English

රනිල්,මෛත්‍රී,චන්ද්‍රිකා රෙජීමය පරදවමු

ජනාධිපතිවරයා විසින් ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් දිනන්නට තමන්ට උදව් කළ අයට සැලකීමේ ප‍්‍රතිඵලයක් ලෙස විපක්‍ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයටත් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය ජනතා විමුක්ති පෙරමුණටත් ලැබී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(03) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා එසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘ඔබ දන්නවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තොතැනකවත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව සඳහන් වී නැහැ. ඒ වෙනුවට තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම, එසේ නොමැති නම් විපක්‍ෂයේ කටයුතු කිරීම.

නමුත් නිල වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස ඉන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිසා එතුමා තමන් සතු විධායක බලයේ අනුහස පාවිච්චි කොට අද වන කොට එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය ලබාදුන් ජනතාව ලබා නොදුන් ජනවරමක් ක‍්‍රියාත්මක කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව කැඳවන්නේ නැතිව, පාර්ලිමේන්තුවට තේරී පත් වූ 95 දෙනාගේ අදහස් විමසන්නේ නැතිව තනිවම තීරණය කරලා රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුවේ කොටසක් බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය පත් කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබෙනවා.

මේ ක‍්‍රියාවේ ප‍්‍රතිඵලයක් විදිහට ජනවාරි 08 වැනිදා මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට ජනාධිපතිවරණයෙන් දිනන්න උදව් කරපු කෙලින්ම ජාතික ආණ්ඩුවට එන්නේ නැති අයට සලකන්න විදිහකුත් හැදිලා තියෙනවා. දෙමළ ජාතික සන්ධානයේ උදව්ව එතුමාට ජනවාරි 08 ලැබුණා. ඒ නිසා ඔවුන්ට විපක්‍ෂනායක ධුරය ලබා දී තිබෙනවා. පසුගිය සඳුදා අපි ජනාධිපතිතුමන්ව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ නායකයන් ලෙස හමු වුණාම එතුමා කීවේ ‘මගේ කැමැත්තට විපක්‍ෂ නායකවරයකු පත්කරන්න අදහසක් නැහැ. විපක්‍ෂයේ වාඩිවන මන්ත‍්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත අනුව විපක්‍ෂ නායකවරයා පත් කිරීමට ඉඩකඩ සලසා දෙනවා’ කියලා.

ඒ අනුව අපි පසුගිය අගහරුවාදා සන්ධානයේ මන්ත‍්‍රීවරු 56කගේ අත්සන් සහිතව ජනාධිපතිතුමාට ලිපියක් භාර දුන්නා, විපක්‍ෂ නායක ලෙස කුමාර වෙල්ගම මන්ත‍්‍රීතුමන් පත් කරන ලෙසට. එතුමා ඒ අවස්ථාවේදීවත් කීවේ නැහැ ‘මේ කටයුත්ත කරන්න බැහැ’ කියලා. දැන් බලන්න මොකක්ද වෙලා තියෙන්නේ? ජනාධිපතිතුමන්ගේ උපදෙස් අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා හොර රහසේම කථානායකවරයාට ලිපියක් එවා තිබෙනවා. අපි මීට ඉහතදී පසුගිය පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරයට දිනේෂ් ගුණවර්ධන මහතා පත් කරන ලෙස පාර්ලිමේන්තුවේ බහුතර එජනිස මන්ත‍්‍රීවරුන්ගේ අත්සන් සහිත ලිපියක් හිටපු කථානායකතුමන්ට භාර දුන්නා. එහිදී එතුමන් පැවසුවේ, පාර්ලිමේන්තු සාම්ප‍්‍රදාය අනුව එවැනි ලිපියක් සහිත ඉල්ලීමක් කළ යුත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා විසින් බවයි. ඒ පූර්වාදර්ශය අනුව යමින් තමයි අපි එජනිස නායකයා ලෙස ජනාධිපතිතුමන් සමග කළ සාකච්ඡුාවේදී පැමිණි එකගතාව අනුව, එතුමාට එජනිස බහුතර මන්ත‍්‍රීවරුන්ගේ කැමැත්ත ලිපියක් මගින් දැනුම් දුන්නේ. එම ලිපියේ පිටපතක් අද අපි කථානායකතුමන්ට ද භාර දුන්නා.

