Breaking
25 Feb 2025, Tue

පසුගිය 17 වැනි දා කොළඹ පිලිප් ගුණවර්ධන (හයිඩ්) පිටියට පැමිණි පිරිස මහින්ද රාජපක්‍ෂගේ බැතිමතුන් යැයි වමේ යැයි කියන එක් පඬියකු කියා තිබිණි. එහි ඇත්තක් නැතිවා ම නො වේ. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ප්‍රධාන සංරචකය යැයි කිවහැකි යක්‍ෂ සංස්කෘතියෙහි නායකයන් දේවත්වයෙන් පිදීම ද වෙයි. මහසෙන් දෙවියන් නමින් හැඳින්වෙන්නේ එවැනි රජෙකි. එයට බොහෝ කලකට පෙර කතරගම මහාසේන නමින් දෙවියකු වූ නායකයකු ගැන සඳහන් වෙයි. අද සිංහල බෞද්ධයන් දැනුවත් ව හෝ නොදැනුවත්ව හෝ කතරගම යන්නේ කිරිවෙහෙරට ද ගොස් මේ දෙවියන්ට ද පුද පූජා පැවැත්වීමට ය. දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් කිසිවකු නිවන් දැකීමට බලාපොරොත්තු වන්නේ යැයි පඬියකු හැරෙන්නට වෙනත් අයකු නොකියනු ඇත. ලෞකික ලාභාපේක්‍ෂාවන් සඳහා දෙවියන්ට පුද පූජා පැවැත්වීම සිංහල බුද්ධාගමෙහි අංගයකි.

මහින්ද රාජපක්‍ෂ දේවත්වයට පත් වී නැත. එහෙත් ඔහුට දේවත්වයට පත්වීමට සුදුසුකම් ඇත. මහසෙන් රජු මහාවිහාරය සමතලා කර එහි උඳු වැපිරී ය. එහෙත් ඔහු පසුව ඒ සියල්ලට සමාව ගෙන මින්නේරි දෙවියන් බවට පත්විය. ඒ යක්‍ෂ සංස්කෘතියෙහි ඵලයක් විය. මහසෙන් රජු දඹදිව සංස්කෘතික ආධිපත්‍යයකට විරුද්ධ ව සටන් කෙළේ ය. මහින්ද වැරදි කර ඇත. එහෙත් ඔහු මහාවිහාර භූමියෙහි උඳු වපුරා නැත. ඔහු ඉන්දිය දේශපාලන හා ආර්ථික ආධිපත්‍යයට හිස නො නැමී ය. මහසෙන් රජුට එංගලන්තයට හා පොදුවේ බටහිරට විරුද්ධව සටන් කිරීමට අවස්ථාවක් නො ලැබිණි. එකල ගී්‍රසියට හා රෝමයට උතුරෙන් සිටි සුද්දෝ පාන් කියා ගන්න බෑරි තත්ත්වයක සිටියහ. ඔවුන් එකල පාන් ගැන දැන සිටියේ දැයි විශ්වවිද්‍යාලයක පුහු ඇදුරකුට සොයා බැලිය හැකි ය. කෙසේ වුවත් උතුරේ සුද්දන් දැන සිටි පෙරදිගක් නැත. අද ග්‍රිසීයට හා ඉතාලියට පාන් කියා ගැනීම තරමක් අමාරු ය. මහින්ද එංගලන්තයට හා පොදුවේ බටහිරට හිස නොනමා ඇඹිලිපිටියට පාර පෙන්වී ය.

මහින්දට දේවත්වයට පත්වීමට නම් කළ යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන ලබා දීම ය. මෙකල ඒ කළ හැකි නායකයකු සිටී නම් ඒ මහින්ද ය. මහින්ද ඔහුගේ බටහිර ගැති හා ඉන්දීය ගැති, බටහිර ඔත්තුසේවාවල හා ඉන්දීය ඔත්තුසේවයේ ඊනියා උපදේශකයන්ට ඇහුම්කන් නොදී ඒ කළ යුතු ය. අවශ්‍ය නම් මේ උපදේශකයන් නම් වශයෙන් සඳහන් කළ හැකි ය. එමෙන් ම එහි දී වාසුදේව, තිස්ස, ඩිව් ත්‍රිත්වයට ද මහින්ද ඇහුම්කන් නො දිය යුතු ය. ත්‍රිත්වය යම්තම් දේශපාලනයේ එල්ලී සිටින්නේ මහින්දට හා සිංහල බෞද්ධ ඡන්දවලට පින්සිදුවන්නට ය.

