Breaking
23 Feb 2025, Sun

රනිල් ඉවත් කිරීමේ ඉතිහාසය

විශ්වාසභංග යෝජනාව ගැන විවිධ කතා පැතිර යනවා. මෙහි පීතෘත්වය ගන්න ද නොගන්න ද කියලා මහා විද්වතුන් කල්පනා කරනවා. ඒ සාර්ථකත්වය ගැන හරියට ම කියන්න බැරි නිසා. මා පළමු කොට ම කිව යුත්තක් නම් විශ්වාසභංග යෝජනාව මගේ අදහසක් නොවන බව ය. එය කාගේ අදහසක් වුණත් මා එයට සහාය පළ කරනවා. එය ජයග්‍රහණය කරනු දැකීම, රනිල්ගේ ආණ්ඩුව අහෝසි වී වෙනත් අයකු අගමැති ධුරය දරණ ආණ්ඩුවක් පිහිටුවනු දැකීම මගේ අභිලාෂයයි. ඒ නව අගමැති කවුරුන් විය යුතු ද යන්න මා පිළිවෙළින් කියා ඇති.

ඊයේ විද්වතකු පුවත්පතකට ලිපියක් ලියා තිබුණා. විශ්වාසභංගයේ වැල ගිය මුල ගිය තැන් පහදා දීමට. ඔහු මූලාශ්‍ර නම් ඉදිරිපත් කර තිබුණේ නැහැ. එහෙත් විශ්වවිද්‍යාලයක අධ්‍යයන අංශයක අංශ ප්‍රධානියකු ලියන ලිපියක් පසුව වෙනත් අයකුට මූලාශ්‍රයක් වෙනවා. මූලාශ්‍රවලට යම් ආධිපත්‍යයක් ලැබීමේ දී එහි කතුවරුන්ගේ තරාතිරම ද බලපානවා. මේ අංශාධිපති මා හැර අනෙක් හැමෝ ම සතුටු කරන්න උත්සාහ දරනවා. ඒ නිසා ඔහුට පැහැදිලි ව යමක් කියන්න බැහැ. ඊයේ ලිපියත් එසේමයි.

ලිපියට අනුව රනිල් ඉවත් කිරීමේ කතාව බොහොම පැරණියි. එය බැඳුම්කරය දක්වා දිව යනවා. නොව පැරණිය වන රමණිය ලෙස කියැවෙන කැලණිය මෙන් රනිල් ඉවත් කිරීමත් දිනෙන් දින රමණිය වනවා. ඒ සඳහා විවිධ රමණීය කතන්දර ගෙතෙනවා. එය පැරණි එහෙත් පැරණි නොවන කතාවක් බවට පත් කරනවා. අප නොදන්නා කරුණු අංශාධිපතිවරු දන්නවා. එහෙත් මා අංශාධිපතියකු ව සිටි අවධියේ නම් එසේ වූයේ නැහැ. මා කියන දේට කිසිම වැදගත්කමක් ලැබුණේ නැහැ. ජී එල් පීරිස්ගෙන් අහන්න. එසේ කීමේ වරදක් නැහැ. ඔහු තමයි ඒ ගැන දන්නා ප්‍රධාන ම පුද්ගලයා. මෛත්‍රිපාල ආණ්ඩුවෙන් ඉවත් වීමට ප්‍රධාන හේතුව කවුද යනු දන්නා හොඳ ම පුද්ගලයා මෛත්‍රිපාල.

