Breaking
23 Feb 2025, Sun

රටේ ආරක්‍ෂාව සඳහා පමණක් නොව මෛත්‍රිපාලගේ ආරක්‍ෂාව සඳහාත් රනිල් ඉවත් කළ යුතුයි

අද යමපාලන ආණ්ඩුව බලයට පත්වීමේ තුන්වැනි සංවත්සරය බව බොහෝ දෙනා දන්නවා. අද බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 119 වැනි ජන්ම සංවත්සරය බවත් 1965 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවෙන් දඹරාවේ රතනසාර හිමි වෙඩි තබා අපවත් කිරීමේ පනස්වැනි සංවත්සරය බවත් කී දෙනකුට මතක ද? පඬි පෝතකයන් ඒ ගැන නොදැන සිටීවි. ඔවුන් දන්නේ යමපාලන කතා පමණයි.

ඇතැම් කරුණක් තේරෙන්නේ තමන්ට පමණක් දැයි අසන පඬි පෝතකයන්ට මහින්දගෙන් ද ඒ ප්‍රශ්නය ඇසීමට සිදු වීම තරමක සරදමක්. මේ පඬි පෝතකයන්ට අනුව මෛත්‍රිපාල හා රනිල් අතර විරසයක් නැහැ. ඔවුන්ට අනුව ඒ දෙදෙනා කරන්නේ රඟපෑමක්. ඔවුන් අසන්නේ ඒ බව තේරෙන්නේ තමන්ට පමණක් ද කියා. එහෙත් දැන් මහින්ද ම පවසන්නේ මෛත්‍රිපාල හා රනිල් අතර විරසකයක් සීතල යුද්ධයක් ඇති බවයි. පඬි පෝතකයන්ට තේරෙන දේ මහින්දට නොතේරෙන්නේ ඇයි? මහින්ද අපෙන් නම් කිසිමදාක කිසිම උපදේශයක් ගෙන නැහැ. 2009ට පෙර අප කී දේ සමහරක් ඔහු අතින් සිදු වුණා. ඒ අපේ උපදෙස් පිළිගෙන නො වෙයි. ඔහු කිසි දිනෙක සිංහල වෙදකමට හා සිංහල දැනුමට නිසි තැන ලබා දුන්නේ නැහැ.

අප රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන්න කියන්නේ අද ඊයේ නො වෙයි. අවුරුදු තුනකට ආසන්න කාලයක සිට අප ඒ බව කියනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලැබී ඇති බව අප අදාළ ව්‍යවස්ථාවල (වගන්තිවල) අංක සහිත ව ලිපි රාශියක ම පෙන්වා දී තිබෙනවා. මෛත්‍රිපාල 2015 ජනවාරි නවවැනි දා දි මු ජයරත්න සිටිය දී ම රනිල් අගමැති පදවියට පත් කෙළේ එලෙස නීතියට එකඟ ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උපයෝගී කරගනිමින්. මේ පිළිබඳ නැවත නැවත ලිවීමට අවශ්‍ය නැහැ. මේ වගන්ති මොනවා දැයි මා දේශපාලනය ගැන තදබල උනන්දුවක් දක්වන එක්තරා ජනමාධ්‍ය ප්‍රධානියකුට ද පැවසුවා. කෙසේ වෙතත් ජනාධිපතිට අගමැති ඉවත් කිරීමට බලතල ඇති බව දැන් ඇතැමුන්ට වැටහෙනවා. එහෙත් පඬි පෝතකයන් අසන්නේ නීතියෙන් එවැනි බලයක් ජනාධිපතිට තිබේ ද කියායි. එවැනි බලයක් නැති බව තමන්ට පමණක් ද තේරෙන්නේ කියා පඬි පෝතකයන් අහනවා. ඔවුන් සමහරවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනෙක් අයට වඩා හොඳින් කියවා ඇති..

අප රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන ලෙස කියන්නේ පළාත් පාලන ආයතන මැතිවරණයක් දිහා බලාගෙන නො වෙයි. මේ පළාත් පාලන මැතිවරණය ජාතික වශයෙන් වැදගත් නොවන බව මා කිහිප වතාවක් ම පවසා ඇති. මෙය ජනමත විචාරණයක් ලෙස කිසිසේත් නොසැලකිය යුතුයි. රනිල් ඉවත් කිරීම යනු තිබෙන ඊනියා ජාතික ආණ්ඩුව වෙනස් කිරීමක්. රනිල් ඉවත් කර වෙනත් අගමැතිවරයකු යටතේ වෙනත් ඇමති මණ්ඩලයක් සහිත ව වෙනත් ආණ්ඩුවක් පිහිටුවීමයි එහි අරමුණ. ඒ පිහිටුවන ආණ්ඩුවේ මේ ඇමති මණ්ඩලයේ සමහර ඇමතිවරු ඉන්න පුළුවන්. වෙනත් ආණ්ඩුවක් පිහිටුවීමට 2020 වන තුරු බලන් ඉන්න ඕන නැහැ.

