Breaking
24 Feb 2025, Mon

රටේ ජනතාව අන්දවා රණවිරුවන්ගේ වැටුපට කෙලිය හැටි..

ලැබෙන සොච්චම් විශ්‍රාම වැටුපෙන් ජීවත් වීමට නොහැකිව දුවා දරුවන් සමඟ ජීවිතයේ අවසාන භාගය ඉතාම දුක්‌බරව ගෙවන ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන්ට තමන් ලබන මාසික විශ්‍රාම වැටුප වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමටවත් ප්‍රමාණවත් නොවන්නකි.

එවන් තත්ත්වයක්‌ හමුවේපපපසුගිය රජය සමයේ රණවිරුවන්ට ලැබුණු සිත්ගන්නාසුලු පොරොන්දුවක්‌ වූයේ දැනට සන්නද්ධ හමුදාවල විශ්‍රාමිකයන්ට ගෙවනු ලබන 70% විශ්‍රාම වැටුප් ප්‍රතිශතය 85% දක්‌වා ඉහළ නංවමින් රට ජාතිය බේරාදුන් රණවිරුවන්ට රජයේ ප්‍රණාමය පුදන්නේ යෑයි යන්නය.

එහිදී රණවිරුවන් සියයට 85 විශ්‍රම වැටුප පිළිබඳ බලාපොරොත්තු තබා සිටියද අවසානයේ රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යංශය වෙත නියෝග කෙරුණේ ත්‍රස්‌තවාදී යුද්ධය අවසන් කළ 2009 මැයි 19 දින වන විට ක්‍රියාන්විතයේ වසර පහක්‌ නිරත වී සිටි සන්නද්ධ හමුදාවන්හි සෙසු නිලයන්ට හා නිලධාරීන්ට පමණක්‌ මෙම නව විශ්‍රාම වැටුප ගෙවීමට කටයුතු කරන ලෙසය. මුදල් අමාත්‍යංශය මගින් කරනු ලැබූ එම නියෝගය දැඩි අසාධාරණ වූ එකක්‌ම විය.

යුද්ධය අවසන් කළ දිනය වන විට ක්‍රියාන්විතයේදී තුවාල ලැබූ හා ආබාධිත තත්ත්වයට පත් වූ අයවලුන්ටද මියගිය සියලුම නිලයන්ටද වසර පහේ නීතිය බලනොපාන බවට එම චක්‍රලේඛයේ සඳහන් කර තිබීම අපි අගේ කරන්නෙමු. එහෙත් නන්දිකඩාල් අවසාන සටනේදී තම අවියෙන් කොටි නායකයන් මරු තුරුලට යවා උද්දාමයෙන් සිටින රණවිරුවකු ක්‍රියාන්විතයේ රැඳී සිටි කාලය වසර පහකට අඩු නම් අතක්‌, පයක්‌ නොකැඩී විශ්‍රාම ගිය එම රණවිරුවාටද මෙම නව විශ්‍රාම වැටුප අහිමි වීම දෛවයේ සරදමක්‌ නොවන්නේද?

85% නව විශ්‍රාම වැටුප් ප්‍රශ්නය අද ඊයේ ඇති වූවක්‌ නොවේ. මේ සඳහා කැබිනට්‌ අනුමැතිය ලැබ කලක්‌ ගතවුවද එය හමස්‌පෙට්‌ටියට ගියේ මෙය කිනම් වසරක සිට ගෙවිය යුතුද යන්න හා හිඟ වැටුප් ගෙවීමද මහා භාණ්‌ඩාගාරයට හිසරදයක්‌ වූ නිසාම බව අප දන්නා සත්‍යයකි. හමස්‌පෙට්‌ටියට ගිය මෙම නව විශ්‍රාම වැටුප් කතන්දරය යළි කරළියට ආවේ 2015 ජනාධිපතිවරණය සහ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමඟය.

එහිදී තම සියයට 85 විශ්‍රාම වැටුප කෙසේ හෝ දිනා ගැනීමට සිතූ රණවිරුවන් සහ දරු පවුල් 2015 පැවති මැතිවරණ දෙකින්ම හිටපු ජනාධිපති පරදවා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කොට ඔහුගේ රජයකින් හෝ නව විශ්‍රාම වැටුප ලබා ගැනීමේ පරම අධිෂ්ඨානයෙන් කටයුතු කළේය. එහෙත් තවම ඒ කිසිවකුටත් ලැබුණු දෙයක්‌ නම් නැත.

