ලෝකයා

යහපාලන වසන්තය උදාවීද? “නිකන් ගොන් ප්‍රශ්න අහන් නැතුව වාඩිවෙනව අයිසෙ”

බැලුන් එන්නෙත් නෑ, ඒව පාවෙල ගිහින් වසන්තය හොයා ගෙන. චන්දෙ ඉවරවෙන කොටම පාවෙගෙන ආපු දිසාව වෙනස් වෙලා. රජයට ඒ පිළිබඳව කරන්න දෙයක් නැතුව ඇති. යහපාලන ලිබරල්වාදී ආණ්ඩු ඇතිවීමේ අවශ්‍යතා ඇති තැන් වලට ඒව ඉබේම ආකර්ෂණය වෙනව ඇති. පව් අහිංසක ආණ්ඩුව.වොක්ස්වැගන් එන්නෙත් නෑලු . උන්ට කෙල වෙලාලු. ඊටත් වොක්ස්වැගන් කොම්පැනියෙන් එහෙම ගිවිසුමක් අත්සන් කරලත් නෑලු. ඒක කරල තියෙන්නෙ ලංකාවේ වොක්ස්වැගන් අලෙවිකරුව වන සෙනොක් කියල සමාගමක් එක්කලු. එකත් චන්දෙට කලින් දවසෙලු. (මේව මෙගා ඩීල් නෙවෙයිද මන්ද)

අඩු මිලට කාර් අරගෙනත් ඉවරයි, (අපි නම් පෞද්ගලිකව ඒකට කැමතියි) ඒත් යහපාලන වසන්තයට පස්සෙ වාහන upgrade කරන්න හිතන් හිටපු ටෝයියො?
කුළුඳුලේම චන්ද දිනල අඩු මිලට අලුත් කාර් ගන්න බලන් හිටපු චුටි නංගිල මල්ලිල.??? Free Wi -Fi සිහිනෙත් ඉවරයි.

තජුදීන් ආයෙත් වලෙන් නැගිටින්න බලන් ඉන්නෙ චන්දයක් එනකං. වෙන මිනිස්සුන්ට කරදර ඉන්නකං විතරයි, එත් මේ මනුස්සය, පව්ලේ උදවිය බයෙන් ඇත්තෙ ආයෙ චන්දයක් ආවොත් මොනව වෙයිද කියල, ආගමික තහනම් පැත්තක දාල පුච්චල දාන්න පුලුවන්නම් කියල හිතෙනව ඇති.

Coka -Cola කාරයො පිළිකා කාරක වස මුදා හැරළලු කැළණි ගඟට, ආණ්ඩුවෙන් වගක් නෑ ඒ ගැන, ඊටත් අපේ දුකේදී ලඟින් හිටපු රතු (කොළ?) කුමාර අයිය? වගේ වගක් නෑ. කාර්ය බහුල ඇති, එහෙමත් නැත්නම් පහුගිය කාලෙ සෑහෙන්න මහන්සි උන හින්ද පොඩි විවේකයක් ගන්නව ඇති. ඔය ලක්ෂ 25ක් 30ක් දුන්නොත් ආයේ කඩාගෙන බිඳගෙන ඒවි. පහුගිය කාලෙ සමාජ සේවය අමතක වුනු හේතුවත් දැනගතහැකි අපිට එතකොට.

එතකොට පහුගිය කාලෙ ජනප්‍රිය මාතෘකා වුනු, රත්තරන් අශ්වයො, හෙලිකොප්ටර්, සුඛෝපබෝගී වැසිකිලි, මෙගා ඩීල් වගේ සිල්ලරේ විකුණන් කාපු මඩ දැන් මඩම වෙලා ඉවරයි. ඒවට රැවටුණු සාමාන්‍ය මිනිස්සු දුක් වෙනව ඇති දැන්, කර ගත්තපු මෝඩ කම් කියල. විලිලැජ්ජාවෙ බැරුව ඇති අහුවෙච්ච අහුවිල්ලට. ගිරිය පුප්පගෙන ඒ ගැන කෑ ගහපු, ඒව නිසා මේ රටේ මිනිස්සුන්ට වෙන අයහපත ගැන කිඹුල් කඳුළු හෙලපු රතු කමිස කාරයොවත්, අල්පේච්ච ජනතාවාදී ජානාධිපතිතුමාවත්, ඒව නැති කරන්න අලුතෙන් පත්වුණු ආණ්ඩුවවත් වගේ වගක් නෑ.

උගත් බුද්ධිමත් ජනතාව ආසාවෙන් බලාගෙන හිටපු 25කගෙන් යුතු ඇමති මණ්ඩලේ, 125 පනින්න ඔන්න මෙන්න, ප්‍රශ්න කරන්න කෙනෙකුත් නෑ ඒ ගැන. අපිට ආදරේට පත්වුණු නිසා පවත්වාගෙන යන්න අධික වියදමක් දරන්න උනත් අවුලක් නෑ කියල හිත හදාගන්නව ඇරෙන්න මොනව කියල කරන්නද? අනික ඉන්නෙත් බාගෙට බාගයක්ම හිටපු අයමනේ.
උගත් බුද්ධිමත් ජනතාව උජාරුවෙන් කතා කරන සර්වජන චන්ද බලයත් බල්ලට ගිහින්, චන්දෙන් ගෙදර යවපු අයත් පර්ලිමෙන්තුව්වට අරන්, කැබිනට් ඇමති කමුත් දීල.
තමන් ආණ්ඩු පෙරලෙව්ව කියල සිඟිති ආතල් ගන්න අයට, මේ ඇමතිවරු හිනාවෙනව ඇති පශ්චාත් බාගෙන්.

