Breaking
24 Feb 2025, Mon

රනිල් නැතුව මහින්ද අගමැති වෙයි ද?

වෙනත් ආණ්ඩුවක් පිහිටුවීම ගැන නොයෙක් කතා පැතිරෙයි. අන්තර්කාලීන ආණ්ඩුවක් ගැන වාසුදේව නානායක්කාර පසුගිය කාලයේ සඳහන් කෙළේ ය. එස් බී දිසානායක තමාගේ අගමැතිත්වය යටතේ ආණ්ඩුවක් පිහිටුවීමට බලාපොරොත්තුවන බව ප්‍රකාශ කර ඇත. ඩිලාන් පෙරේරා අගමැති කම අපේක්‍ෂා නොකළත් තව අවුරුදු දෙකකින් එ ජා ප නොවන ආණ්ඩුවක් පිහිටුවන බව මාධ්‍ය සාකච්ඡාවක දී කියනු රූපවාහිනියෙන් අසා දැක ගත්තෙමි.

මේ දුර්දාන්ත නිවට යටත්විජිතගැති වැඩ බැරි ආණ්ඩුව හැකි ඉක්මණින් පළවා හැරිය යුතු බවට කිසිදු විවාදයක් නැත. එහෙත් ප්‍රශ්නය වන්නේ එසේ කරන්නේ කෙසේ ද යන්නත් අලුත් ආණ්ඩුවක් ඇතිකළහොත් එහි අගමැති කළ යුත්තේ කවු ද යන්නත් ය. කළ යුත්තේ කුමක් ද යන්න දේශපාලනඥයන්ට කීම මම පසුගිය දා අත්හැරියෙමි. ඇතැම්හු එමගින් මා දේශපාලන විචාරයෙන් සමුගත්තේ යැයි විශ්වාස කර ඊනියා දාර්ශනික, වාස්තවික, යථාර්ථවාදී, ද්‍රව්‍යවාදී අර්ථකථන ඉදිරිපත් කළහ. ඔවුන් මොන තරම් බොළඳ ද යන්නත් ඔවුන්ට ලිපියක් කියවා තේරුම් ගැනීමට නොහැකි ය යන්නත් ඔවුන්ගේ ව්‍යායාමවලින් පැහැදිලි විණි.

මෙය කළ යුත්තේ කුමක් ද යන්න නොව සිදුවිය හැක්කේ කුමක් ද යන්න ගැන ලියැවෙන ලිපියකි. තව අවුරුදු කිහිපයකට මහා මැතිවරණයක් පැවැත්විය නො හැකි ය. ඒ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතා අයිතියක් නැති කිරීමක් සමග සිදු වූවක ප්‍රතිඵලයක් වෙයි. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය මේ රාජ්‍ය විරෝධී ආණ්ඩුව පත්කර ගැනීම සඳහා ම ගෙන එන ලද්දක් විය. එහි 46(3) අනුව්‍යවස්ථාවෙන් ඊනියා ජාතික එක්සත්කම සඳහා ආණ්ඩුවක් පිහිටුවාගන්නා ආකාරය දක්වා ඇත. මේ ආණ්ඩුවට ජාතික ආණ්ඩුව, සම්මුතිවාදී ආණ්ඩුව ආදී නම් ද ව්‍යවහාර කෙරෙයි. මේ ආණ්ඩුවේ ජාතික බවක්වත් සම්මුතිවාදී බවක්වත් නැත. ඇත්තේ මහින්ද විරෝධය, දෙමළ ජාතිවාදයට කප්පන් දීම හා ගසාකෑම ය.

එක්සත් ජාතික පෙරමුණ හා මෛත්‍රීපාල කණ්ඩායම ආණ්ඩුවක් පිහිටුවා ඇත්තේ 46(3) අනුව ය. එය ව්‍යාජ අනුව්‍යවස්ථාවකි. මහින්ද රාජපක්‍ෂ එළවීමට හා රනිල් බලයට පත්කිරීම සඳහා ම සකස් කරන ලද දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය මහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් ලෙස ඊනියා දේශපාලන විචාරකයන්, දේශපාලන විද්‍යාඥයන් ඇතුළු පඬියන් විසින් හැඳින්විණි. මෙය පැහැදිලිව ම එක්සත් ජාතික පක්‍ෂයට තනිව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නොහැකි වුවහොත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා ඇති කරන ලද උපක්‍රමයක් පමණක් විය. එහි ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. එය ජේ ආර්ගේ ව්‍යවස්ථාවේ දෙවැනි පියවර පමණක් විය. පළමු පියවර මාමාට අසීමිත බලයක් දීමට ය. දෙවැනි පියවර ඡන්දයකින් ජනාධිපතිවීමට නොහැකි බෑණාට එවැනි බලයක් ලබාදීමට ය. එහෙත් අපටත් එදා ඒ නිසියාකාරයෙන් අවබෝධ නො විණි. අද ඒකාබද්ධ විපක්‍ෂයේ උදවිය ද එදා දහනවයට ඡන්දය දුන්හ. එය සිය දිවි නසාගැනීමක් බව අප කිසිවකුට එදා අවබෝධ නොවුණේ මැතිවරණයකින් මහින්ද ජයගනීවිය යන අපේක්‍ෂාව තිබුණු බැවින් විය හැකි ය. එහෙත් අද ඒකාබද්ධ විපක්‍ෂය එදා මැතිවරණයේ දී වෙන ම තරග නොකිරීම හේතුවෙන් ඒ අපේක්‍ෂා භංග වූ අතර ඉන්පසු එහි භයානකකම පෙනෙන්නට විය. එය දැන් තහවුරු වී ඇත.