ඒ මොකක් වුණත් රනිල් ඉවත් කිරීමේ අදහස බැඳුම්කරය දක්වා දිව යන බවට අංශ ප්‍රධානිට සාක්‍ෂි තියෙනවා ද? මා නම් රනිල් ඉවත් කළ යුතු බව කියන්නේ ඔහු පත් වී දින කිහිපයකින්. ඒ බවට එව බලව වැනි සංවිධාන සාක්‍ෂි කියාවි. මට වෙනත් මූලාශ්‍ර නැහැ. මා රනිල් ඉවත් කළ යුතු බව කියන්නේ ඔහු ඩොයිලි කෙනකු නිසා. ප්‍රවෘත්ති (නාට්‍යය) බලා මුතුකුඩ නාට්‍යය බලන විට වර්තමානය අතීතයේත් තිබී ඇති බව පැහැදිලි වෙනවා. රනිල් පත් කිරීමත් නීති විරෝධී ලෙසයි මා ඒ දිනවල සිතා සිටියේ. එහෙත් පසුව තේරුණා එය නීති විරෝධි නැති බව. රනිල් දිවුරුම් දීම සටහන් කරගත් කැමරා ශිල්පීන් නුදුටු දෙයක් විස්තර ප්‍රචාරකයන් නොකී දෙයක් සිද්ධියට ඈතින් සිටි අයකු දකින්න විධියක් නැහැ. එසේ දැක්කා යැයි කියනවා නම් ඒ දීකිරට බළල්ලුත් සා’ක්‍ෂි වැන්නක්.

විද්වතාට අනුව මෙයට පෙර රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් බැඳුම්කරය සම්බන්ධයෙන් ගෙනැල්ලා. ඒක මා දැන ගත්තෙ ඊයෙ ඒ විද්වත් ලිපිය කියවීමෙන්. ඒක අර දි මු ජයරත්න අස්කළ ලිපියට මෛත්‍රිපාල ජනවාරි 9 වැනි දා අත්සන් කෙළේ යැයි කියනවාටත් වඩා එහා ගිය එකක්. විද්වතා කියන්නේ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒම වැළැක්වීමට මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බවයි. ඒ ගැන සඳහන් වී ඇති තැනක් කියනවා ද? මා මූලාශ්‍ර ඉල්ලන්නේ නැහැ. මට මතකය වැරදි නම් නිවැරදි කර ගන්න පමණයි. මගේ මතකය වැරදි වෙන්න පුළුවන්.

මට මතක හැටියට පාර්ලිමේන්තුව විසුරුවා හැරුණේ ඩිව් ගුණසේකර කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන ඒම වැළැක්වීමටයි. ඒ දවස්වල මෛත්‍රිපාල ක්‍රියා කෙළේ රනිල්ට හා චන්ද්‍රිකාට ඕන විධියටයි. මා ඩිව් ගුණසේකර වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා අධිකරණයට ගිය බවත් මට මතකයි. හඳුන්නෙත්ති ඒ වාර්තාව පැත්තකට දාලා ඔහුගේ ම වාර්තාවක් ඉදිරිපත් කළා. ඩිව් ගුණසේකරත් තම වාර්තාව සමාජයට කාන්දු වෙන්න ඉඩ ඇරලා නැහැ. ඔවුන් හොඳ මහත්වරුන්!

නැවත නැවතත් පෙබරවාරි 10 වැනි දා ආණ්ඩු අස්ථාවර වූ බවක් පඬියන් කියනවා. විශ්වාසභංගයට ආණ්ඩු අස්ථාවරත්වය හේතුවක්ලු. ඒ කියන්නේ අර කලින් ගෙනාවා කියන විශ්වාසභංගයට පෙබරවාරි 10 බල නොපෑ බව ද? විද්වත් අංශාධිපති 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට තුනෙන් දෙකක් ලැබුණු බව කියනවා. ඒ කාලෙ රනිල්ගෙ ආණ්ඩුවට තුනෙන් දෙකක් නොතීබූ බවත් තුනෙන් දෙක ලැබීම ස්ථාවර දෙයක් නොවන බවත්න කියනවා. රනිල්ට තුනෙන් දෙකක් තබා පාර්ලිමේන්තුවේ් තුනෙන් එකක්වත් තිබුණේ නැහැ. පහෙන් එකක් නම් තියෙන්න ඇති. එහෙත් තුනෙන් දෙක ලැබුණෙ විද්වතා කියන සෝභිත හාමුදුරුවො හින්ද නො වෙයි, මහින්ද හින්දයි. පවිත්‍රා වන්නිආරච්චි ඒ බව කියා තිබුණා.

