Breaking
24 Feb 2025, Mon

රණවිරුවන් පාවාදීම

අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් පිහිටුවීමට ආණ්ඩුව තීරණය කරලා. ඒ පිළිබඳ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා. මෙය කාර්යාලයක් නොව සුපිරි අධිකරණයක් බව පැහැදිලි ය. එය සාමාන්‍ය අධිකරණයක් ක්‍රියාකරන රාමුවෙන් පිටත ක්‍රියාත්මක වේවි. රජයේ අමාත්‍යාංශයකට හෝ දෙපාර්තමේන්තුවකට හෝ නැති බලයක් එයට හිමිවෙයි. ලංකාවේ පවතින බලතල වැඩිම ආයතනය මෙම ඊනියා කාර්යාලය වනු ඇති. ලංකාවේ පොලීසිය ද හමුදාව ද ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තු ය. එහෙත් ඒ එක් ඇමතිවරයකු කී ලෙසට හුදු දෙපාර්තමේන්තු නො වේ. මේ ආණ්ඩුවේ වැඩ බැරි ටාසන්ලා වූ ඇමතිවරුන්ට ද ආරක්‍ෂාව සැපයෙන්නේ ඒ දෙපාර්තමේන්තුවලිනි.

ආණ්ඩුව මේ ඊනියා කාර්යාලය පිහීටුවන්නේ නීතියට පිටිනි. එය සුපිරි අධිකරණයක් බව ආණ්ඩුව නො කියයි. ජනතාවගේ පරමාධිපත්‍යයේ අධිකරණ බලතල ක්‍රියාත්මක කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 4 (c) වගන්තියට අනුව පාර්ලිමේන්තුව මගිනි. එහෙත් එම වගන්තිය අනුව ඒ ක්‍රියාත්මක කළ හැක්කේ ව්‍යවස්ථාව මගින් පිහිටුවන ලද අධිකරණ බලතල සහිත උසාවිවලට ය. එසේත් නැත්නම් නීතියට අනුව පිහිටුවන ලබන ආයතනවලට ය. මෙහි නීතිය යනු පවත්නා නීතිය මිස අනෙකක් නොවෙයි. යම් ආයතනයක් පිහිටුවීමට අලුතෙන් ම පනතක් ගෙන ඒම, පවත්නා නීතිය අනුව ආයතනයක් පිහිටුවීමක් වන්නේ නැහැ. එවිට ආයතනය පිහිටුවෙන්නේ ඒ සඳහාම ගෙනෙන ලද නීතියක් මගිනුයි. ආණ්ඩුව මෙහි දී 4(c) වගන්තිය අනුව ක්‍රියා කරන්නේ නැහැ. එසේ කළත් ආයතනයක් පිහිටුවීමට නව පනතක් ගෙන එන්න බැහැ.

ආණ්ඩුව එබැවින් දෝ අධිකරණ බලතල ගැන කතා නොකර අධිකරණ බලතල දෙන ආයතනයක් පිහිටුවීමට නව පනතක් නීතියට පිටින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා. කොටියාට බළලා යැයි කී පමණින් සම්මත ව්‍යවහාරය අනුව ඌ බළලකු වන්නේ නැහැ. ආණ්ඩුව පවත්නා නීතිය අනුව ක්‍රියාත්මක නොවී ව්‍යවස්ථාවට පටහැණිව අධිකරණ බලතල සහිත ආයතනයක් ඊනියා කාර්යාලයක් නමින් පිහිටුවන්න උත්සාහ කරනවා. මේ පනත ගෙන ඒමෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුව හා අධිකරණය අතර ගැටුම තවත් උග්‍ර කරනවා.

මේ ආයතනය කිසිම අමාත්‍යංශයක් යටතේ නැහැ. එය අධීක්‍ෂණය කරන්නේ කවු ද? ජනාධිපති ද, අගමැති ද, කතානායක ද? එය පාර්ලිමේන්තුවට වග කියනවා යන්න බොරු ප්‍රජාතන්ත්‍රවාදී කතාවක්. පාර්ලිමේන්තුවට වග කීම සඳහා ක්‍රම වේදයක් නැහැ. මෙය මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයටත් වඩා භයානකයි. මේ කොට්ඨාශය පිළිබඳ අධිකරණය ඉදිරියේ නඩුවක් තිබෙනවා. ඒ නිසා ඒ ගැන වෑඩිදුර කතාකරන්න බැහැ. ඊනියා කාර්යාලයට හත්දෙනකු පත්කරන්න පුළුවන්. මේ හත්දෙනාම සිංහල බෞද්ධ විරෝධී හමුදා විරෝධී අය වන බවට සැකයක් නැහැ. අවසානයේ දී ඊනියා කාර්යාලය කටයුතු කරන්නේ පාකියසෝති සරවනමුත්තුට හා චන්ද්‍රිකා කුමාරතුංගට අවශ්‍ය ආකාරයට ද?