ව්‍යවස්ථාවේ ඇති පරස්පරයක් උපයෝගී කරගෙන මෛත්‍රීපාල ජනාධිපති වී විනාඩියකින් රනිල් අගමැති ලෙස පත්කෙළේ ය. මහින්ද තම දේශපාලන ජීවිතයේ ලොකුම මෝඩකම කරමින් මෛත්‍රිපාලට ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම භාරදුන්නේ ය. මහින්ද ජනාධිපති වූ විගස චන්ද්‍රිකා පක්‍ෂයේ සභාපතිකම භාර නොදුන් බව අමතක නොකළ යුතු ය. ඇය ඒ සඳහා දින නොව මාස කිහිපයක් ම ගත්තා ය. මේ ව්‍යවස්ථාවේ ඒ පරස්පරය උපයෝගී කරගනිමින් මෛත්‍රිපාලට අවශ්‍ය නම් මහින්ද හෝ එස් බී හෝ රාජිත හෝ ඩිලාන් හෝ වෙනත් අයකු හෝ අගමැති ලෙස පත්කළ හැකි ය.

අපි දැනට ටික කාලයකට පෙර මහින්ද අගමැති කරමු යන තේමාව යටතේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමු. ඒ ව්‍යවස්ථාවේ ඇති පරස්පරය ජනතාවට කියා දීමට ය. එහෙත් ජනමාධ්‍ය අප වෙත සුපුරුදු අනුග්‍රහය දක්වමින් සම්මන්ත්‍රණයට ප්‍රචාරයක් ලබා නො දුන්නේ ය. අපට ජනමතයක් ඇති කිරීමට නොහැකි විය. වෛරී දේශපාලනයක කරවටක් බැස ඇති මෛත්‍රිපාල කිසි දිනෙක මහින්ද අගමැති නොකරන බව අපි දැන සිටියෙමු. අපට අවශ්‍ය වූයේ ඔහු එසේ නොකළත් ඔහුට එසේ කිරීමට හැකි බව ජනතාවට කීමට ය.

අපි මේ අලුත් ආණ්ඩුවක් බිහිකිරීම සඳහා ගෙන යන කතා තුට්ටුවකටවත් මායිම් නො කරමු. ඩිලාන් අද මහා ඉහළින් කෙසේ වෙතත් ඉහළින් මහින්ද ගැන කියයි. ඩිලාන්ලා මහින්දට ඇති ඇල්ම මහින්දගෙන් ම දැනගත හැකි යැයි විශ්වාස කරමු. එස් බී පිටුපස විවිධ අය සිටිය හැකි ය. කෙසේ වෙතත් මේ අලුත් ආණ්ඩු ප්‍රචාරය වෙනත් කිසිවක් සඳහා නොව වෙන ම පක්‍ෂයක් (දැනට සංවිධානයක්) පිහිටුවීම වැළැක්වීමටත් අලුත් ව්‍යවස්ථාව සම්මත කරගැනීමත් සඳහා ය. ඇතැම් විට ඒකාබද්ධ විපක්‍ෂයේ කිහිප දෙනකු ද අලුත් ආණ්ඩුවේ ඇමතිකම් බලාපොරොත්තුවෙන් සිටිය හැකි ය. ඩිලාන්ට අනුව අලුත් ආණ්ඩුව තව වසර දෙකකින් පිහිටුවනු ඇත. ඔහු මේ ආණ්ඩුව දිගට ම පවත්වාගෙන යෑමට කැමති නැත. මෙහි දී මෙහෙමත් රටක් යනුවෙන් ගැමියකු කීමට ඉඩ ඇත. ආණ්ඩුවේ ඇමතිවරු ආණ්ඩුව වෙනුවට වෙනත් ආණ්ඩු පිහිටුවීමක් ගැන කතා කරති. ඔවුන්ට විරුද්ධ ව කිසිම විනය පරීක්‍ෂණයක් නො පැවැත්වෙයි.