මෙහෙම වුණේ ජනාධිපතිතුමන්ට ජනවාරි 08 වැනිදා දිනන්න උදව් කළ අයට සලකන්න ඕනෙ නිසයි. ජනතා විමුක්ති පෙරමුණ ජාතික ආණ්ඩුව ඇතුළට ආවොත් දැන් තියෙන තත්ත්වයක් නැති වෙන හින්දා ඒ අය එළියේ ඉන්නවා. එයාලාට විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය ලබා දෙන්න ඕනෙ. ධනේෂ්වර ආණ්ඩුවක විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධාකයකවරයකුට නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ වරප‍්‍රසාද හිමියි. සම්බන්ධන් මහත්තයාත් උදව් කළා ජනාධිපතිතුමන්ට. එයාට විපක්‍ෂ නායකකම දෙන්න ඕනෙ. අද අපට ආරංචියි ලන්ඩන්, පැරිස්, සූරිච් ඇතුළු යුරෝපීය නගරවල දෙමළ ඩයස්පෝරාවේ පිරිස් ප‍්‍රීතිඝෝෂා නැගූ බව. තව නොබෝ දිනකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ‍්‍රී ලංකාවට එරෙහි වාර්තාව එළි දකිනවා. වෙනදාට නම් මේ රටට එන බටහිර බලවතුන් දෙමළ ජාතික සන්ධානය හමු වූයේ නොනිල ලෙසින්. දැන් විපක්‍ෂනායක ධුරය ලැබී ඇති නිසා නිල වශයෙන්ම හමුවේවි. ඊට පසුව කියාවි මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳව ශ‍්‍රී ලංකාවේ විපක්‍ෂනායකවරයාත් කියන්නේ මෙහෙමයි කියලා. ඒ අනුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවට එරෙහි ජනමතයක් ශ‍්‍රී ලංකාවේ නැහැ කියලා, බටහිර බලවතුන් පෙන්වාවි. ඒ තත්ත්වය ඇති කරන්න පුළුවන් ඉතා ඉහළ තත්ත්වය දෙමළ ජාතික සන්ධානයට විපක්‍ෂ නායක ධුරය ලබාදීම මගින් ඇති කොට තිබෙනවා. ඒක මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව එල්ල කරනු ලැබූ මරු පහරක්.

‘ජනවාරි 08 වැනිදා භාරගත්තු කොන්ත‍්‍රාත්තුව’

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ බහුතරයක් ඉන්නවා ජාතික ආණ්ඩුවට නොගිහින්. අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන්නාම අපට බලාගන්න පුළුවන් පැහැදිලිවම කීයක් එහාට ගිහිල්ලා ද, කීයක් විපක්‍ෂයේ ඉන්නවාද? කියලා. අපි විශ්වාස කරනවා 50කට වැඩි මන්ත‍්‍රීවරුන් පිරිසක් විපක්‍ෂයේ රැදී සිටීවි කියලා. එහෙම තත්ත්වයක් තිබියදී ඒ මන්ත‍්‍රීවරුන්ගෙන් නියෝජනය වන බහුතර ජනමතයට ඉවතට දාලා, විපක්‍ෂයේ නිලබලය පාවිච්චි කරලා එම මන්ත‍්‍රීවරුන් තාක්‍ෂණික ක‍්‍රමවේද මගින් යටත් කරලා විපක්‍ෂ නායක ධුරය සම්බන්ධන් මහත්තයාට යන්න ඉඩ හැරියා. ඒක තමයි තමන් ජනවාරි 08 වැනිදා භාර ගත්තු කොන්ත‍්‍රාත්තුව. ඒක තමයි සිදු වුණේ. එක බොරු වචනවලින් වහන්න බැහැ.

