Breaking
23 Feb 2025, Sun

රණවිරුවන්ට මාරාන්තික ප්‍රහාරයක්‌ එල්ල වෙලා

වසර 30 ක යුද්ධය අවසන් කිරීමට කටයුතු කළ රණවිරුවන් සහ යුද්ධයට දේශපාලන නායකත්වය ලබාදුන් මහින්ද රාජපක්‌ෂ මහතා සහ ගෝඨාභය රාජපක්‌ෂ මහතා ආරක්‌ෂා කිරීම දේශපාලනඥයන්ගේ කටයුත්තක්‌ වුවත්, එම කටයුත්ත සිදුනොවන නිසා “රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය” ආරම්භ කළ බව එම සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

උන්වහන්සේ එම අදහස්‌ ප්‍රකාශ කර සිටියේ පසුගිය 21 වැනිදා, කොළඹ 01 ලෝටස්‌ පාරේ අංක 51/2 ස්‌ථානයේ පිහිටි සම්බුද්ධාලෝක විහාරයේදී ආරම්භ කරන ලද “රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය” පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදීය.

මෙම සංවිධානයේ සභාපති ලෙස බෙංගමුවේ නාලක හිමියන් කටයුතු කරන අතර ලේකම් ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාය. විතාරන්දෙණියේ මේධානන්ද හිමියන් එම සංවිධානයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර සංවිධායක සහ නියෝජ්‍ය සංවිධායක ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සහ නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතාය. “ඊට අමතරව මෙම සංවිධානයේ කාරක සභිකයන් ලෙස මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමි, කථිකාචාර්ය මාදුරුඔය ධම්මිස්‌සර හිමි, ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි, නීතිඥ මනෝහාර ද සිල්වා මහතා සහ වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතා කටයුතු කරති.

මෙම සංවිධානය ආරම්භ කළේ රණවිරුවන්ට කෙළෙහිගුණ සැලකීමට සහ ඔවුන්ගේ අබිමානය රැකදීම සඳහා. අද එය යුගයේ අත්‍යවශ්‍ය දෙයක්‌ බවට පත්වී තිබෙනවා. ඒ වගේම අපි දෙස්‌ විදෙස්‌වලින් එල්ල වන බලපෑම් මැඩලීම සඳහා කටයුතු කරනවා වගේම ඔවුන්ගේ දරු පවුල් ආරක්‌ෂා කිරීමටත් කටයුතු කරනවා.

මේ රටේ සිටින ප්‍රධාන නායකයන් ජාතික ආරක්‌ෂාව යනු කුමක්‌ද කියන එක දන්නේ නෑ. එම කාරණයන් මෙම සංවිධානය පිහිටුවීමට හේතු වූවා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යාපනයේදී ප්‍රකාශ කළා කොළඹ සිටින අන්තවාදී පිරිස්‌ කාමරවල සිට ගෙන ජාතික ආරක්‌ෂාව පිළිබඳව කතා කරන බව. යාපනයට ඇවිත් බලන්න කියලත් තිබෙනවා. ජාතික ආරක්‌ෂාව කියන්නේ ඒකද?

අපි ජාතිවාදීන් නොවෙයි. අපි දේශප්‍රේමීන්. නමුත් මේ ආණ්‌ඩුවේ ප්‍රධානීන්ට එය රුස්‌සන්නේ නෑ. ඒක නිසා තමයි තක්‌කඩියාගේ අවසාන තිප්පල දේශප්‍රේමය කියන කතාව කිව්වේ. අද ඇතිවී තිබෙන තත්ත්වය තුළ දේශප්‍රේමීන් නැගී සිටීම වළක්‌වන්න බෑ. අපි මේ රටේ උපන් සිංහල, දෙමළ, මුස්‌ලිම් යන සියලු දේශප්‍රේමීන් නැගිට්‌ටවනවා.

නමුත් බලයට කෑදර අය ඒකට කැමති නෑ. නමුත් අපි රටට අවශ්‍ය දේ කරනවා. කවුරුවත් බලයට ගේන්න හෝ බලයෙන් පහ කරන්න අපට අවශ්‍ය නෑ. නමුත් රටට, ජාතියට ද්‍රෝහී වනවා නම් අපි නිකන් ඉන්නේ නෑ.