රනිල් ඉවත් කිරීම සඳහා යම් පක්‍ෂ අතර යම් සංධානයක් ඇති විය යුතුයි. එය මැතිවරණ සංධානයක් නොවෙයි. එය පළාත් පාලන මැතිවරණය සඳහා බලපාන සංධානයක් නො වෙයි. පළාත් පාලන මැතිවරණයට කලින් මේ අදහස ඉදිරිපත් නොකළේ ඇයි දැයි අසන පඬියන්ට හා පඬි පෝතකයන්ට කිව යුත්තේ රනිල් ඉවත් කිරීමේ අදහස පළාත් පාලන මැතිවරණයට බොහෝ කලකට පෙර ඉදිරිපත් කළ එකක් බවත් එය පළාත් පාලන මැතිවරණයට අදාළ නැති බවත්. අද ඊනියා ජාතික ආණ්ඩුවේ ම විවිධ පක්‍ෂ පළාත් පාලන මැතිවරණයේ දී තනියම, විවිධ සංධානවලින් තරග කරනවා. ඒ බව බොහෝ පඬි පෝතකයන්ට අමතක වී අපෙන් අහනවා පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාරගෙන අවසාන වී ඇති බැවින් දැන් සංධාන හදන්න පුළුවන් ද කියා. මා නැවතත් අවධාරණය කරනවා අප පළාත් පාලන මැතිවරණය සඳහා නොව රනිල් ඉවත් කර වෙනත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සංධානයක් ඇති කළ යුතු බව. පළාත් පාලන මැතිවරණය හා ආණ්ඩුවක් පිහිටුවීම යනු එකක් නොව දෙකක්. අද මෛත්‍රිපාල හා රනිල් පළාත් පාලන මැතිවරණයේ තරග කරන්නෙ වන වෙන ම. පඬි පෝතකයන් නම් අසාවි ඒ රඟපෑමක් බව තේරෙන්නේ තමන්ට පමණක් ද කියා. ඒත් මහින්දටත් ඒ බව තේරෙන්නෙ නැතිව සීතල යුද්ධයක් ගැන කියනවා.

පොහොට්ටුව හා මෛත්‍රි කණ්ඩායම අතර සාකච්ඡා තිබුණෙ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මිස රනිල් ඉවත් කිරීම සම්බන්ධයෙන් නො වෙයි. එහි දී පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස මෛත්‍රිපාල කණ්ඩායමට යෝජනා කළ එක වැරදියි. එයින් වන්නේ ආණ්ඩුවේ රනිල් හා එ ජා ප තවත් බලවත් වීම පමණයි. ආණ්ඩුවෙන් ඉවත්විය යුතු යැයි කීවේ මෛත්‍රිපාලටත් එක්ක ද? මේ කතාවත් මා කලින් කතා කර තියෙනවා. පොහොට්ටුවට රනිල් ඉවත් කිරීම ගැන හැඟීමක් ඒ අවස්ථාවේ තිබුණේ නැහැ. අද නම් එහි ඇතැමුනට ඒ අදහස ඇවිල්ලා. එයට බැඳුම්කර කොමිසමේ වාර්තාවත් බලපාලා. වියුක්ත ව හිතන්න බැරි අයට බැඳුම්කර වාර්තාවෙන් සංයුක්ත ව පැහැදිලි වෙනවා රනිල් ඉවත් කළ යුතු බව.

අද එ ජා ප මැති ඇමතිවරුන් කතා කරන්නේ තනි එ ජා ප ආණ්ඩුවක් හදන්න. එය එ ජා පෙරමුණේ ජ වි පෙරමුණේ හා දෙමළ ජාතික සංධානයේ ආණ්ඩුවක් වේවි. ඒ ආණ්ඩුව පත් කරන්නේ කවු ද? ආණ්ඩු පත් කළ හැක්කේ ජනාධිපති ලෙස මෛත්‍රිපාලට පමණයි. මෛත්‍රිපාල තනි එ ජා ප ආණ්ඩුවක් පත් කිරීමට පියවර ගනියි ද? නොගත්තොත් කුමක් වේවි ද? රනිල් ඉවත් නොකළොත් රනිල් හා එ ජා ප මෛත්‍රිපාල ඉවත් කරාවි ද? එසේ ඉවත් කළහොත් රනිල් තාවකාලික ව වැඩ බලන ජනාධිපති වීමත් ඉන්පසු 2020 ජනවාරි 8 වැනි දා වන තෙක් ජනාධිපති වීමත් වැළැක්විය හැක්කේ කාට ද? අද වන විට රටේ ආරක්‍ෂාව සඳහා පමණක් නොව මෛත්‍රිපාලගේ ආරක්‍ෂාව සඳහාත් රනිල් ඉවත් කළ යුතුයි. මෙරට අන් කවරදාකටවත් වඩා අද බටහිර රටවල් හා ඉන්දියාව ක්‍රියාත්මක වනවා.

මෙහි සඳහන් කරන දෙයින් මා තව තවත් සමාජයේ ප්‍රතික්‍ෂෙප වන බව මා දන්නවා. මාක්ස්වාදියකු ව සිටින කාලයේ හා ඊනියා විද්‍යාඥයකු ව සිටින කාලයේ මට සමාජයේ යම් පිළිගැනීමක් තිබුණි නම් එය ජාතිකවාදියකු වීමෙන් පසු අඩු වුණා. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය ඉදිරිපත් කර අපේ සංස්කෘතියේ ප්‍රවාද ගොඩ නැගිය යුතු බව කී විට පිළිගැනීම තවත් අඩු වුණා. බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව කියා ආධ්‍යාත්මික ව අද්‍යශ්‍යමාන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගැනීම ගැන කී විට පිළිගැනීම ශූන්‍යයට ආසන්න වුණා. දැන් මෛත්‍රිපාල සමග එකතු වී රනිල් ඉවත් කළ යුතු යැයි කියන විට පිළිගැනීම ශූන්‍ය වෙලා. එය මට ප්‍රශ්නයක් නො වෙයි. සෑම අර්ථයකින් ම මා භවයෙන් නික්ම යන්නේ තනිව ම.

______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-08

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.