Breaking
24 Feb 2025, Mon

යහපාලනයේ ගමනක අවසානය 2017දි සනිටුහන් වනු ඇත…

2017 යනු මේ ආණ්ඩුවේ ගමන අවසන් කරන තීරණාත්මක වර්ෂය බව ද පැවසූ රණතුංග මහතා සියලු ජනතාව ඒකරාශි කොට ගනිමින් නව ජවයකින් යුක්තව සටන් වැද මේ ආණ්ඩුව ගෙදර යවා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව ආණ්ඩුවක් ජනතාවට ලබා දෙන බවත් පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ දේශපාලන ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ ජනහමුවකට උඩුගම්පොළ දී එක් වෙමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

අලුත් අවුරුද්දක් උදා වෙමින් තිබෙනවා. ඒත් මිනිස්සුන්ට අවුරුද්ද සමරන්න පුළුවන්කමක් නැහැ. අද හාල් කිලෝවක් රුපියල් සීයට කිට්ටුයි. පොල් ගෙඩියක් හැත්තෑවයි. අවුරුදු සමරනවා තියා එදා වේල කන්න නැති රටක් බවට අප රට පත් වෙලා ඉවරයි. ජනතාව දුක් විඳින විට ආණ්ඩුවේ හෙංචයියෝ සාක්කු පුරෝගන්නවා. හාල් මාෆියාවක් ගෙනල්ලා ජනතා සල්ලි සූරා කන්නේ කවුද කියලා හොයලා බලන්න ඕනෑ.

මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වෙලා ජනවාරි 08 වැනි දාට අවුරුදු දෙකක් පිරෙනවා. අවුරුදු දෙකක් යන්නත් ඉස්සර ජනතාවට එදා වේල කන්නත් බැරි තත්ත්වයක් ඇවිල්ලා. අවුරුදු දෙකකින් මේ තරම් අප්‍රසාදයට පත් වෙච්ච ආණ්ඩුවක් අපේ රටේ නෙමේ ලෝකේ කොහේවත් නැතුව ඇති. ජනතාව රවටලා බලය ගත්තට මේ අයට ආණ්ඩු තියා ප්‍රාදේශීය සභාවක්වත් පාලනය කරගන්න පුළුවන්කමක් නැහැ.

වේල කන්න නැතුව ඉද්දි අගමැතිවරයා සුපිරි ඇමැති කෙනෙක් වෙන්න හීන දකිනවා. දැන් ඒ පනත පළාත් සභා පහකින් පරාජය වෙලා ඉවරයි. ඒත් අගමැතිතුමා තාම වහසි බස් දොඩෝනවා මිසක් පනත අයින් කරගන්න පාටක් නෑ. හරි නම් අගමැති ඉල්ලා අස්විය යුතුයි. අගමැති විතරක් නෙමෙයි මුළු ආණ්ඩුවම ඉල්ලා අස් වෙන්න ඕනෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට අද වෙලා තියෙන්නේ කපුටගේ කූඩුවේ පැටව් දාපු කොහාට වෙච්ච දේමයි. අනුන්ගේ ආණ්ඩුවලට හේත්තු වෙන්න ගිහින් දැන් නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් පොල් කුඩු ගාණට වැටිලා ඉවරයි. එහෙන් එජාප මන්ත්‍රීවරුන් බනිනවා. මෙහෙන් ජනතාව බනිනවා. ඇමැති කටුවට තියෙන පෙරේතකමට බැනුම් අහගෙන අගුපිලේ වැටිලා ඉන්නවා.

පළාත් පාලන ඡන්දයටත් බාලගිරි දෝෂය. සීමා නිර්ණ වාර්තාව අද දෙනවා, හෙට දෙනවා කියනවා මිසක් ඡන්දය තියන්න මේ අයගේ කිසිම සූදානමක් නැහැ. මෛත්‍රී- රනිල් දෙන්නම දන්නවා ඡන්දයක් තිබ්බොත් වෙන දේ. ඒ හින්දා සීමා නිර්ණයක් ගැන කියමින් ඡන්දය කල් දාමින් යනවා. හැබැයි කවදා හෝ ජනතාව ඉදිරියට එන්න වෙන බව මේ අයට අමතක වෙලා. එදාට ජනතාව අතට ගන්නේ ඉලපත.

මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ දස වසරක් ජනාධිපති වෙලා හිටියා. යුද්ධයක් අවසන් කරලා රටට සාමය උදා කළා. විශාල සංවර්ධන ව්‍යාපෘති ගෙනල්ලා රට දියුණු කළා. ඒත් මේ රටේ ඇතැම් පිරිස් ඒවා අමතක කරලා අලුත් ආණ්ඩුවක් ගේන්න ඡන්දය දුන්නා. එච්චර වැඩ කරපු මහින්ද මහත්තයා අමතක කරපු මේ අයට කිසිම වැඩක් නොකරන මෛත්‍රී රනිල් ආණ්ඩුව එපා වෙන එක අහන්නත් දෙයක්ද? දැනටමත් මේ ආණ්ඩුව ගේන්න දරදිය ඇද්ද අයම කලකිරිලා ඉවරයි.

මම පත්තරවල දැක්කා පසුගිය දවසක දුම්රියක බෝම්බයක් තියෙනවා කියලා මිනිස්සු කලබල වුණා කියලා. මීට වසර හත අටකට උඩදී බෝම්බවල බයෙන් හිටපු හැටි සමහරුන්ට මේ හින්දා මතක් වෙන්න ඇති. කෙළෙහිගුණ දන්න ජනතාව දන්නවා ඒ බියෙන් රට මුදා ගත්තේ කවුද කියලා. හැබැයි එදා කොටියට බයේ ඇඳන් යට රිංගලා හිටපු අය අද ඇවිත් යුද්ධය දිනන්න උදවු කරපු ඒවා කියන කොට නම් අපටත් හිනා යනවා.

බස්නාහිර මහ ඇමැති කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් හිරගෙදරට ගාල් කරන්නේ ජනාධිපති අප්‍රසාදයට ලක් කරන්නලු. මහ ඇමැතිවරයා හීනෙන් කියෝනවා වෙන්න ඇති. දැන් අවුරුදු දෙකක් තිස්සෙම අපේ මන්ත්‍රීවරු, සාමාජිකයෝ තොග ගණන් හිර කරද්දි ඔය කියන ජනාධිපතිවරයා ඒවා තඹ සතේකට ගණන් ගත්තේ නැහැ. අපේ අය හිර කරද්දි විසිල් ගහපු අයම දැන් නින්දෙන් නැගිටලා මේ වගේ කතා කියන්නේ ජනතාවගේ අප්‍රසා‍දයෙන් බේරෙන්න බවත් අපි දන්නවා.

එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පැත්තේ ඉඳලා මෛත්‍රීපාල ජනාධිපතිවරයාට පතුරු යන්න බැනපු අය අද පැත්ත මාරු කරලා මහින්ද මහත්තයාට බනිනවා. අපි නම් කවදාවත් වාසියට පැත්ත මාරු ක‍රන්නේ නැහැ. මගේ තාත්තත් හැමදාම ගත්තේ ජනතාවගේ පැත්ත. මමත් එහෙමයි. ජනාධිපතිවරයාත් ප්‍රවේසම් වෙන්න ඕනේ හැමදාම සෘජුව ඉන්න එකාබද්ධ විපක්ෂයේ අපෙන් නොවෙයි පැත්ත මාරු කරන අවස්ථාවාදීන්ගෙන් බවත් මම මතක් කරන්න කැමැතියි.

2017 කියන්නේ තීරණාත්මක වර්ෂයක්. මේ ආණ්ඩුව 2017 දී අනිවාර්යයෙන් ගෙදර යවනවා. මේ අය තව අවුරුද්දක් හිටියොත් රට ආයෙත් ගොඩගන්න බැරි අගාධයකට වැටෙනවා. මට තියෙන දුක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ කරුමයට කර ගහන්න යන එකයි. අපේ ඇමැතිවරුනුත් ඒ කරුමයේ උරුමක්කාරයෝ වෙන්න යන එකයි. අපේ රට විනාශ වුණොත් රටේ අනාගත පරපුරේ සාපය මේ හැමකෙනෙක්ටම ලැබෙන එක නියතයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.