Breaking
23 Feb 2025, Sun

රංගෙ සරණ යෑම… රංගෙ බණ්ඩාර විශ්වාස කිරීමට තරම් ඒකාබද්ධ විපක්‍ෂෙ දියාරු වෙලා ද?

ඒකාබද්ධ විපක්‍ෂය ජනතාව රැවටුවා හොඳට ම ඇති. ඔවුන් රනිල් විවේචනය කරමින් පමණක් කාලය ගත නොකර රනිල් ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ ඇයි? රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන බවට ඒකබද්ධ විපක්‍ෂය පාරම්බෑවේ බැඳුම්කරයට සම්බන්ධවයි. අද සක්‍රීය බැරකම් කළමනාකරණ පනතක් ගේන්න යනවා. ඒ රනිල් හා වෙනත් එ ජා පාක්‍ෂික ඇමතිවරුන් ආරක්‍ෂා කිරීමට බව පැහැදිලියි. ඒ පනත් කෙටුම්පත විවේචනය කළ යුතුයි. එහෙත් එය ප්‍රමාණවත් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය විවේචන කරන්නේ 2019 ජනාධිපතිවරණය හා 2020 පාර්ලිමේන්තු මැතිවරණය බලාගෙන බව පැහැදිලියි. අද කළ යුත්ත රනිල් ඉවත් කිරීමයි. අද රනිල් ඉවත් නොකළොත් ජනාධිපතිවරණ මැතිවරණ නොතියන්නත් ඉඩ තියෙනවා. මෛත්‍රිපාලට විරුද්ධ ව දෝෂාභියෝගයක් ගෙනැවිත් රනිල් ජනාධිපති පුටුවට පැන ගැනීමටත් ඉඩ තියෙනවා. එට්කා පමණක් නොව නව ව්‍යවස්ථාවත් මොන ක්‍රමයකට නමුත් සම්මත කර ගන්නත් ඉඩ තියෙනවා. රනිල් ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය කෙසේ යොදා ගනීවිද යන්න පිළිබඳ ව ඒකාබද්ධ විපක්‍ෂයට නිශ්චිත දැනුමක් තියෙනවා ද? රනිල් තමා 1972 බණ්ඩාරනායක මැතිණිය අනුගමනය කරනවා යැයි කියන්න ඉඩ තියෙනවා.

ඒකාබද්ධ විපක්‍ෂය රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන එක අත් හැරලා. අද ඔවුන් කියන්නේ රංගෙ බණ්ඩාරගේ විශ්වාසභංග යෝජනාවට සහාය දෙන බවයි. ඒකාබද්ධ විපක්‍ෂයට ලජ්ජාවක් තියෙනව නම් රංගෙ බණ්ඩාරගේ ඇඟේ එල්ලෙනවා ද? ඒකාබද්ධ විපක්‍ෂය රංගෙ බණ්ඩාරට සහාය දෙන බව කී විට ඡන්දය දෙන අය සතුටු වෙනවා. ඡන්දදායකයන් හිතන්නෙ නැහැ ඒකාබද්ධ විපක්‍ෂෙ රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන එක අත්හැරලා කියලා.

ඒකාබද්ධ විපක්‍ෂෙ පඬියකු කියන්න පුළුවන් ඔවුන් විශ්වාසභංගය අත් හැර නැති බවත් රංගෙ බණ්ඩාරගෙ විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දෙන බවත්. රංගෙ බණ්ඩාර විශ්වාස කිරීමට තරම් ඒකාබද්ධ විපක්‍ෂෙ දියාරු වෙලා ද? රංගෙ බණ්ඩාරට තියෙන්නෙ පෞද්ගලික ප්‍රශ්නයක්. රනිල්ට එය විසඳන ක්‍රම රාශියක් තියෙනවා. රනිල් අගමැති ධුරයෙ ඉන්නකම් ඔහු එ ජා ප නායකත්වයෙන් ඉවත් කරන්න බැහැ. රනිල්ට විරුද්ධ ව කැරළි කතා කරන අය අවසානයේ දී එක්කෝ සජිත් වගේ රනිල්ට යටවෙනවා. එහෙම නැත්නම් තුන්වැනි මෛත්‍රි (මෛත්‍රි ගුණරත්න- පළමුවැනි මෛත්‍රි රනිල්ගෙ බිරිය, දෙවැනි මෛත්‍රි ජනාධිපති) වගේ ජනමාධ්‍යයේ පිහිටෙන් ජීවත් වෙන්න ඕන. ජ වි පෙරමුණ ගැන කියන්න තියෙන්නෙ වෙනම දෙයක්. ජ වි පෙ රනිල් යටතේ ජනමාධ්‍ය පිහිටෙන් ජීවත් වෙනවා. අද බීබීසියේ සංදේශයත් ඔවුන්ට ප්‍රචාරය දෙනවා. ජ වි පෙ බැඳුම්කරය ගැන කතා කළාට ඩිව් ගුණසේකර වාර්තාවෙන් වැරදිකරු වූ රනිල් හඳුන්නෙත්ති කමිටුවෙන් නිදහස් කෙරුණා!