නව සංවිධානයේ කාර්ය භාරය පිළිබඳව ලේකම් ජයන්ත සමරවීර මහතා

මෙම සංවිධානය පටන් ගන්නේ රණවිරුවන් ලබාදුන් ජයග්‍රහණයන්ට සහ ඔවුන්ගේ භාවිතාවන්ට මාරාන්තික ප්‍රහාරයක්‌ එල්ල වී තිබෙන නිසා.

ජිනීවා යෝජනාවේ 8 වැනි වගන්තියේ අන්තර් කාලීන යුක්‌තිය ඉටුකිරීම ගැන සඳහන් වෙනවා. ඒ තුළින් රණවිරුවන් සේවයෙන් පහ කිරීම, විශ්‍රාම ගැන්වීම ඇතුළු ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම සාක්‌ෂි සෙවීමේ කොමිසම හරහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රණවිරුවන්ට එරෙහිව චෝදනා ගොනු කරමින් සිටිනවා. ඒ හරහා ඔවුන්ව අපරාධ අධිකරණයක්‌ හමුවට පැමිණවීමට කටයුතු කරමින් සිටිනවා.

මේ වන විට ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ වධකාගාරයක්‌ තිබෙන බව පවසා, එය එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන් විසින් පරීක්‌ෂා කර තිබෙනවා. ඒ වගේම ගිරිතලේ හමුදා කඳවුරේ ප්‍රධාන අණදෙන නිලධාරියා වූ ශම්මි කරුණාරත්න සහ නියෝජ්‍ය අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු පිරිසක්‌ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ ආකාරයට ත්‍රස්‌තවාදය නැති කිරීම සඳහා කටයුතු කළ රණවිරුවන් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනිද්දී, එසේ ජීවිත සහ දේපළ විනාශ කරමින් කටයුතු කළ ත්‍රස්‌තවාදීන් නිදහස්‌ කරමින් සිටිනවා.

මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා වන හුසෙන්ගේ වාර්තාවේ හමුදාව ප්‍රතිසංවිධානය කළ යුතු බව සඳහන් වනවා. ඒ සඳහා මේ වනවිටත් එංගලන්තයේ ඩේවිඩ් කැමරන් පවුම් මිලියන 6 ක්‌ වෙන්කර තිබෙනවා. කොටින්ට එරෙහි මෙහෙයුම් නතර කිරීමට බලකළ අය දැන් හමුදාව ප්‍රතිසංවිධානය කරන්න මුදල් යොදනවා.

වීරයන් බිහිවන්නේ වීරයන් රකින රටක. එහෙම නොවනවා නම් වීරයන් බිහි වන්නේ නෑ. අද රට මේ තත්ත්වයේ තිබෙන්නේ රණවිරුවන් නිසා. එම ජයග්‍රහණයන් රැකීම සහ ඔවුන් රැකීම අපගේ යුතුකමයි. නමුත් අද තිබෙන්නේ එම ජයග්‍රහණ සහ ඔවුන් පාවාදෙන නීච දීන භාවිතාවක්‌. 2016 වසර තුළදී රණවිරුවන්ට අත තබන්න ආවොත්, මේ ආණ්‌ඩුවේ අවසානය එතැනින් ආරම්භ වන බව පැහැදිලියි. අප රටම ඒ සඳහා පෙළ ගස්‌වනවා.

නියෝජ්‍ය සංවිධායක නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න –

2008 ජුලි 28 වැනි දා එවකට විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායකයා වූ ජෝසප් මයිකල් පෙරේරා බී.බී.සී. සේවයට ප්‍රකාශ කළා මාධ්‍යවේදී කීත් නොයාර්ට පහර දුන්නේ සරත් ෆෝන්සේකාගේ විශේෂ හමුදා කණ්‌ඩායමක්‌ විසින් බව. මම ඉල්ලා සිටිනවා ජෝසප් මයිකල් පෙරේරා මහතාගෙන් ඒ පිළිබඳව රහස්‌ පොලිසියට කටඋත්තරයක්‌ දෙන්න කියල. නමුත් ඒක එහෙම වෙන්නේ නෑ. ඒකට හේතුව තමයි පසුගිය ජනවාරි 08 වුණයි කියන දේදුණු විප්ලවයේ ඔහුත් කොටස්‌ කාරයෙක්‌.

