විශේෂාංග

යහපාලන – සංහිදියා හයිබ්‍රිඩ් මර නින්දෙන් දකුණ ඇහැරැණ යාපනය විශ්ව විද්‍යාලයේ උඩරට නැටුම් ගුටි කෙළිය

2009 මැයි 19 වන දින සිට සියලු ලංකිකයන් සැනසුම් සුසුම් හෙළන ලද්දේ දැන් ඉතින් අපට ආයෙත් ත්‍රස්තවාදය නො ඇසෙනු ඇති බවට වූ සියුම් සතුටිනි. එකී ජයග්‍රහණයත් සමගම වර්ෂ 1815 දී අපෙන් උදුරා ගත් නිදහස 1947, 1972 සහ 1978 දී මෙන් රැවටීමෙන් නොව සැබෑ ලෙසින් අවංකව ජාතිය වෙත පවරා දෙනු ඇතැයි ස්ව චින්තන ජනයා සිතන්නට විය.

2009 දී ත්‍රස්තවාදය පරාජය කිරීමක් සමගම ජපානය, ප්‍රංශය, චීනය, ජර්මනිය වැනි සංවර්ධිත රටවල මෙන් නිදහස් නිවහල් නීති ක්‍රමයක් ලංකාවටද හදුන්වා දිය යුතුව තිබුණද පැවති රජය එය සිදු නො කරන ලද්දේ ජාතියේ අවාසනාවට ය. එහි ප්‍රතිඵලය වූයේ ජාත්‍යන්තර යුධ අපරාධ උගුලේ තව තවත් සිරවෙමින් නියමිත කාළයටත් පෙර ජනාධිපතිවරණය පවත්වා 2015 ජනවාරි මස 08 වැනි දින සිට ලංකාව යහපාලන – සන්හිදියා හයිබ්‍රිඩ් පාලන ක්‍රමයකට පරිවර්ථනය කිරීම ය.

2015 ජනවාරි මස 08 වැනි සිට ආරම්භ වූ යහපාලන – සන්හිදියා හයිබ්‍රිඩ් පාලන ක්‍රමයේ දින 100 වැඩ සටහන ජනතාව රවටන ප්‍රදර්ශන තරගයක් විය. එකී යහපාලන – සන්හිදියා හයිබ්‍රිඩ් පාලන ක්‍රමයේ දින 100 වැඩ සටහන ආරම්භ කරන ලද්දේ ද එවකටත් පැවති පාර්ලිමේන්තු සභාවේ අනුමැතියෙන් ධූරයට පත් අගවිනිසුරැ මොහාන් පීරිස් මහතා අනීතික ලෙස බලහත්කාරයෙන් ධූරයෙන් නෙරපා දැමීමෙනි.

විධායක ජනාධිපති බලතල කප්පාදු කළ යුතුයැයි පුරසාරම් දෙඩූ පුරවැසි බලය, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු යහපාලන – සන්හිදියා හයිබ්‍රිඩ් පාලන ක්‍රමයේ පෙරගමන්කරැවෝ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවන මුවාවෙන් තමන්ට උදව් කරන විනිසුරැවරැන්ට, නීතීඥවරැන්ට, පරිපාලන නිලධාරීන්ට, සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන්ට සිය විශ්‍රාම දිවිය යෙහෙන් වැජබිය හැකි තනතුරැ සහිත නාමිකව ස්වාධීන වන කොමිෂන් සභා පිහිටුවා ගත් නමුත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමක් සිදු නො කර පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ගත්තේ ය.

19 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය යහපාලන – සන්හිදියා හයිබ්‍රිඩ් පාලන ක්‍රමයේ දින 100 ප්‍රධාන නිර්මාණය වුවද වර්තමාන නීතිපති සහ වර්තමාන පොලිස්පති පත්කිරීමේදී 19 වැනි සංශෝධනයේ පවතින බරපතල දුර්වලකම් සමාජය හදුනා ගත්තේ ය. සුදුසුකම් සහිත ජ්‍යේෂ්ඨයන් නොව තමන්ට අවශ්‍ය කෙනා නීතිපති ලෙසත්, පොලිස්පති ලෙසත් පත් කර ගැනීමට යහපාලන – සන්හිදියා හයිබ්‍රිඩ් පාලකයන් ක්‍රියා කළේ ය.

යහපාලන – සන්හිදියා හයිබ්‍රිඩ් පාලකයන්ගේ මූලික පොරොන්දුවක් වූ ඡන්ද ක්‍රමයේ වෙනස සිදු නො කරන ලද්දේ මන්ද යන්න ජනතාව වටහා ගත්තේ 2015 අගෝස්තු පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තුව පරාජිතයන්ගෙන් පිරවීමට දිසා අධිකරණය යොදාගෙන සිදුකළ විශ්වා වර්ණපාල, ෆයිසර් මුස්තාෆා, සුසිල් ප්‍රෙම්ජයන්ත සහ සේතුංග මෙහෙයුමත් සමගය.

2015 අගෝස්තු පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඊනියා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝණය කරන අති විශාල ඇමති මණ්ඩලයක් පත්කර ගැනීමට ද යහපාලන, සන්හිදියා හයිබ්‍රිඩ් පාලකයන් කටයුතු කරන ලදී. යහපාලන – සන්හිදියා හයිබ්‍රිඩ් පාලකයන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජිතයන් වූ අය ජතික ලැයිස්තුව හරහා පසුපස දොරෙන් පාර්ලිමේන්තුවට ඇතුළු කළා පමණක් නොව එකී පරාජිතයන්ට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ වගකීමද පවරා දුන්නේ ය.