කීකරු ජයසූරිය කතානායක හැටියට මොනවා කළත් යෝජනාව න්‍යාය පුස්තකයට දැම්මත් නොදැම්මත් ඒකාබද්ධ විපක්‍ෂය රංගෙ බණ්ඩාර ගැන බලන් ඉන්නෙ නැතිව රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන්න ඕන. අද අවශ්‍ය රනිල් ඉවත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂෙ පෙරමුණ ගැනීම. ඔවුන් එය කරන්නෙ නැහැ. ඔවුන් මෛත්‍රිපාලට එ ජා පෙරමුණ නැතිව ආණ්ඩුවක් හදන්න උදවු වෙන්නෙ නැහැ. පළාත් සභා මැතිවරණ, 2019 හා 2020 ගැන කියමින් ඒ මහ හරිනවා. ඔවුන් මෛත්‍රිපාලගෙ කණ්ඩායමට ආණ්ඩුවෙන් එළියට එන්න කියා අභියෝග කරනවා. එහෙම කළොත් ආණ්ඩුව එ ජා පෙරමුණේ පමණක් ආණ්ඩුවක් වෙලා රනිල් තවත් බලවත් වෙනවා. ඒකාබද්ධ විපක්‍ෂෙ ජනතාව රැවටීමට මොනවා කිව්වත් කරන්නෙ රනිල් ශක්තිමත් කරන එක.

ඩලස් මාධ්‍ය ප්‍රකාශ කරනවා විවිධ දේ ගැන. ඔහු පසුගිය දා මුහුණු පොතේ උදාහරණ අරගෙන රනිල්ගෙ පරණකම ගැන ක්‍රිකට් නායකයන් ආදීන් ගැන කියමින් කතා කළා. ඔහු ඒ උදාහරණ වෙනත් අයකුගේ යැයි කීවේ නැහැ. සමහරවිට ඒ උදාහරණ මුහුණු පොතේ ලිව්වෙ ඔහු වෙන්න ඇති. ඔහු තවත් කතාවක් කිව්වා පළාත් පාලන මැතිවරණයේ මන්ත්‍රී සංඛ්‍යාව ගණනය කීිරීම ගැන. මන්ත්‍රී සංඛ්‍යාව ගණනය කිරීම පිළිබඳ වැරුද්දක් තියෙනවා. ඒ පක්‍ෂයට වෙන් කරන මන්ත්‍රී ප්‍රතිශතය 40 වෙනුවට 100 ලෙස ගැනීමෙන්. එය පළාත් ආයතන මැතීිවරණ ආඥාපනතේ අඩංගු ආකාරය. ඒ ක්‍රමය නිසා සභාවකට වෙන් කළ මන්ත්‍රී සංඛ්‍යාවට වඩා මන්ත්‍රී සංඛ්‍යාවක් තේරෙන්න ඉඩ තියෙනවා. ඒ අතිරික්තය ඉංගිරිසියෙන් ඕවර්හන්ග් කියා හඳුන්වනවා. එහෙත් එයට මැතිවරණ කොමිසම වරද කරුවා නො වෙයි. ආඥාපනත සංශෝධනය කෙටුම්පත් කෙළේ කවුදැයි දන්නේ නැහැ. එය සුපුරුදු පරිදි පිටරට ව්‍යවස්ථාවක් අනුකරණය කිරීමක් ද?

පහුගිය ජනාධිපතිවරණයේ දී රාජපක්‍ෂ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා සියලු සිංහල විරෝධීන් එකතු වූවා. බටහිර රටවල් හා ඉන්දියාව ඒ පසුපස සිටියා. චම්පක හා යුග පෙරළිකාරයන් ද සිංහල විරෝධීන් වුණා. විදේශිකයන් රාජපක්‍ෂ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා අවශ්‍ය සියල්ල කළා. සිවල් සමාජ පමණක් නොව සෝභිත හාමුදුරුවන් ද යොදා ගත්තා. එදා රාජපක්‍ෂ විරෝධීන් සිංහල විරෝධීන් සියල්ල එකතු වුණත් අද රනිල් ඉවත් කිරීමට එසේ එකතු වන්නේ නැහැ. එහි ප්‍රධාන තැන ගත යුතු ඒකාබද්ධ විපක්‍ෂය තම කාර්යභාරය ඉටූ කරන්නේ නැහැ. ඔවුන් මැතිවරණ ගැන කියමින් තම වගකීම පැහැර හරිනවා.

ඒකාබද්ධ විපක්‍ෂයට කිට්ටු වුණු ඊනියා බුද්ධිමතකු වූ රොහාන් ගුණරත්න ඊයේ පෙරේදා කියා තිබුණා රටේ ප්‍රශ්නවලට මුල පනස්හයේ ආණ්ඩුව සිංහල රාජ්‍ය භාෂාව කිරීම කියා. ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධාන දුර්වලකම රොහාන්, දයාන්, චන්ද්‍රප්‍රේම වැනි ස්මාට් හා වෙනත් ජාතිකවාදීන් ළඟට ගැනීම. ඔවුන් බොහොමයක් හා ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න ජාතිකත්වයක් නැති පිරිස් රනිල් ඉවත් කරන්න බලවේගයක් නිර්මාණය කරන්නේ නැහැ. මට නාමල් රාජපක්‍ෂ පමණක් නොව බැසිල් රාජපක්‍ෂත් ඒ ගොඩට දැමීමට සිදුවෙනවා. ගෝඨාභයගේත් ප්‍රශ්නයක් තියෙනවා. ඔහු වටාත් කොළපාට සමාජය ලියූ චන්ද්‍රප්‍රේමත් දයාන් ජයතිලකත් ඉන්නවා. මේ අයගේ අතීතය ගෝඨාභය නොදනිතත් අප දන්නවා. ඔවුන් තම අතීතය ප්‍රතික්‍ෂෙප කර නැහැ. ගෝඨාභය මේ සිංහල විරෝධීන් අයින් කරන්නේ නම් ඔහු ගැන අද කල්පනා කරන්න පුළුවන්. අපට 2019 වන තුරු බලන් ඉන්න කීම රනිල් තහවුරු කිරීමක් පමණයි.

________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-28

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.