මමත් සිංහ රෙජිමේන්තුවේ සේවය කළේ. නමුත් කිවයුතුව තිබෙනවා ෆිල්ඩ් මාෂල් ධුරයක්‌ දීමට ලංකාවේ හමුදාව ප්‍රමාණවත් නොවන බව. එබදු ධුරයක්‌ දීමට නම් හමුදා කිහිපයක්‌ තිබිය යුතුයි. නමුත් විශේෂ වැටුපක්‌ දීල, කාර්යය මණ්‌ඩලයක්‌ දීල සරත් ෆෝන්සේකා මහතාට ෆිල්ඩ් මාෂල් ධුරයක්‌ දීල තිබෙන්නේ අල්ලසක්‌ විධියට.

නමුත් දැන් කීත් නොයෙල්ට පහර දීම පිළිබඳව කතා කරන්නේ නෑ. පුරවැසි බලයවත්, රතන හාමුදුරුවොවත්, නිර්මාල් රංජිත්වත්, සරත් විඡේසූරිවත් ඒ ගැන කතා කරන්නේ නෑ. නමුත් ප්‍රගීත් එක්‌නැලිගොඩ ගැන කතා කරනවා. නමුත් ඔහු මාධ්‍යවේදියෙක්‌ නෙවෙයි. මම දන්න විදියට චම්පික රණවකගේ ලිංගික ජීවිතය පිළිබඳව දීර්ඝ ලිපියක්‌ ලියල තිබෙනවා. මම ඒක දැකල තිබෙනවා.

සන්ධ්‍යා එක්‌නැලිගොඩ පෙනී සිටින වීඩියෝ දර්ශන පෙළක්‌ අන්තර් ජාලයේ තිබුණා. එහිදී ඇය සඳහන් කරනවා. 2009 වසර මුල් භාගයේදී දෙමළ ජනයා තෝරා බේරා ඝාතනය කිරීමට රසායනික අවි යෙදවු බව. ඒ පිළිබඳ රහස්‌ ප්‍රගීත් දැන සිsටිය නිසා ඔහු ඝාතනය කළ බව ඇය කියනවා. තමන් හුසේන්ගේ වාර්තාවෙත් නෑ සමූල ඝාතනය සඳහා රසායනික අවි යෙදූ බව. ඒ වගේම දරුස්‌මාන් වාර්තාවෙත් නෑ රසායනික අවි ගැන. ඒ අනුව පැහැදිලි වෙනවා මෙම ප්‍රකාශය රටේ ජාතික ආරක්‌ෂාවට එරෙහිව කළ ප්‍රකාශයක්‌ බව.

එහෙම නම් ඇයි සන්ධ්‍යා එක්‌නැලිගොඩගෙන් එම ප්‍රකාශය ගැන අහන්නේ නැත්තේ.

අපට සැකයක්‌ ඇතිවී තිබෙනවා ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් කිරීමේ චෝදනාව පිට අත්අඩංගුවට ගෙන සිටින හමුදා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්නේ පොට්‌ටු අම්මාන්ගේ අවශ්‍යතාවයටද කියන එක. මොකද ඔවුන් උත්සාහ කරන්නේ හමුදාව හෙළිදරව් කරලා කොටින් ආරක්ෂා කිරීමට.

එම හමුදා නිලධාරීන් එක්‌නැලිගොඩ අතුරුදන් කිරීමට සම්බන්ධ බවට කිsසිදු සාක්‌ෂියක්‌ නෑ. විත්තියේ නීතිඥයන් ඒ බව අධිකරණයට කිව්වා. අපි ඉල්ලා සිටින්නේ මෙම පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යන ලෙසත්, මෙම හමුදා නිලධාරීන්ට ඇප ලබාදෙන ලෙසත්, මේ පරීක්ෂණ කටයුතු ඉදිරියට ගියොත් එක්‌නැලිගොඩ කවුද කියන එක හෙළිදරව් වනවා. නමුත් මෙම හමුදා නිලධාරීන්ට ඇප නොදී අත්අඩංගුවේ තබාගෙන සිටින්නේ ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එරෙහිව ප්‍රකාශයන් ලබා ගැනීමට බව දැන් හෙළිදරව් වී තිබෙනවා. දරුණු කොටි නිදහස්‌ කරන්න පුළුවන් නම් ඇයි මේ හමුදාවේ අය නිදහස්‌ කරන්න බැරි. මේ අය නිදහස්‌ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.