දැන් බලන්න කොහොමද ජනතා විමුක්ති පෙරමුණට විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය ගියේ කියලා. අඩුම තරමින් තේරුම් ගන්න ඕනෙ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විපක්‍ෂයේ වාඩි වූ මන්ත‍්‍රීවරු හැරුණාම ජාතික නිදහස් පෙරමුණේ මන්ත‍්‍රීවරු 05යි, මහජන එක්සත් පෙරමුණට මන්ත‍්‍රීවරු 03යි, පිවිතුරු හෙළ උරුමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, කොමියුනිස්ට් පක්‍ෂයට 01 බැගින් ආදී වශයෙන් විපක්‍ෂයේ වාඩි වුණු මන්ත‍්‍රීවරු 13ක් සිටිනවා’ කියලා. නමුත් සම්බන්ධන් මහත්තයා අදම කථානායකවරයාට ලිපියක් යවනවා, ‘වාමාංශික විප්ලවාදී අනුර දිසානායක සහෝදරයා වහාම විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරයට පත් කරන්න’ කියලා. අපි දන්නවා, අනුර දිසානායක මහත්තයා ඇතුළු ජවිපෙ, ආර්. සම්බන්ධන් මහත්තයාට විපක්‍ෂ නායක ධුරය අරන් දෙන්න කැප වූවා. ඊට කෘතවේදීත්වය පළ කරන්න සම්බන්ධන් මහත්තයා අනුර දිසානායක මහත්තයාට විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය පිරිනැමුවා.

ඒ අතරේ අගමැතිවරයා ‘වහනවා අයිසෙ කට, වඳුරා’ ආදී වශයෙන් කියමින් පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ හඩ නැගෙන්නට තිබෙන ඉඩත් යටපත් කිරීමේ මෙහෙයුමක් දියත්කර තිබෙනවා. මේක තමයි සැබෑ ඒකාධිපති රෙජීමයක් කරා යන ගමන. මහින්ද රාජපක්‍ෂ පාලනයට එදා 2/3ක බලයක් තිබුණා. ඒ බලය විපක්‍ෂයේ අයිතිවාසිකම් පොඩිපට්ටම් කරන්න යොදා ගත්තේ නැහැ. අද එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අකැමැත්තෙන් යටත් කරලා, ඊනියා සම්මුතිවාදය කියන වචනය තොරොම්බල් කරලා, ජාතික ආණ්ඩුව කියලා මේකට ‘අලවන්න බැරි’ බෝඞ් එකකුත් ගහලා තියෙනවා. සැබෑ ජාතික ආණ්ඩුවක් තුළ සියලූ පිළිගත් පක්‍ෂ නියෝජනය විය යුතුයි. මේක හවුල් ආණ්ඩුවක්, සභාග ආණ්ඩුවක්. ජාතික ආණ්ඩුවක් බිහි කළාම ලැබෙන ප‍්‍රතිපාදන සභාග ආණ්ඩුවක් අටවපුවාම ලැබෙන්නේ නැහැ. මේ කරලා තියෙන්නේ හවුල් ආණ්ඩුවක් හදලා ඒකට ‘ජාතික ආණ්ඩුවක්’ කියලා බෝඞ් එකක් ගහපු එකයි. කෙස් පැලෙන නීති තර්ක ගෙනල්ල අද මේ හවුල් ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් බවට එත්තු ගන්වලා ජාතික ආණ්ඩුවක් බිහි කළාම ලැබෙන ව්‍යවස්ථා ප‍්‍රතිපාදනය පාවිච්චි කරලා අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කර ගත්තේ. මේක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි කි‍්‍රයාවක්. අපි පසුගිය ඉරිදා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා, ‘මේ පාර්ලිමේන්තුව කැඳවලා හිස්බඩින්ම කරන්න යන්නේ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවක්’ කියලා. ඒක තමයි මේ සිදු වුණේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ගමන අරඹන ආණ්ඩුවක් යා හැක්කේ කොතැනටද?

ඊළගට රාජ්‍ය ආයතන විකිණිල්ල පටන් ගන්නවා. දැනටමත් මත්තල ගුවන් තොටුපළ වී ගබඩාවක් බවට පත් කර තිබෙනවා. හෙට අනිද්දාට ඒක කාට හරි ගජ මිතුරකුට විකුණලා දමාවි. මාධ්‍යවේදී ඔබලා දන්නවා, දැනට රාජ්‍ය ආයතන ගණනාවක් ප‍්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් පෞද්ගලීකරණ දංගෙඩියට දක්කාගෙන යනවා කියලා. එහෙම කරන්න නම් විපක්‍ෂයක් නැති වෙන්න ඕනෙ. සම්බන්ධන් මහත්තයලාට දීපු පොරොන්දු ඉටු කරන්න නම් විපක්‍ෂයක් නැති වෙන්න ඕනෙ. ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් ගොඩනැගෙන ඒකාධිපතිවාදය මේක නොවෙයිද?

