Breaking
23 Feb 2025, Sun

රනිල්ට අණ දෙන්න බැරි සිරිසේනට අපි තවත් රැවටෙමුද?මෛත්‍රිපාලගෙ අවතාර ඇමතිවරුන්ගේ ප්‍රවේශම් වනු

මෛත්‍රිපාල රවටන්නේ කාව ද? ඔහු හිතනවා නම් ඔහු මරා දැමූ පක්‍ෂයේ ඇමති ප්‍රාණකාරයන් යොදා ගෙන ජනතාව රවටන්න ඔහුට එය මේ කපේ දී කරන්න බැහැ. මිනිසුන් රනිල් ගැන දන්නවා. ඔහු ජාත්‍යන්තරවාදී යුදෙවු ක්‍රිස්තියාන සුපිරිව්‍යුහයෙහි මෙරට ප්‍රධාන නියෝජිතයා. අද වන විට පුස් කෑ මාක්ස්වාදීන් ද සුපිරිව්‍යුහයෙහි නියෝජිතයන් ලෙස රනිල්ට සේවය කරනවා. ජ වි පෙරමුණත් එසේමයි. ජනතාව ඒ විධියට නොසිතනවා ඇති. සිංහලයන් ප්‍රවාද ආශ්‍රයෙන් හිතන්නේ නැහැ. ඒත් ඔවුන්ට දැන් තේරෙනවා ප්‍රත්‍ය’ක්‍ෂයෙන් ම මේ ආණ්ඩුව තමන්ට විරුද්ධ බව. ඔවුන් තවමත් තේරුම් ගන්නේ නැහැ ඊනියා නව ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුව තමන්ට නාගදීපය, තිරියාය, සේරුවිල වැනි සිද්ධස්ථාන අහිමි වන බව. ආණ්ඩුව සුපුරුදු පරිදි කියාවි ඒ එසේ නොවන බව. අපි ඒ ගැන පසුව තවදුරටත් කතා කරමු. බලතල නොමැතිවත් උතුරු නැගෙනහිර පළාත්වල බුදු පිළිම වහන්සේලා කඩන දෙමළ ජාතිවාදීන් පොලිස් හා ඉඩම් බලතල ඇතුළු තවත් බලතල ලැබුණු පසු කෙසේ ක්‍රියා කරාවි ද කියලා හිතාගන්න පුළුවන්.

අප සුපිරිව්‍යුහය ගැන කතා කරන්නේ බටහිරයන්ගේ දැනුමක් යොදා ගෙන නො වෙයි. ඒ අපේ ම දැනුමක්. අද බටහිරයන්ට බ්‍රෙක්සිට් ට්‍රම්ප් තේරුම් ගන්න බැහැ. සමහර බටහිරයන් කලකට පෙර ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය තේරුම් ගැනීමට පශ්චාත්නූතනවාදයක් ගොඩ නැගුවා. අද පශ්චාත්නූතනවාදය මාක්ස්වාදය පශ්චාත්මාක්ස්වාදය ආදිය එකකු දෙන්නකු හැරෙන්නට බටහිරයන් අතරත් නැහැ. පශ්චාත්නූතනත්වය යනු පශ්චාත්නූතනවාදීන්ගේ ම කසිකබල් සංකල්පයක් යොදා ගත්තොත් ෆැන්ටසියක් පමණයි. මා ඒ තුට්ටුවක් නොවටිනා සංකල්පය පිළිගන්නවා නො වෙයි. එය ඌරගෙ මාළු උගේ පිටේම තබා කැපීමක් පමණයි. ලංකාවේ හොඳ ඌරකුවත් හොයා ගැනීමට නැහැ. මෙහෙ ඉන්නේ වැහැරුණු ඌරන් දෙතුන්දෙනකු පමණයි. ඌරන් කන දේ ගැන මා අමුතුවෙන් කියන්නේ නැහැ.