මෙරට ජනගහණයෙන් 75%ක් සිංහල වන අතර 70% ක් සිංහල බෞද්ධ වෙත්. 17 වැනි දා කොළඹ පැමිණි ජනගහනයෙන් 95%කට වඩා සිංහල වන අතර 90%කට වඩා සිංහල බෞද්ධ වෙයි. මහින්දට දෙමළ හා මුස්ලිම් ජනයා අතර යම් ඡන්ද ප්‍රමාණයක් ඇත. එහෙත් ඔහුගේ ඡන්ද පදනමෙන් අති විශාල ප්‍රතිශතය සිංහල වෙයි. ඉනුත් සිංහල බෞද්ධ වෙයි. මහින්ද අද තැත්කළ යුත්තේ කසිකබල් තුට්ටු දෙකේ උපදේශකයන්ට සවන් නොදී සිංහල බෞද්ධයන්ගෙන් 80%කට වඩා ඡන්ද ලබාගැනීමට කටයුතු කිරීම ය. දැනටමත් ඔහුට සිංහල බෞද්ධයන්ගෙන් 70%ක් පමණ ඡන්දය දෙන්නේ යැයි සිතිය හැකි ය. අද කුමන ආකාරයක මැතිවරණයක් පැවැත්වුවත් ජයග්‍රාහකයා වනු ඇත්තේ මහින්ද ය. මෛත්‍රිපාල සිරිසේන සීමා නිර්ණ බොරුවට මුවා නොවී පළාත් පාලන මැතිවරණ පවත්වා ඒ බව ප්‍රායෝගිකව ම දැනගැනීමට කැමති ද?

17 වැනි දා කොළඹ පැමිණි ජනතාවගෙන් පිළිබිඹු වූයේ මෙරට යක්‍ෂ සංස්කෘතික සංරචකය ය. එදා යක්කු කොළඹ පැමිණියහ. ඔවුන් පැමිණියේ ඉන්දීය මෙන් ම බටහිර ආර්ථික, සංස්කෘතික හා දේශපාලන ආධිප්‍යයන්ට එරෙහිව ය. එට්කා ගිවිසුම මේ ආධිපත්‍යයෙහි එක් කොටසක් පමණකි. ඉන්දියාවේ ජනයාට අවශ්‍ය ප්‍රමාණයට ගිලන් රථ නැතිව තිබිය දී ඔවුන් අපට ගිලන් රථ දෙන්නේ අප ගිලනුන් කිරීමට ය. ඉන්දීය හා බටහිර ඔත්තුසේවාවල නියෝජිතයෝ ලංකාව පුරා, විශේෂයෙන් කොළඹ හා යාපන දිස්ත්‍රික්වල, ගැවසෙති. ඔවුන්ගෙන් යම් පිරිසක් ගිලන් රථවල ද යනු ඇත.

යක්කු විදේශීය ආධිපත්‍යවල ද සහායෙන් ආණ්ඩුව සිංහලයන්ට කරන අඩත්තේට්ටම්වලට, රණවිරුවන් සිරගත කර දෙමළ ත්‍රස්තවාදීන් මුදාහැරීමට, බුද්ධි අංශය දියාරු කිරීමට, භික්‍ෂූන්වහන්සේට හිරිහැර කිරීම්වලට, බුදුසසුන ඊනියා ථෙරවාදී කතිකාවත් මගින් පාලනය කිරීමට, ආර්ථික පීඩනයට, ජනමාධ්‍යවලට බලපෑම් කර ඒ නිහඬ කිරීමට, ආදී වශයෙන් කරන සියළු කටයුතුවලට විරුද්ධ ව කොළඹ පැමිණියහ. පොදුවේ ගතහොත් ඔවුහු යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යයට එරෙහිව කොළඹ පැමිණියහ. බටහිර හා ඉන්දීය ගැති රනිල් සිරිසේන ආණ්ඩුවට බලයේ රැඳී සිටීමට දැනට හැකි වී ඇත්තේ ශ්‍රි ල නි පක්‍ෂයේ යැයි කියන මෛත්‍රිපාලගේ මැති ඇමතිවරුන්ගේ පාවාදීම හේතුවෙන් පමණකි.

නලින් ද සිල්වා

2016 මාර්තු 19

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.