Breaking
24 Feb 2025, Mon

යහපාලන පිහිටෙන් හිස ඔසවන පාතාලය…

කළුතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කඩුවෙල අධිකරණය වෙත රැගෙන යමින් සිටි බන්ධනාගාර බස් රථ දෙකකට කිසියම් පිරිසක් වෙඩි තැබිම පිළිබඳ සිද්ධිය මේ වන විට රට තුළ ආන්දෝලනයට තුඩු දී තිබේ. එහි සිටි ජේලර්වරයකු,නියාමකවරයකු සහ රැඳවියන් පස් දෙනකු එම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් කීප දෙනකු රෝහල් ගතකර ඇත. මියගිය රැඳවියන් අතර කඩුවෙල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ‘සමයං’ හෙවත් අරුණ දමිත් උදයංග නමැති පාතාල නායකයාද සිටින බව කළුතර දකුණ ‍පොලිසිය කියයි. ‍පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසුණු පුද්ගලයන් දොළොස් දෙනකු පමණ මෙම ප්‍රහාරයට සහභාගි වී ඇතැයි ද පැවසේ. ඔවුන් පැමිණි වෑන් රථයක් හරස්කොට බන්ධනාගාර බස් රථ කොටු කර වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් නොනැවතී ඔවුන් බන්ධනාගාර බස් රථ තුළටම පැමිණ වෙඩි තබා පලාගොස් ඇතැයි වාර්තා වේ.

නවගමුව ‍පොලිස් බල ප්‍රදේශයේ සහ තවත් ප්‍රදේශ ගණනාවක පුද්ගල ඝාතන තුනක් සහ ඝාතන තැත් කිරීම් ද, ගිනි අවි ළඟ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ආදී චෝදනා මත මෙම පාතාල නායකයා රැඳවුම් භාරයේ සිටි අතර මින් පෙර අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවක ද උසාවි භූමියේ දී වෙඩි ප්‍රහාරයකට ලක් වී ඇතැයි කියති. මේ අනුව මෙය පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් බව ‍පොලිසිය ප්‍රකාශ කර ඇත.

කෙසේ වුවත් මේ ආදී පූර්ව අනතුරු ඇඟවීම් තිබියදීත්, මිනීමැරුම් සැකකරුවකු ඇතුළු තවත් සැකකරුවන් පිරිසක් අධිකරණයට රැගෙන යද්දී දැඩි ආරක්ෂක විධිවිධාන යෙදිය යුතු නමුත් මෙම සිද්ධිය පෙන්නුම් කරන්නේ රැඳවියන් අධිකරණයට රැගෙන යාමේ ආරක්ෂක ක්‍රියාමාර්ග ඉතා දුර්වල තත්ත්වයක පැවති බවය. එය වඩාත් තහවුරු වන්නේ මෙම කල්ලිය වෙත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමක්, මෙහිදී සිදු වී නොමැති බැවිනි. බන්ධනාගාර රථ තුළටද ප්‍රහාරකයන් පැමිණ ඇති නමුත් ඔවුන් මෙල්ල කිරීමට කිසිදු හැකියාවක් බන්ධනාගාර නිලධාරින්ට නොවූ බවය.

‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව පවසා ඇත්තේ පුරුද්දක් වශයෙන් අධිකරණයට යන බන්ධනාගාර රථය ‍පොලිසිය ළඟට පැමිණ එහිදී ‍පොලිස් නිලධාරින් කැටුව යන බවය. මෙම සිද්ධියේ දී එහි අනතුර මැනවින් පැහැදිලි වී ඇත. එනම් බන්ධනාගාරයෙන් පිට වී මීටර් 500 ක් පමණ කෙටි දුරකදීම මෙම ප්‍රහාරය එල්ල වීමය. මෙවැනි ආරක්ෂක දුබලතා නිසා අහිමි වූ ජීවිතවලට වගකියන්නේ කවුද? රැඳවියන්ගේ රථයට අමතරව තවත් රථයක් ද ගමන් ගෙන ඇති නමුත් ජීවිත රැසක් වෙඩි උණ්ඩයෙන් නිහඬ කොට තම අරමුණු ජය ගැනීම සඳහා පාතාල කණ්ඩායමට එකම ජීවිතයක්වත් බිලි දීමට සිදු නොවීම තුළ ඇති විස්මය බන්ධනාගාර බලධාරින්ගේ දැඩි අවධානයට ලක් විය යුතුය.

කලකට පෙර රටපුරා රජ කළ පාතාලයේ බිහිසුණු අත්දැකීම් පසුගිය වකවානුවේ තරමක් යටපත්ව තිබුණ ද දැන් දැන් නැවතත් තැන තැන වෙඩි තැබිම් පැහැරගෙන යෑම්, ඝාතන පිළිබඳ සිදුවීම් කරළියට පැමිණෙමින් තිබේ. එසේ පාතාල කණ්ඩායම් ශක්තිමත් වීම යනු රටේ නීතිය ක්‍රියාත්මක වන යාන්ත්‍රණයේ අබලදුබල භාවයේ පෙරනිමිති කියාපාන්නකි. අතීත අත්දැකීම අනුව මේ රටේ පාතාල කණ්ඩායම් ශක්තිමත් වන්නේ දේශපාලන රැකවරණය යටතේ ය. එය සිවිල් සමාජයේ යහ පැවැත්මට කොතරම් අයහපත් බලපෑම් එල්ල කළේ ද යන්න ගැන රටට ඕනෑතරම් අත්දැකීම් තිබේ. එබැවින් පාතාල ක්‍රියාකාරකම් දුටු තැන මුලිනුපුටා දැමීමට ආරක්ෂක අංශවල පමණක් නොව සිවිල් පුරවැසියාගේත් දේශපාලන නිලය, බලය සහිත සියලු පිරිස්වලත් සහයෝගය ඉතා වැදගත්ය.

අවශේෂ සමාජය තුළ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කෙසේ වෙතත් බන්ධනාගාර හා අධිකරණ භූමි ආශ්‍රිතව පවා ඊට ඇති බාධක ලිහිල් වීම රටේ සාමාන්‍ය ජන ජීවිතයට පමණක් නොව රටේ අනාගත අභිවෘද්ධියට ද බලවත් බාධකයක් බව නොකිව මනාය. එබැවින් මෙසේ හිස ඔසවන පාතාල කල්ලි මෙල්ල කිරීමේ වෑයම අතහැරීම හෝ අතපසු කිරීම කිසිසේත්ම නොකළ යුත්තකි. කළුතර පාතාල කණ්ඩායම පිළිබඳ පරීක්ෂණ සඳහා මේ වන විට කණ්ඩායම් පහක් යොදවා ඇතැයි ‍පොලිස් ආරංචි මාර්ග දක්වයි. කෙසේ හෝ මෙම පාතාල කණ්ඩායම හැකි ඉක්මනින් අනාවරණය කර ගැනීම ‍පොලිසියේ වගකීම බව අපි පෙන්වා දෙමු.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.