මෛත්‍රිපාල සුපිරිව්‍යුහයෙහි නියෝජිතයෙක් නො වෙයි. ඔහු බල ලෝභියෙක් පමණයි. ඔහු තම පක්‍ෂය මරා දමා ජනාධිපතිකම ගැනීමට ගියා. ඔහු බැසිල් රාජපක්‍ෂට පාඩමක් උගන්න රටත් පක්‍ෂයත් පාවා දුන්නා. ඔහු අද රනිල්ගෙන් ටොකු කනවා. ජී එස් පී + ලබා ගැනීම ගැන මෛත්‍රිපාල දන්නවා ද? ඒ සඳහා ආණ්ඩුව එකඟ වූ කොන්දේසිවලට මෛත්‍රිපාල එකඟ ද? ඒ කොන්දේසි 51 ජනතාවට දැනගැනීමට ප්‍රසිද්ධ කරනවා ද? එ ජා පෙරමුණේ මැති ඇමතිවරුන් ඒ ගැන කියන දේ ජනතාව පිළිගන්නේ නැහැ. මැරුණත් කොළපාට එ ජා පාක්‍ෂිකයන් නම් ඒ බේගල් ගිලීවි. අප කියන්නේ නැහැ යුරෝපා සංගමය බුදුසසුනට හිමි තැන නැති කිරීම කොන්දේසියක් ලෙස ඉදිරිපත් කළාය කියා. යුරෝපා සංගමය කියන්නේ අර සුපිරිව්‍යුහයේ මෙවළමක් පමණයි. සුපිරිව්‍යුහයේ මුග්ධයන් නැති බව අප දන්නවා. ඔවුන් ඉදිරිපත් කරන්නේ ඊනියා මානව අයිතිවාසිකම් පිළිබඳ කොන්දේසි. මේ කොන්දේසිවල හරය සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමයි. එහෙත් ඔවුන් ඒ බව ප්‍රකාශිත ව කියන්නේ් නැහැ. මෛත්‍රිපාලට මේ කොන්දේසි 51 ජනතාවට ඉදිරිපත් කරන ලෙස රනිල්ගෙන් ඉල්ලන්න පුළුවන් ද? ඔහුට රනිල්ට අණ දෙන්න බැරි බව අප දන්නවා.

එතෙකොට මනෝරි – පාකියසෝති සංහිඳියා වාර්තාව ගැන මෛත්‍රිපාල කියන්නේ කුමක් ද? දෙමුහුන් අධිකරණ පිහිටුවන්නේ නැති බව මෛත්‍රිපාල ජනමාධ්‍යවලට කියා වැඩක් නැහැ. මෛත්‍රිපාලට අමාත්‍ය මණ්ඩලයේ දී තම අවතාර ඇමතිවරුන් සමග මේ වාර්තාව ප්‍රතික්‍ෂෙප කිරීමට තීරණයක් ගන්න පුළුවන් ද? රනිල් ඒ වාර්තාව ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. මේ වාර්තාව පදනම් වන්නේ ජෙනීවාහි දී ආණ්ඩුවේ ද අනුග්‍රහය ඇතිව සුපිරිව්‍යුහය සම්මත කර ගත් යොාජනාවත් මත. ඒ යෝජනාවට ආණ්ඩුව අනුග්‍රහය දැක්වූ බව මෛත්‍රිපාල දැන සිටියේ නැද්ද? ආණ්ඩුවට දැන් ඒ දුන් අනුග්‍රහය ආපසු ලබාගන්න පුළුවන් ද?

මෛත්‍රිපාලගෙ අවතාර ඇමතිවරු කිහිප දෙනකු දැන් අලුත් ම සින්දුවක් පටන් අරගෙන. ඔවුන් කියන්නේ 2020 දී ශ්‍රී ල නි පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මෛත්‍රිපාල ඉදිරිපත් කරන බව. මෛත්‍රිපාල ඒ ගැනත් නොදන්නා පාටයි. ඔහු මොකුත් කියන්නේ නැහැ. ඔහු ඔය තනතුරට ඉදිරිපත් වුනත් නැතත් අපට වැඩක් නැහැ. මේ රනිල්ගේ ආණ්ඩුව තව ටික කලක් පැවතුණොත් විධායක ජනාධිපති බලතල හොඳට ම කපා දානවා. ඒ බලතල සුපිරි ඇමති පවරා ගන්නවා. ඒ අතර පළාත් සභා තවත් ශක්තිමත් කර දෙමළ ජාතිවාදයට හා සුපිරිව්‍යුහයට දොළ පිදේනි දෙනවා.