මේ ආයතනයට (නිලධාරියකුට) ඉදිරිපත්කරන රහස් තොරතුරු සම්බන්ධ කරුණු විමසීමට ශ්‍රෙෂ්ඨාධිකරණයටවත් බැහැ. ඊනියා කාර්යාලයට විභාග කිරීමටත් බලය තිබෙනවා. අතුරුදහන්වූවන්ගේ නෑයන්, මිත්‍රයන්, විදේශීකයන් සමග ගිවිසුම්වලට ඒමට ඊනියා කාර්යාලයට බලය තිබෙනවා. ඊනියා කාර්යාලයට විදේශවලින් අරමුදල් ගන්න පුළුවන්. විදේශීය සාක්‍ෂිකරුවන් කැඳවන්න පුළුවන්. එයට සාක්‍ෂි ආඥාපනත වලංගු වන්නේ නැහැ. ඕනෑම සිංහල විරෝධී හමුදා විරෝධී අයකුට සා’’ක්‍ෂි නැතිව වුවත් ඊනියා කාර්යාලයට තම අසත්‍ය ප්‍රකාශ කරන්න පුළුවන්. චැනල් 4 නාලිකාවේ මැක්රේලාට ඇවිත් බොරු කියා යන්න පුළුවන්. ඔවුන්ගේ බොරු චෝදනාවලට ඔවුන්ගේ ම බටහිර ජනමාධ්‍ය මගින් ප්‍රචාරයක් දේවි. අද යාපනයේ සිදුවන දේටත් වැරදිකරුවන් හමුදාව හා සිංහල සිසුන් බව කියන බටහිර ජඩමාධ්‍යවලට සිංහලයන් සමග ඇති බද්ධ වෛරය නිසා කියන්න බැරි දෙයක් නැහැ. ඔවුන්ගේ ඊනියා සාක්‍ෂි අනුව හමුදාව හා රණවිරුවන් පාකියසෝතිලාගේ දංගෙඩියට දැක්කවීමට ආණ්ඩුව සූදානම් වෙනවා. රාජපක්‍ෂලාට විරුද්ධවත් ඊනියා සාක්‍ෂි ගෙන ඒවි.

මේ ආයතනයට පොලිසිවලට, හමුදා කඳවුරුවලට, බන්ධනාගාරවලට, ඕනෑම වෙලාවක දැනුම් දීමකින් තොරව ගිය හැකියි. ඕනෑම භාණ්ඩයක්, ලියවිල්ලක් තමන් සන්තක කරගත හැකියි. හමුදා, පොලිසි බුද්ධි අංශ ආදී නිලධාරීන් මේ ඊනියා කාර්යාලයට සහයෝගය දැක්වීමට බැඳී සිටින අතර රාජ්‍ය රහස් පනතේ විධි විධාන එහි දී බලරහිත වෙනවා. ආයතනයට සහයෝගය නොදෙන අයකුට උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඬුවම් කිරීමට පුළුවන්. මේ ඊනියා කාර්යාලයේ සේවකයන් ලෙස විදේශීකයන් වුවත් බඳවා ගන්න පුළුවන්. උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඬුවම් දෙන්නට හැකි වන්නේ උසාවියකටත් වඩා බලතල සහිත ආයතනයකටයි. මේ ආයතනය පාර්ලිමේන්තුවත් ඉක්මවා යන්නක් බවට පත්වෙනවා.

ජනාධිපතිට මේ ඊනියා කාර්යාලයෙන් වරදකරුවන් කරන රණවිරුවන් නිදහස් කරන්න පුළුවන්. ඒත් මෛත්‍රිපාලට එහෙම මෛත්‍රියක් ඇතිවන එකක් නැහැ. ඔහු මෛත්‍රි කරන්නේ ත්‍රස්තවාදීන්ට. කෙසේ වෙතත් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අයකුගෙන් සිංහලයන් බලාපොරොත්තුවන්නේ ජනාධිපතිවීමෙන් පසු මේ රාජ්‍ය විරෝධී සිංහල විරෝධී හමුදා විරෝධී ආයතනයෙන් වරදකරුවන් කරන අය නිදහස් කිරීමයි.

අතුරුදන්වූවන් ගැන සෙවීමට තවත් කොමිසම්, ඊනියා කාර්යාල අවශ්‍ය නැහැ. පරණගම කොමිසම වුවමනාවටත් වැඩියි. එ වාර්තාව අනුව අතුරුදහන් වූවන් පිළිබඳ සාමාන්‍ය නීතිය යටතේ සාක්‍ෂි ඇත්නම් උසාවියේ නඩු පැවරිය හැකියි. අනෙක අතුරුදහන් වූවන්ගේ නෑදෑයන්ට සාක්‍ෂි ඇත්නම් පොලිසි හා උසාවි මගින් කටයුතු කරන්න පුළුවන්.

ආණ්ඩුව මේ සූදානම් වන්නේ බටහිරයන් කී දේට ඇහුම්කම් නොදී කොටි පැරදවූ රාජපක්‍ෂලාට හා රණවිරුවන්ට බටහිරයන්ගේ වුවමනාව පරිදි, උසාවියක දී ඔප්පු කිරීමට නොහැකි චෝදනා බොරු සාක්‍ෂි ගොතා පාකියසෝති ඉදිරියේ “ඔප්පු කර” දඬුවම් කිරීමටයි. මෛත්‍රිපාල හා ඔහුගේ කණ්ඩායම රාජපක්‍ෂලාගෙන් පළිගැනීම සඳහා තව කොපමණ කලක් සිංහල විරෝධී රනිල් අගමැති ධුරයේ තබා ගන්නවා ද? රණවිරුවන් පාවාදෙනවා ද?
නලින් ද සිල්වා

2016 ජූලි 21

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.