Breaking
23 Feb 2025, Sun

රනිල්ගේ “අයිසේ” ප්‍රජාතන්ත්‍රවාදය සහ ගිලිහෙමින් පවතින පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂය

පාර්ලිමේන්තුව තුල විපක්ෂයට අත්වී ඇති ඉරණම මේ වන විට සක්සුදක් සේ පැහැදිළිය. විපක්ෂනායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූර හංස සන්ධානය මගින් පැහැරගැනීමේ සිට රනිල් වික්‍රමසිංහ මහතාගේ “අයිසේ” ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන අයුරු අපි අත්දකිමින් සිටිමු. නමුත් අප අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ මේ කාරණය ගැන නොවේ. අපි සාකච්ඡා කරන්නේ පාර්ලිමේතුවෙන් පිටත විපක්ෂයට අද දවසේ අත්වෙමින් පවතින ඉරණම සම්බන්ධවයි.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය දුන් පිරිස ප්‍රධාන වශයෙන් අපි කොටස් තුනක් ලෙස දකිමු. ඉන් පළමු කොටස නම් අවංකවම කැපුවත් කොළ එජාප පාක්ෂිකයන්ය. ප්‍රභාකරන් වුවද එජාපයෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නේනම් ඔහුට ඡන්දයක් දීමට මැළි නොවන මේ පිරිස ගැන කතා කිරීමට අපි කාලය අපතේ නොයවමු. නමුත් ඔවුන්ගේ පාක්ෂිකත්වය පිළිබඳ ඇති අවංකභාවයට අපි ගරු කරමු. දෙවන පිරිස වන්නේ ඊනියා “පාවෙන” ඡන්ද දායකයන්ය (මොවුන් “පාවෙන” ඡන්ද දායකයන් වන්නේ හුදු පාක්ෂික මානසිකත්වයක් නැති නිසා නොවේ. ඒ ගැන වෙනම කතා කළයුතුය ). ඡන්ද පොළට යන අතරතුර වන සිදුවීමකින් පවා තමා ඡන්දය දෙන පක්ෂය වෙනස් කරන මෙම පිරිසේ දේශපාලනික මනස මෙලොව ප්‍රාණියෙකුට තේරුම් ගත නොහැකි බැවින්, ඔවුන් පිළිබඳවද අපි පසුව සොයා බලමු. තෙවන කොටස වන්නේ උගත් බුධිමත් යැයි තමන් විසින්ම හඳුන්වාගන්නා ඊනියා විදග්ධ පිරිසය.

මෙම තෙවන කාණ්ඩයට අයත් පිරිසෙන් කොටසක් ජවිපෙ ඇතුලු මාක්ස්වාදීන් වේ. දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටින පිරිසක්ද මෙහි වෙයි. ඉතිරි අතිමහත් බහුතරය එජාප පාක්ෂිකයන්ය. නමුත් මොවුන් තම පාක්ෂිකත්වය සැමවිටම සඟවයි. ඔවුන් එළිපිට පෙනී සිටින්නේ මධ්‍යස්ථ මතධාරීන් ලෙසය. පවතින ආණ්ඩුවෙහි ක්‍රියාකලාපය නිසා ඇති වන ලජ්ජාව හමුවේ මොවුන්ගෙන් සමහරෙක් දේශපාලනික නිද්‍රාවට පත්ව සිටිති. තවත් සමහරෙක් ලජ්ජාව වසාගැනීමට ආණ්ඩුවේ යම් යම් වැරදි විවේචනයට ලක් කරමින් සිටී. එසේ කිරීමෙන් තමන්ගේ ව්‍යාජ මධ්‍යස්ථභාවය උලුප්පා දක්වමින් සිටී. මෙයට හසුවන මහින්දවාදීන්ද ඔවුන්ගේ ප්‍රකාශ අගය කරති. බෙදා හරිති. එවැනි ඊනියා බුද්ධිමතුන් වත්මන් ආණ්ඩුව මගින් රැවටීමකට ලක් කර ඇතැයි සිතමින් මෙම මහින්දවාදීන් තාවකාලික වින්දනයක්ද ලබති. විශේෂයෙන්ම facebook අවකාශය තුළ මෙම තත්වය පැහදිළිව දක්නට ලැබේ.
මෙම බුද්ධිමතුන් පවසන්නේ තමන් පත් කළ ආණ්ඩුවේ වැරදි පවා විවේචනය කිරීමට තරම් ධෛර්යයක් මොවුන්ට ඇති බවයි. නමුත් මොවුන්ගේ විවේචනයට හසුවන්නේ නිශාන්ත මුතුහෙට්ටිගමට ඇමතිකමක් ලැබීම, අමාත්‍ය මණ්ඩලය ප්‍රමාණය ඉක්මවා යෑම, අමාත්‍යවරුන් දෙදෙනෙකු තම විෂය පථයන් වෙනස් කිරීම වැනි හුදෙක් පරිධියේ ඇති කාරණා පමණය. ඉඳහිට එකෙකු දෙන්නෙකු පමණක් දහම් සිරිසේන රට සවාරි යෑම පිළිබඳ නන් දොඩවති. නමුත්

1. ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අග විනිසුරු දොට්ට දැමීම
2. 2/3කට ආසන්න ආසන සංඛ්‍යාවක් තිබූ සන්ධානය විපක්ෂයට ඇද දමමින් ආසන 50ක්වත් නොතිබූ එජාපය ආණ්ඩු පක්ෂය බවට පත් කිරීම
3. කිසිදු ජනවරමක් නොතිබුණු පුද්ගලයින් ජාතික විධායක සභාවට පත් කර ගැනීම
4. මහ බැංකු වංචාව හා එය සැඟවීමට දරන උත්සාහය
5. රනිල් වික්‍රමසිංහ මහතා නම් සඳහන් කරමින්ම පුවත් කතුවරුන්ට තර්ජනය කිරීම
6. විපක්ෂනායක තනතුරෙහි නියම හිමිකරුවන්ට එය අහිමි කරමින් බෙදුම්වාදියෙකු බලෙන් එම තනතුරෙහි පිහිටුවීම
7. ආණ්ඩු පක්ෂය හා එහි හෙන්චයියන් විසින් ව්‍යවස්ථාධායක සභාවය මුළුමනින්ම ආක්‍රමණය කිරීම
8. මෛත්‍රී විරෝධීන් විසින් උපයාගත් ජාතික ලැයිස්තු ආසන, මෛත්‍රීපාල විසින් සදාචාර විරෝධී ලෙස පැහැරගැනීම
9. රණවිරුවන් යුධ අධිකරණවලට දැක්කීම
10. ඉන්දියාව, බටහිර රටවල් සහ එජා සංවිධානය කෙරෙහි ආණ්ඩුව දක්වන දීන විදේශ ප්‍රතිපත්තිය

ආදී එකී නොකී, රටෙහි ප්‍රජාතන්ත්‍රවාදයට, ස්වෛරීභාවයට හා රටේ අනාගතයට සෘජුව බලපාන ප්‍රශ්න පිළිබඳ සිහිනෙන්වත් විවේචනය කිරීමට මෙවැන්නන්ට එම ධෛර්යය ඇති නොවීම පුදුම සහගතය.

සිදුවන දේ පැහැදිළිය. මොවුන්ට ආණ්ඩුව විවේචනය කිරීමේ කිසිදු අවංක වුවමනාවක් නැත. ආණ්ඩුවේ හොඳ නම ආරක්ෂා කරන අතරම මධ්‍යස්ථ මතධාරීන් ලෙස මොවුනට ඇති පිළිගැනීම ආරක්ෂා කර ගැනීමද මොවුන්ගේ උපාය වේ. මහින්දවාදීන්ගේ සහය ලබමින්ම විපක්ෂයේ හඬ ලෙස සමාජය ඉදිරියේ කිරුළු පැළඳීම මොවුන්ගේ අභිප්‍රාය වේ. ඒ අනුව පාර්ලිමේන්තුවෙන් පිටත සැබෑ විපක්ෂය යට ගොස් ව්‍යාජ විපක්ෂයක් කල එළි බසිනු ඇත. බෙදුම්වාදය, යුධ අධිකරණ, බටහිර ඉදිරියේ රටේ ස්වෛරීත්වය බාල්දු කිරීම, ජනමතයට පයින් ගැසීම වැනි රට ඉදිරියේ ඇති සැබෑ අභියෝග අමතක කර ඉතාම සරල කාරණා කෙරෙහි විපක්ෂ ජනතාවගේ විවේචන පල්ලම් බසිනු ඇත. මීලඟ තීරණාත්මක මැතිවරණයකදී විපක්ෂයේ ජනමතය හැසිරවීමේ බලයද මෙම ව්‍යාජ බුද්ධිමතුන් විසින්ම පැහැරගනු ඇත.

මේවා ලෝකයට අළුත් දේවල්ද නොවේ. බටහිර ප්‍රධාන ධාරාවේ මාධය ආයතන, තම රටවල ආණ්ඩු ජාත්‍යන්තර තලයේදී සිදුකරන බලහත්කාරකම් තම රටවල ජනතාවගෙන් සැඟවීමට මෙම උපක්‍රමයම යොදා ගනියි. මෙම බටහිර මාධ්‍ය බොහෝවිට සිදුකරන්නේ රට අභ්‍යන්තරේ සිදුවන තරමක් සංවේදී කාරණා දැඩි ලෙස විවේචනය කිරීමයි. මෙයින් තෘප්තිමත් වන රටවැසියන් සිතන්නේ මෙම මාධ‍ය ආයතන අවංකවම රටවැසියන් වෙනුවෙන් පෙනී සිටින මධයස්ථ මතධාරී මාධ්‍ය බවත්, ඔවුන් වාර්තා කරන සියල්ල සත්‍ය බවත්ය. මෙය ප්‍රයෝජනයට ගනිමින් ජාත්‍යන්තර තලයේ සිදුවන දෑ පිළිබඳ ජනමතය හැසිරවීමේ බලය මෙම මාධ‍ය සියතට ගනී. සදාම් හුසේන් සතුව සමූල ඝාතන අවි තිබූ බවට ඇමෙරිකානු ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා මෙම ආයතන කළ කාර්ය භාර්යය අපට හොඳින් මතකය. වර්තමානයේ සිරියාව හා රුසියාව සම්බන්ධයෙන්ද මෙම පිළිවෙතම අනුගමනය කෙරේ.

සදීර බණ්ඩාර
යුතුකම සංවාද කවය

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.