ජනපතිතුමනි, සැබවින්ම මුල් චක්‍රලේඛයේ සඳහන් පරිදි වසර පහක්‌ එක දිගට හෝ කඩින් කඩ ක්‍රියාන්විතයේ නිරත වූ සෙසු නිලයින්ද නිලධාරීන් ද සිටී නම් ඒ අතළොස්‌සකි. කිසියම් වෘත්තීමය  රාජකාරියක යෙදී සිටින අයවලුන්, මූලස්‌ථානයෙහි රඳවාගෙන ක්‍ෂේත්‍ර රාජකාරි ඉටුකරන භට පිරිස්‌ ක්‍රියාන්විතය සඳහා යොදවනුයේ ඒ ඒ හමුදා සේනාංකවල අණදෙන නිලධාරීන්ය.

rana2මේ අනුව හමුදා මූලස්‌ථාන ඇතුළු මාණ්‌ඩලික ශාඛාවල වෘත්තීමය රාජකාරියක්‌ ඉටුකරන අයවලුන් ක්‍රියාන්විත සඳහා සහභාගි කරවනුයේ නොවැළැක්‌විය හැකි හේතූන් නිසා පමණි.

ලිපිකරු දුරකථන ක්‍රියාකරු, ගබඩාකරු, වැටුප් ලිපිකරු ආදී පාලනමය රාජකාරීන් ඉටුකරන අය ක්‍රියාන්විතයට යොදාගත් විට වැටුප් ප්‍රශ්න, විශ්‍රාමික පඩිනඩි රාජකාරි වාර්තා ඇතුළු පරිපාලන කටයුතු ඉටුකරනුයේ කවුදැයි මහා භාණ්‌ඩාගාරයේ ඉහළ පුටුවල වැජඹෙන නිලධාරීන්ට තේරුම් නොයැම ජාතියේම අවාසනාවකි,

රටේ සංවර්ධන කටයුතු අඩාල නොවුණ අන්දමින්ම යුද්ධය නිසා කිසිදු සන්නද්ධ හමුදා සාමාජිකයකුගේ පරිපාලන කටයුතු ද වැටුප් ද විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් ද ප්‍රමාද වූයේ යෑයි කිසිවකුටත් චෝදනා කළ නොහැක. සියල්ල නිසි පරිදි සිදුවිය.

යුද්ධය දිනීමට හෝ ක්‍රියාන්විතයේ උපරිම ඵල නෙළාගැනීමට සටන් බිමේ සිටින රණවිරුවන්ට අවි ආයුධ පතරොම් බෝම්බ ආදිය ද නිල ඇඳුම් ද වියළි සලාක ඇතුළු කෑම බීම ආදිය ද ක්‍රියාන්විත පෙදෙස්‌ වෙත කොළඹ වරායේ සිට යවන භට පිරිස්‌ ඉටුකරනුයේ ද ක්‍රියාන්විතයේම කොටසකි.

නොනිදා පහන් කරමින් අගනුවර වරායේ රාජකාරීන් නිසියාකාරව මොවුන් ඉටුනොකරන්නේ නම් අවි ආයුධ නොමැතිව යුද්ධයක්‌ ජයගත හැකිද? කෑම බීම ගුවනින් හෝ මුහුදෙන් නොයවන්නේ නම් බඩගින්නේ යුද්ධ කළ හැකිද? මෙම රණවිරුවන් ක්‍රියාන්විත රාජකාරිය සඳහා උතුරු නැඟෙනහිරට යෑවූ පසු මෙම කාර්යයන් ඉටුකරනුයේ උඩ සිටිනා දෙවියන්ද?

මෙවන් පිරිස්‌ අගනුවර රැඳී සිටීම හේතුවෙන් නව විශ්‍රාම වැටුප මොවුනට අහිමි වන්නේ නම් මෙය මොනතරම් අසාධාරණද? එම නිසා මෙය ඔබතුමාගේ රජයක්‌ යටතේ ලැබෙන බවට අපට දැඩි විශ්වාසයක්‌ ඇත.