මෙකී නොකී සියලු නීති විරෝධී මෙන්ම සදාචාර විරෝධී කටයුතු සිදු කිරීමේදී වර්තමාන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අවරණය වූයේ යහපාලන, සන්හිදියා හයිබ්‍රිඩ් පාලන ක්‍රමයක් කියමිනි. මෙම යහපාලන – සන්හිදියා හයිබ්‍රිඩ් පාලන ක්‍රමය මර උගුලක් වුවත් ජනතාව අඩ නින්දේ තැබීමට මෛත්‍රී රනිල් ආණ්ඩුවට හැකි වූයේ යහපාලන – සන්හිදියා මන්තරය මැතිරීමෙනි. මෛත්‍රී රනිල් යහපාලන – සන්හිදියා හයිබ්‍රිඩ් පාලන ක්‍රමයේ ඉලක්කය යහපාලන – සන්හිදියා නාමයේ ආවරණය ලබමින් ෆෙඩරල් පාලන ක්‍රමයක් වෙත ලාංකිකයන් ගෙන යාම බව 2016 මැයි දිනය දකුණේ ගාල්ලේ දී පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කිරීමෙන් පැහැදිලි විය. එනම් මෛත්‍රී 2016 මැයි දිනය ගාල්ලේ පවත්වනු ලැබූයේ දකුණේ ඇති මහින්ද රාජපක්ෂ සතු ඡන්ද එකතු කර ගැනීමේ සැළසුම ක්‍රියාත්මක කිරීමය.

2015 වර්ෂයේ සිට පසුගියදා යාපනය විශ්ව විද්‍යාලයේ පැවති කළා උළෙලකදී උඩරට නැටුමක් සම්බන්ධව පැවති ගුටි කෙළිය දක්වාම ලාංකිකයෝ මෙම යහපාලන – සන්හිදියා හයිබ්‍රිඩ් පාලන ක්‍රමයේ මංමුලා වී මර නින්දක වැටී සිටියහ. විශ්ව විද්‍යාලය යනු සංවාද, විවේචන, සංස්කෘතිය, අධ්‍යාපනය ඉහළින්ම අගයන දැනුම් භූමිය. එවන් තත්ත්වයක් තුළ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් උඩරට නැටුම් පැවැත්වීමට එරෙහිව පහරදීම සහ නිදහස් අධ්‍යාපනයේ දරැවෝ සරසවි තුළ වූ තුවාල හේතුවෙන් රෝහල් ගත වීම යහපාලන, සන්හිදියා හයිබ්‍රිඩ් පාලන ක්‍රමයකට උචිත සිදුවීම් නො වේ.

ඒ සමගම පැන නගින පනයක් වන්නේ උතුරැ පළාත් සභාවේ පවතින ජාතිවාදය යහපාලන – සන්හිදියා හයිබ්‍රිඩ් පාලන ක්‍රමයේ නිමැවුමක්ද යන්නය. එනම් මධ්‍යම ආණ්ඩුවේ මුදලින් පෝෂණය වන උතුරැ පළාත් සභාවේ වෙබ් අඩවියෙන් සිංහල භාෂාව කප්පාදු කිරීම සැළකිය හැකිය. බලන්න http://www.np.gov.lk/

එමෙන්ම 2016 අප්‍රෙල් 22වැනි දින උතුරැ පළාත් සභාවේ සභාපති කන්දයියා සිවඥානම් විසින් සම්මත කරගත් දෙමළ ප්‍රාන්ත යෝජනාවද සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර නැත. උතුරැ පළාත් සභාවේ වෙබ් අඩවියෙන් සිංහල භාෂාව කප්පාදු කිරීමත්, උතුරැ පළාත් සභාවේ දෙමළ ප්‍රාන්ත යෝජනාව සිංහල භාෂාවෙන් ඉදිරිපත් නොකිරීම සම්බන්ධව නීතීඥවරයෙකු විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැමිණිළි කිරීමෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් උතුරැ පළාත් සභාවේ ලේකම් පතිනාදන් මහතාගෙන් ඒ සම්බන්ධව නීර්ක්ෂණද කැදවා ඇත. (රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් උතුරැ පළාත් සභාවේ ලේකම් පතිනාදන් මහතාගෙන් ඒ සම්බන්ධව නීර්ක්ෂණ කැදවා ඇති ලිපිය සදහා

මේ සියලු කරැණු විමසීමේදී සහ යාපනය විශ්ව විද්‍යාලයේ උඩරට නැටුම් ගුටි කෙළිය මගින් පෙනී යන්නේ යහපාලන – සන්හිදියා හයිබ්‍රිඩ් මර නින්දෙන් තමන් ඉක්මණින් අවදිවිය යුතු බවට දකුණ තේරැම් ගත යුතු බවයි. නො එසේ නම් යහපාලන – සන්හිදියා හයිබ්‍රිඩ් පාලනය සිංහල භාෂාවට, සිංහල සංස්කෘතියට, බුදුදහමට කරන හානිය නිවැරදි කළ හැකි නො වේ.

http://www.lankanewsweb.today/archives/11914

Top