Anonymous Reporter

මෛත්‍රී හැමදාම කළේ පාවා දීම්…. කොයිවෙලේ හරි ඔහු අපිව පාවා දෙයි… මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා…

Published on: Jun 26, 2020- මේ මහ මැතිවරණයට මෛත්‍රීපාල සිරිසේනව එකතු කර ගැනීම මා පෞද්ගලිකව විරුද්ධ බවත්  ඔහුට අපේක්ෂකත්වය දුන්නු එක වැරදි බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග  අවධාරණය කරයි.

මිනුවන්ගොඩ විගොඩ ප්‍රදේශයේ ඊයේ (25) පැවති ජනහමුවකට එක්වෙමින් ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ  මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා

“මම හොද ශ්‍රී ලංකා කාරයෙක්. හැබැයි මෛත්‍රීපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලියාගේ නැට්ටේ එල්ලුවාට පස්සේ අපි ඒ පක්ෂයෙන් ඉවත් වෙලා නියම ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සහිත නව දේශපාලන පක්ෂයක් ගොඩ නැගුවා. අපේ නායකයා මහින්ද මහත්තයා. මේ පක්ෂය හදනකොට මෛත්‍රී අපිව පාරක් පාරක් ගාණේ ඇවිද්දනවා බවට තර්ජනය කළා. අපිව පක්ෂ සංවිධායක ධූර වලින් ඉවත් කළා. අපෙන් පළිගන්න බොරු නඩු පැටලෙව්වා. අදටත් අපි ඒ නඩු වලට යනවා. එහෙම කරලා බැලුවේ අපිව නවත්තන්න. හැබැයි ජනතාව හිටියේ අපිත් එක්ක. රටටත්, පක්ෂයටත් කරපු විනාශයට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වග කිව යුතුයි. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනවන්න ශ්‍රීලනිපය එකතු වුණු බව ඇත්ත. ඒත් මේ මහ මැතිවරණයට මෛත්‍රීපාල සිරිසේනව එකතු කර ගැනීම මා පෞද්ගලිකව විරුද්ධයි. ඔහුට අපේක්ෂකත්වය දුන්නු එක වැරදියි. මෛත්‍රී හැමදාම කළේ පාවා දීම්. කොයිවෙලේ ඔහු අපිව පාවා දෙයි ද මට නම් සැකයි. ගියපාර ජනාධිපතිවරණයේ දී මෛත්‍රී වචනයක් කථා කළේ නෑ. යටින් උදව් කළේ සජිත්ට.  ඒ නිසා අපිට සැකයක් තියෙනවා ඔහුගේ කණ්ඩායමක් දිනවගෙන අපිට කිසියම් බලපෑමක් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසයි මම කිව්වේ මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලා.

අපි මෙවර මහ මැතිවරණය තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගන්නවා. එතකොට අපි යහපාලනය ගෙන ආ රටට එරෙහි සියලු අණපණත් සියල්ල අහෝසි කරනවා. සමහරු අහනවා MCC  ගිවිසුම අත්සන් කරනවා ද කියලා. ඒ ගිවිසුම සමාලෝචනය කරන්න අපි විද්වත් කමිටුවක් පත්කර තිබෙනවා. ඒ කමිටුව වාර්තාව මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. ඒ වාර්තාව ජනාධිපතිතුමා ජනතාවට ඉදිරිපත් කරන්න කියලා උපදෙස් දුන්නේ මේ ආණ්ඩුව රටට වග කියන ආණ්ඩුවක් නිසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා මේ රටට අහිතකර අණපණත්වලට කිසිසේත් අත්සන් තබන්නේ නෑ. ඒක ස්ථිරයි. ඒ නිසා විපක්ෂය මවන බොරු බිල්ලන්ට රැවටෙන්න එපා. විපක්ෂය ආණ්ඩුවට එරෙහිව බොරු බිල්ලන් මවන්නේ ජනතාව නොමග යවන්නයි. ජනතාව නොමග යැවීම පිළිබද ව එජාපයට හා ජවිපෙට හොද පළපුරුද්දක් තිබෙනවා. ඒ නිසා විපක්ෂය හා ජවිපෙ මවන බොරු බිල්ලන්ට රැවටෙන්න එපා.

2020 අගෝස්තු 05 වෙනිදායින් පසු රටේ අගමැතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි.  මම දැක්ක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ ගැත්තන් කියනවා සජිත් අගමැති වෙනවා කියලා. සජිත් මුලින් ම සිහින ජනපති. දැන් සිහින අගමැති. අගෝස්තු 05 වෙනිදායින් පසු සජිත්ට විපක්ෂ නායකකමත් නැතිව යනවා. ඒක ස්ථිරයි. ජනපති එක පක්ෂයකයි අගමැති තව පක්ෂයකයි හිටපු වෙලාවේ මේ රටට වුණු විනාශය අමතක නෑ. රනිල් – මෛත්‍රී ආණ්ඩුව එළහරකයි – මී හරකයි ආණ්ඩුවක්. නැවත එවැනි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මේ රටේ ජනතාව සුදානම් නෑ. ඒ නිසා තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ස්ථාවර ආණ්ඩුවක් අපි පිහිටුවනවා. එමගින් යහපාලනය විනාශ කළ මේ රට නැවත ගොඩ ගන්නවා. වසර 30ක යුද්ධය අවසන් කළා ලෝකෙම බයේ හැංගෙද්දි රටේ කොවිඩ් වසංගතය පාලනය කළ ගෝඨාභය – මහින්ද සුසංයෝගයට මිස වෙන කිසිවෙකු ට මේ රට නැවත ගොඩ ගත නොහැකියි”.


Top