දැන් විද්වතා කියනවා 2015 අගෝස්තුවෙ සංධානයෙන් තරග කෙළෙත් රනිල් පරද්දන්නලු. එකල මෛත්‍රිපාල ජනාධිපති වෙලා හිටියෙ. එපමණක් නො වෙයි. මෛත්‍රිපාලට ශ්‍රී ල නි ප සභාපතිකමත් දීලා තිබුණෙ. සංධානයෙ නායකයත් මෛත්‍රිපාල. ඒ මෛත්‍රිපාලගෙ නායකත්වයෙන් මේ අය තරග කළා රනිල් පරද්දන්න! අන්තිමට රනිල් දිනුවා විතරක් නොවෙයි පසුව පිහිටුවා ගත් ඒකාබද්ධ විපක්‍ෂෙට විරුද්ධ පක්‍ෂෙ නායකකමවත් ලැබුණෙ නැහැ. මේ ඉතා ම දරුණු ගණයේ දේශපාලන වැරදි ගණන් බැලීම්.

ආණ්ඩුවේ අස්ථාවරත්වයට හේතුව රනිල් මෛත්‍රිපාල විරසකය වර්ධනය වීම. ඒ බව මා පෙරේදා ලිපියේ තේරුම් කර දී ඇති. ඒ දේශපාලන වෙනස ඔය විද්වතුන් තේරුම් ගන්නෙ නැහැ. විරසකය වර්ධනය වීමත් සමග එය ප්‍රයෝජනයට ගෙන රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාල ශක්තිමත් කළ යුතු යැයි මා කී දේ පළාත් පාලන ආයතනවල මෛත්‍රිපාල මහින්ද එකතුවක් බවට ලඝු කෙරුණේ පොහොට්ටුවේ පඬියන් විසින්. මා අදවත් මහින්ද මෛත්‍රිපාල පළාත් පාලන ආයතනවල එකතුවක් ගැන කියන්නෙ නැහැ. පළාත් පාලන ආයතනවල සභාපතිකම් තීරණය වන්නේ ප්‍රාදේශීය හේතු මත. මීගමුවේ මෛත්‍රිපාලගෙ පිරිස ක්‍රියා කරන ආකාරයට නොවෙයි සීදුව කටානෙ දි ක්‍රියාත්මක වන්නෙ. මා දැක්කා එක් ප්‍රාදේශීය සභාවක පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයකු ම පොදු ජන පෙරමුණු අපේක්‍ෂකට සභාපති වීමට ඡන්දය දී නොමැති බව. ඒ ප්‍රාදේශීය හා පෞද්ගලික ගැටුම්. එහෙත් මා කියා සිටිනවා මහින්දටත් මෛත්‍රිපාලටත් පෙබරවාරියෙ ලැබුණු ඡන්දවලින් බහුතරය ජාතිකත්ව ඡන්ද බව.

විශ්වාසභංග යෝජනාව අප්‍රේල් හතරවැනි දා ජයග්‍රහණය කරනු දැකීම මගේ බලාපොරොත්තුවයි. එහෙත් මගේ විශ්වාසය රනිල් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (3) යොදා ගත යුතුව තිබූ බවයි. ඒ සඳහා අවශ්‍ය ශක්තිය මෛත්‍රිපාලට ලැබුණෙ නැහැ. මෛත්‍රිපාලට විශ්වාසභංගයක් මගින් ශක්තිය ලබා දීම එයට වඩා සංකීර්ණයි. එහි දී අවශ්‍යතා රාශියක් සපුරාලිය යුතුයි. අද කළ යුත්තේ ඒ අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කිරීම මිස රනිල් ඉවත් කිරීම නොව පැරණීය වන රමණිය බවට පත්කරන බොරු ඉතිහාස කතන්දර ගොතන එක නො වෙයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.