෙදිලයි කියලා. හැබැයි ඒකාබද්ධ විපක්ෂය බෙදීමේ මෛත්‍රී රනිල් හීනය කවදාවත් සැබෑ වෙන්නේ නැහැ කියලා මතක තබාගත යුතුයි.

ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මේ රටේ පොදුජනතාවගේ බලවේගයයි. යහපාලන ආණ්ඩුව යටතේ මේ රට වැටිලා තියෙන අගාධයෙන් ගොඩගන්න පුළුවන් එකම බලවේගය ඒකාබද්ධය පමණයි. අද මේ රටේ ජනතාවට මහින්ද මහත්තයාගේ සරණ හැර වෙන සරණක් නැහැ.

අපේ කණ්ඩායම බෙදීමේ අරමුණෙන් රනිල්- මෛත්‍රී හවුලෙන් මේ දවස්වල එක එක පිල්ලි එවනවා. අවුරුදු තුනක් තිස්සේ අපි මේ ආණ්ඩු විරෝධී සටන කළේ පාවා දෙන්නන් නැතුවයි. අපේ කණ්ඩායම බෙදන්න මෛත්‍රීගේ පිල්ලිවලට බැහැ කියලා අපි කියනවා.

ඉදිරි මැතිවරණයක දි නිසැකවම පරාද වෙන පක්ෂ අතහැරලා අපේ පැත්තට පනින අයගේ වුමනාව මොකක්ද කියලා අපි අවධානයෙන් ඉන්නවා. ජනතාව ගැන හිතලා සැබෑ වුවමනාවකින් අපේ පැත්තට එන අය සාදරයෙන් පිළිගන්න අපි ඕනෑම වෙලාවක සූදානම්.

හැබැයි එහෙම පෙන්නගෙන ඇවිත් අපිට වල කපන්නන නම් කාටවත් අපි ඉඩ තියන්නේ නැහැ. මේක අපි වෙනුවෙන් කරන සටනක් නෙමෙයි. මේක ජනතාව වෙනුවෙන් කරන සටනක්. ඒ සටන ජයග්‍රහණයෙන් මිස කෙළවර කරන්න අපි කිසිසේත් සූදානම් නැහැ.

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ කියන්නේ අපි ගරු කරන නායකයෙක්. එතුමා මේ ගම්පහ දිස්ත්‍රික්කයේ නායකයා වශයෙන් හිඳිමින් අපේ පක්ෂයට සුවිශාල සේවාවක් කරපු කෙනෙක්. හැබැයි එතුමාගේ නම පිටිපස්සේ හැංගිලා පාවාදීම් කරන අයට අපි කැමැති නැහැ.

අද ජෙයරාජ් ඇමැතිතුමා ජීවතුන් අතර හිටියා නම් අනිවාර්යෙන්ම හිටගන්නේ මහින්ද මහත්තයාගේ කඳවුරෙයි. එහෙනම් එතුමා මේ සටනේ පුරෝගාමියකු විදියට ඉඳියි. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නෝනා එක්ක අපේ තරහක් නැහැ. තියෙන්නේ මතවාදී ගැටුමක් විතරයි.

16 දෙනාගේ කණ්ඩායමේ සැබෑ වුවමනාව මොකක්ද කියන ගැටලුව අපිට තියෙනවා. ඒ අයටත් ඕනේ ඊළඟ පාරත් මහින්ද මහත්තයාගේ ෆොටෝ එක ගහගෙන පාර්ලිමේන්තු යන්න විතරද කියන ගැටලුව තියෙනවා. එහෙම නැත්නම් මෛත්‍රී රනිල්ගේ වුමනාවක් ඉටු කිරීමට එළියට බැස්සද කියලත් ප්‍රශ්නයක් තියෙනවා.

ඒ අය අපිත් එක්ක එකතු වෙන්නේ සැබෑ අවශ්‍යතාවකින් නම් තවදුරටත් නිදහස් පක්ෂයේ තනතුරුවලට පොරකන්නේ නැතුව ඒකාබද්ධ විපක්ෂය එක්ක එකතු වෙන්න තිබුණා. ඒකාබද්ධයේ ඉන්න ‍නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පවා කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව තනතුරුවලින් අයින් කළා. අපි කාටවත්  ආසන සංවිධායකකමක්වත් නැහැ.

හැබැයි ඒ අරමුණෙන්ම එළියට බැස්සයි කියන 16 කණ්ඩායමට පක්ෂයේ ප්‍රධාන තනතුරු පස්සෙන් එලවා එලවා දෙනවා. මෛත්‍රීපාල මහත්තයා මොකද මේ අයට එක හැන්දකිනුත් අපිට තව හැන්දකිනුත් බෙදන්නේ කියලා මොළයක් තියෙන ඕනෑම කෙනකුට තේරෙනවා.

අපිට දේශපාලන පිල්ලි, පාවාදෙන්නන් නැතුවට 2019 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් පසුබිමක් තියෙනවා. ඒ නිසා ‍අපි  මෛත්‍රී රනිල් හවුලට කියන්නේ මේ වගේ බාල උපක්‍රමවලින් අපිව වට්ටන්න නම් හිතන්නවත් එපා කියලා විතරයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.