ඇට්ලස් චූටි අඩු වියදම් පෑනෙන් අත්සන් කිරීම්, කහ ඉර මත වාහන නැවත්වීම්, ගුවන් යානාවල සාමාන්‍ය පංතියෙ ගමන් කිරීම් වගේ සිඟිතිම සිඟිති ආතල් ආයෙ එන්නෙ ඊළඟ චන්දෙදි. ඉස්සරටත් වඩා දැන් පාර්ලිමේන්තු පාර වහල ගොඩක් වෙලාවට. රාජගිරියේ ඉඳන් පොලිසිය පාර්ලිමේන්තු වෙලාවට. එතකොට ඒ වින්දනයත් වතුරෙ.
දෙනවයි කියපුව නොදෙන කොටත්, කරනවයි කියපුව නොකරන කොටත් නොදැනුවත්වම අපිට ලැබිල තියෙන්නෙ මොනවද?ඉතිහාසේ ප්‍රථම වතාවට විපක්ෂෙත් නිල වශයෙන්ම high-jack කරල. යුද්දෙකාලෙ ඉඳන් L.T.T.E සංවිදානේ පැත්තෙ හිටපු සන්බන්දන් මහත්මය විපක්ෂ නායක වෙල.

අතිගරු ජානාධිපතිතුමා පාර්ලිමේන්තු චන්දෙට කලින් ලෝක සාමය උදා කලා වගේ අලුත් ආණ්ඩුවෙන් ඉන්දියාවෙ විරැකියා ප්‍රශ්නෙ විසදන්න ඉන්දියානු ජාතිකයොන්ට ලංකාවෙ රස්සා දෙන්න CEPA ගිවිසුම අත්සන් කරනවලු. ලංකාවෙ ඉන්න හරක් ඒකට කැමති නැත්නම් ඔය වෙන නමක් දාල අත්සන් කරල දාවි. මේක මිනිස්සු හිතනවට වැඩිය මේ ආණ්ඩුවෙන් දුර දිග හිතල ගත්තු තීරණයක්, එතකොට ජාති බේද අමතක කරල සියලු ජාතීන්ට එකතු වෙලා කවදකහරි ඉන්දියාවට එරෙහි වෙන්න පුළුවන් වෙයි.

ඩොලරයෙ අගය 143+ දක්වා වැඩිවෙලා, ඒකට හේතුව චිනයේ ඇතිව තිබෙන ආර්ථික අවපාතයක් කියල ඇඟ බේරගන්න හැදුවත්, ඒක අනෙක් රටවලට බලානොපාන්නෙ ඇයි කියල අහන්න කෙනෙක් නෑ, ඇහුවත් “නිකන් ගොන් ප්‍රශ්න අහන්නැතුව වාඩිවෙනව අයිසෙ” කියන තරමට දැන් පාර්ලිමේන්තුව ප්‍රජාතාන්ත්‍රවාදීයි.

සමහර ආසන වලින් වැඩිම මානප ගත්තපු මන්ත්‍රීවරු එලියෙ. ඒ වෙනුවට චන්දෙන් ජනතාව ප්‍රතික්ෂේප කරපු බහුතර ජනතාවකගෙ අප්‍රසාදයට පත්වුණු අය ඇතුලෙ.
යහපාලන වසන්තය උදා කරන්න උර දුන්නු ටෝයියන්ට සහ මද්‍යස්ථ මතදාරී උගත් ප්‍රජාවට සතුටු වෙන්න, විලිලජ්ජාවෙන් බේරෙන්න ඉතුරු වෙලා තියෙන්නෙ මොනවද?
මේ දේවල් වලින් සමහරක් ඒව පහුගිය ආණ්ඩු කලෙත් තිබුන කියල විලිලජ්ජාවෙන් බේරෙන්න පුළුවන්, එතකොට ආණ්ඩුව මාරු කරපු එකේ තේරුම මොකක්ද ඇහුවොත් ආණ්ඩුවෙන්ම ආදර්ශයක් ඇරගෙන අතිශය ප්‍රජාතන්ත්‍රවාදී විදියට “නිකන් ගොන් ප්‍රශ්න අහන්න එපා අයිසෙ” කියල බේරෙන්න පුළුවන්.

තව ආණ්ඩුව පත්වුණා විතරයි, ටිකක් බලන්න ඕනෙ, පහුවෙනකොට ඔක්කොම හරියාවි, නැත්නම් අපි මේගොල්ලොත් ගෙදර යවල තමයි නවත්තන්නෙ කියල ටිකක් පණ්ඩිත කතාවක් කියන්නත් පුළුවන්.

පැවතිච්ච තත්වය, පවතින වාතාවරණය ගැන වැඩි අවබෝධයක් නැතුව, නිකන් රැල්ලට කඩේ ගියපු අයට “අපි දින්නා, “රාජපක්ෂ රෙජීමය ගෙදර යැව්වා, අපිට පුළුවන් ආණ්ඩු මාරු කරන්න, දේශපාලකයො නෙමේ අපියි පොරවල්” කියල හිත සතුටු කරගෙන ඉන්නත් පුළුවන්.එතකොට පවුල් පාලනය, ඒකාධිපතිත්වය, නාස්තිය, දුෂණය වගේ දේවල් නිසා ආණ්ඩුව ගෙදර යවන්න ඕනෙ කියපු අයට, ආයෙ චන්දයක් එනකන් කම්මුලේ අත තියාගෙන හූල්ලන්න පුළුවන්.

සිංහල වංශය

Top