මේ අවතාර ඇමතිවරු අස්වෙන කතා දැන් කියන්නේ නැහැ. ඔවුන්ට ප්‍රියංකර අනුගමනය කරමින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට අවශ්‍ය පළාත්පාලන මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්‍ෂයට හේත්තු වී ඔවුන්ගේ කිහිප දෙනකු දිනවන්න. ඔවුන් ශ්‍රී ල නි ප ලෙස තරග කළොත් ඔවුන්ට ඇපත් නැහැ. පළාත් පාලන මැතිවරණයේ දී එ ජා පෙරමුණත් පරදිනවා. මෛත්‍රිපාලටත් රනිල්ටත් අවශ්‍ය මේ මැතිවරණ තව තවත් කල් දාන්නයි. ඔවුන් මුස්තාෆාට ඒ කොන්ත්‍රාත්තුව භාර දීලා. අශෝක පිරිස් වාර්තාව හෙට භාර දුන්නත් ඔවුන් ඒකෙ අඩුපාඩු හොයන්න තවත් කමිටුවක් පත් කරන්න ඉඩ තියෙනවා. රනිල් අඩියක් පස්සට ගෙන අඩි දෙකක් ඉස්සරහට තියන කෙනෙක්. ජනාධිපතිවරණයට මෛත්‍රිපාල, එ ජා ප අපේක්‍ෂකයකු හා ඒකාබද්ධ විපක්‍ෂ අපේක්‍ෂකයකු ඉදිරිපත් වුනොත් එ ජා ප අපේක්‍ෂකයා දිනන බව කියමින් අර අවතාර ජනතාව බිය ගන්වන්න උත්සාහ කරනවා. එහෙම තරගයක් ඇති වුනොත් ඒකාබද්ධ විපක්‍ෂයේ අපේක්‍ෂකයා ජයගනීවි. මෛත්‍රිපාලට ඇපත් නැති වේවි. විපක්‍ෂ ඡන්ද මෛත්‍රිපාලට හා ඒකාබද්ධ විපක්‍ෂ අපේක්‍ෂකයා අතර බෙදෙන්නේ නැහැ. මෛත්‍රිපාලට ඡන්ද නැහැ. ඔහු පහුගිය වතාවේ දිනුවේ එ ජා ප , දෙමළ ජාතික සංධාන හා මුස්ලිම් කොංග්‍රස් ඡන්දවලින්. ඒ ඡන්ද 2020 දී ඔහුට ලැබෙන්නේ නැහැ.

අද මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති වෙලා ඉන්නෙ නීත්‍යානුකුල ව නො වෙයි. ඔහු පක්‍ෂ ව්‍යවස්ථාවට පිටින් ගිහින් සභාපති වුනාට පස්සෙ පත්කරපු මධ්‍යම කාරක සභාව වලංගු නැහැ. කොහොමටත් ඒ මධ්‍යම කාරක සභාවවත් තාම මෛත්‍රිපාල ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කරන්න යෝජනාවක් සම්මත කර ගෙන නැහැ. සමහර අවතාර ඇමතිවරු හිතනවා ඇති ඔවුන්ගෙ තීරණය මධ්‍යම කාරක සභාවෙ තීරණය කියලා.

මෛත්‍රිපාල ජනමාධ්‍ය සන්දර්ශනවල දී කියන කතා අපට වැඩක් නැහැ. ඔහු පත්තරෙන් දැන ගත්තත් නැතත් අපට වැඩක් නැහැ. හැකි නම් අමාත්‍ය මණ්ඩලයේ දී රනිල්ගෙ එ ජා පෙරමුණ පරද්දලා තමන්ට අවශ්‍ය තීරණ ගන්න. එසේ තීරණ ගත්තාට පසුව පමණක් ජනතාවට දැනුම් දෙන්න. එහෙම බැරි නම් මාධ්‍ය සන්දර්ශන නොපවත්වා සිටින්න. අවුරුදු දෙකක් අප සන්දර්ශන බැලුවා. ඒ හොඳට ම ඇති.

මෛත්‍රිපාලට ඕන නම්, රට ජාතිය ආගමට පක්‍ෂපාති නම්, විධායක ජනාධිපති ලෙස රනිල් වෙනුවට ඒකාබද්ධ විපක්‍ෂයෙන් අගමැති කෙනකු පත්කරන්න පුළුවන්. ඒ ව්‍යවස්ථාවේ 42 (4) වගන්තිය අනුව. එය කරන්නෙ නැතිව රූපවාහිනියේ සන්දර්ශන පෙන්වීමේ වාසිය රනිල්ට හා සුපිරිව්‍යුහයට පමණයි.
නලින් ද සිල්වා
2017 ජනවාරි 16

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.