‘ඒ හොරු – මේ හොරු සමග ඇතිකරගත් සම්මුතිවාදය’

අගෝස්තු 17 වැනිදාට පෙර කුඩු කාරයෝ කිව්වා, හොරු කිව්වා. දැන් ඒ කතා මොකක්වත් නැහැ. දැන් තියෙන්නේ ඒ හොරු – මේ හොරු සමග ඇති කර ගත් සම්මුතිවාදය’ පමණයි. ඡන්දදායකයන් රවට්ටන්න ‘හොරු හොරු’ කියලා බොරු හඩක් නගලා ‘ඒ හොරු මේ හොරු එකතු වෙලා’ හවුල් ආණ්ඩුවක් හදලා, අද ඒකට ‘ජාතික ආණ්ඩුවක්’ කියලා නමකුත් දමලා තිබෙනවා.

මේ රට අද යමින් තියෙන්නේ සම්බන්ධන් මහත්තයලා, දෙමළ ඩයස්පෝරාව ප‍්‍රාර්ථනා කළ දිසාවට නොවෙයිද? ඒකීයභාවය අහිමිකරන දිසාවට නොවෙයිද? අපට කල්තියා මේ ටික කියන කොට සමහරු කිව්වේ ‘බේසමේ කිඹුල්ලූ දකිනවා’ කියලා. දැන් මේ පෙනෙන්නේ ‘බේසමේ කිඹුලෙක්ද?’ 27,000ක් දිවි පුදලා රැකගත් රටක්, යළිත් ඒකීයභාවය අහිමි කරන දිසාවට රැගෙන යාමට ද මේ රටේ ජනතාවගේ අභිලාෂය වුණේ?

එදා පෙබරවාරි 18 වැනිදා නුගේගොඩ ඒ ඵෙතිහාසික භූමිකාවට උර දුන්නු පක්‍ෂ 04හි නායකයන් විදිහට අපි මේ රටේ දෑහිතකාමී ජනතාවට අදත් සහතිකයක් දෙනවා. දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්, වාසුදේව නානායක්කර මැතිතුමන්, උදය ගම්මන්පිල මැතිතුමන් සහ අප එදා ජනතාවට ඇති කළා බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව පසුගිය 17 වැනිදා විජයග‍්‍රහණයෙන් කෙළවර කරන්න බැරි වුණත් බලවත් තත්ත්වයකට රැගෙන එන්න අපට පුළුවන් වුණා. නමුත් අද ඒ ජයග‍්‍රහණය කොල්ල කාලා, පික්පොකට් ගහලා තියෙනවා. ඇමති කටු සූප්පු කරන්න යන අය ගියාවේ. නමුත් ඉතිරි වන පිරිස සමග බුලත් කොළයට ඡන්දය ලබා දුන්නු, ජාතිකවාදී මනසකින් යුතු අපව දිරිගන්වපු ජනතාව අපෙන් බලාපොරොත්තු වන බලවත් මෙහෙවර අපි ඉටු කරනවා. මේ පාපතර දේශපාලන මෙහෙයුමට එරෙහිව අපි අපේ වගකීම සහ යුතුකම ඉටු කරනවා.

අද ජාතික හෙළ උරුමය දණ ගස්වලා ඉවරයි. ජනතා විමුක්ති පෙරමුණ අද ජාතිකවාදී දැක්මක නැහැ. මේ රටේ ජනතාව දිනා ගත්තු දෙයක් තිබෙනවා නම් ඒකත් නැති කරන්නයි මේ ඊනියා හවුල් ආණ්ඩුව සැරසෙන්නේ කියලා අද අපි අනතුරු හගවනවා. කවර දුෂ්කරතා මැද්දේ වුවත් අපේ පක්‍ෂ 04හි එකමුතුවක් ඇතිකර ගෙන, ඒ වගේම ඉදිරියේදී අජිත් සමග ඍජුව අත්වැල් බැඳ ගන්නා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් සමග එක් වෙලා මුළුමහත් ජාතිය වෙුනවෙන් අපි අපේ වගකීම සහ යුතුකම ඉටු කරනවා. ඒ සඳහා අජිත් සමග අත්වැල් බැඳ ගන්නා ලෙස මුළුමහත් ජාතියෙන් ඉල්ලා සිටිනවා’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015.09.03

Top