මෙම නව විශ්‍රාම වැටුප ඉල්ලා අද අපට උද්ඝෝෂණ කළ නොහැක. ඒ විශ්‍රාමික අප රජයට මොනම තර්ජනයක්‌ හෝ බලපෑමක්‌ කළ නොහැකි අහිංසකයන් පිරිසක්‌ නිසාය. පිකටින් කිරීමට හෝ බෝඩ් ලෑලි එල්ලාගෙන අව්වට වේලෙමින් ද වැස්‌සට තෙමෙමින් ද කොටුව දුම්රියපළ ඉදිරිපිට හෝ ලිප්ටන් වටරවුමේ දී කෑ මොර දෙන්නට දැන් අපට වාරු නැත. රණවිරු දුක්‌ගැනවිලි හා ප්‍රශ්න කෙරෙහි තමා නිරන්තරයෙන්ම සොයා බලා විසඳුම් දෙන බවට ජනාධිපතිතුමා කළ ප්‍රකාශයන් අප රූපවාහිනියෙන්ද ජනමාධ්‍යවලින්ද අප්‍රමාණව දැක ඇත. එම නිසාම අපගේ මෙම ඉල්ලීම කෙරෙහි දැඩි අවධානය යොමු කොට සියලුම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා රණවිරුවන් සඳහා මෙම නව වැටුප ලබාදීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

විශ්‍රාමික රණවිරුවෙක්‌

මේ ඉහතින් සඳහන් වන්නේ විශ්‍රාමික රණවිරුවෙක්‌ අපට ලියා එවූ කතාවකි. ඒ ඔහු මුහුණ දී සිටින ගැටලුවය. එහෙත් අද වන විට යුද හමුදාවේ වැටුප් සහ විශ්‍රාම වැටුප් විෂමතා යනු ලිහාගත නොහැකි අන්දමේ පැටලවිල්ලක්‌ වී තිබෙන බව බොහෝ රණවිරුවෝ කියන්නාහ.

එකම දිනයේ එකම සම්මුඛ පරීක්‍ෂණයට සහභාගි වී යුද හමුදාවට බැඳී රට වෙනුවෙන් සටන් කොට එකම දිනක විශ්‍රාම ගිය රණවිරුවන් දෙදෙනකු ගතහොත් දෙදෙනාට ලැබෙමින් තිබෙන්නේ පරස්‌පර වූ අගයන් ගන්නා විශ්‍රාම වැටුප්ය.

මෙයට විසඳුමක්‌ දී රට වෙනුවෙන් සටන් කළ රණවිරුවන්ගේ සිත් සනසන්නට යුද හමුදාවට හැකි විය යුතුය. අප එසේ කියන්නේ “මට හමුදාවෙන් අසාධාරණයක්‌ කළා..” යනුවෙන් සිතමින් යම් රණවිරුවකු සිය විශ්‍රාම කාලය ගත කරන්නේ නම් එය අවැඩක්‌ම වන නිසාය.

ඇත්තෙන්ම යුද හමුදාවේ මේ වැටුප්, විශ්‍රාම වැටුප් අවුල ලිහන්නට යුද හමුදා වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට නොහැකිව ඇත්තේ කුමක්‌ නිසාද? ඔවුනට එය කළ නොහැකිද? එසේ නොමැති නම් කිරීමට වුවමනාවක්‌ නැතිද?

මෙම ගැටලුවලට විසඳුම් නොදී පවතින ක්‍රමයෙන්ම තව දුරටත් ඉදිරියට ගියහොත් අනාගතයේ තව තවත් රණවිරු ගැටලු නිර්මාණය වීමට එය ප්‍රබල හේතු-වක්‌ම වනු ඇත.

නුදුරු දිනකදීම මේ ගැටලුව පිළිබඳ සවිස්‌තරාත්මකව කතා කිරීමට අපි සූදානමින් සිටින්නෙමු. ඒ රණවිරුවා ලොකු තැන්වලට කිව්වාට ගණන් නොගන්නා මෙවන් දේ රටටම ඇහෙන්නට අපවත් කිවයුතු නිසාය. බොහෝ විට එසේ අප මාධ්‍යයේ වගකීම ඉටු කරද්දී නම් “ඒක එහෙම නෙමේ මෙහෙමයි” කියමින් අපව නිවැරදි කරන්නට නම් බොහෝ අය ඉදිරිපත් වනු ඇත.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.