ආණ්ඩුවේ මෛත්‍රිපාලගේ කණ්ඩායම හා එක්සත් ජාතික පක්‍ෂයේ කණ්ඩායම යනුවෙන් කණ්ඩායම් දෙකක් ඇති බව කීමට ඊනියා දේශපාලන විද්‍යාඥයන්් අවශ්‍ය නො වේ. කණ්ඩායම් කීයක් තිබුණත් අද ආණ්ඩුව ගෙන යනු ලබන්නේ රනිල් විසිනි. රනිල්ට ජනාධිපති වීමට නොහැකි බැවින් මෛත්‍රීපාල ජනාධිපති කරනු ලැබිණි. ඉන් පසු එ ජා පක්‍ෂයට තනිව ම ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වේ යැයි සිතූ බැවින් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට 46 (3) අනුව්‍යවස්ථාව එක් කෙරිණි. ඒ ආණ්ඩුවක් පිහිටුවීමට මෛත්‍රිපාලගේ සහාය ලබාගැනීමට ය.

දැන් ප්‍රශ්නය ආණ්ඩුව පවත්වාගෙන යෑම ය. එමෙන් ම අලුත් ව්‍යවස්ථාව සම්මත කරගෙන රට පාවාදීම ය. එහෙත් මහජන මතය ආණ්ඩුවට විරුද්ධව නැග එයි. දෙමළ ජාතිවාදය එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල හා ඉන්දියාවේ අනුග්‍රහය හා අනුබලය යටතේ සීඝ්‍රයෙන් වැඩෙයි. දෙමළ ත්‍රස්තවාදය ද නැවතත් හිස ඔසවයි. උතුරු හා නැගෙනහිර පළාත්වල මහ ඇමතිවරු රාජ්‍යයට තර්ජනය කරති. ආර්ථිකය බලා සිටිය දී කඩා වැටෙයි. මැති ඇමතිවරුන්ගේ දුෂණවල කෙළවරක් නැත. එහෙත් ඔවුහු සුදනන් ලෙස රංගනයක යෙදෙති. ප්‍රශ්නය නැගී එන ජනමතය පාලනය කරන්නේ කෙසේ ද යන්න ය. එහි දී කෙසේ නමුත් නව සංවිධානයක් ඇති වීම ද වැළැක්විය යුතු ය.

මේ ප්‍රශ්නවලට විසඳුම අලුත් ආණ්ඩුවක කතාවක් ඇරඹීම ය. ඩිලාන් ජනතාවට අවුරුදු දෙකකට බලාපොරොත්තුවක් දී ඇත. එස් බී තමාට අගමැති විය හැකි යැයි පවසයි. මහින්ද අගමැති කිරීමට කිසිවකු කතා නොකරන්නේ ඇයි? මහින්ද ජනප්‍රිය නැතැයි ඔවුහු සිතත් ද? අලුත් ආණ්ඩු කතාව ඒකාබද්ධ විපක්‍ෂයට මෙන් ම ජනතාවට ද දෙන ඇමකි. ඇම ගිල්ලොත් බටහිරයන් ආණ්ඩුව ලවා තමන්ට අවශ්‍ය සියල්ල ඉටු කරගනු ඇත. ඩිලාන්ගේ අවුරුදු දෙක ගෙවෙන්නට පෙර අලුත් ව්‍යවස්ථාව ද සම්මත කරගනු ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය (එකල තිබූ සංධානය) ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් යැයි කියමින් රනිල්ට විධායක බලය දීම සඳහා දහනවවැනි සංශෝධනය සම්මත කරගැනීමට ඡන්දය දුන්නේ ය. දැන් ඒකාබද්ධ විපක්‍ෂය අලුත් ව්‍යවස්ථා මගඩියට හසු වී සිටියි. පාර්ලිමේන්තුව සහභාගි වන ඊනියා ව්‍යවස්ථාදායක සභාවක් මගින් මේ සූදානම් වන්නේ අධිකරණයට ද නොගොස් පවත්නා ව්‍යවස්ථවට පිටින් ගොස් රට පාවාදෙන ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ය. විපක්‍ෂය නව ව්‍යවස්ථාව යන්න සංශෝධනය කර ව්‍යවස්ථාවක් ඇතිකිරීම සඳහා එකඟ වී ඇත.

අලුත් ව්‍යවස්ථාව යටතේ රනිල්ට තව තවත් බලතල හිමිවනු ඇත. දැනට නාමික ව හෝ ව්‍යවස්ථානුකූල ව අගමැති පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපති ලෙස මෛත්‍රීපාලට ය. එහෙත් ඔහුට තමන් කැමති කෙනකු අගමැති කළ හැකි යැයි කිසිවකු සිතන්නේ නම් ඒ මුළාවකි. මෛත්‍රීපාලට මහින්ද තබා එස් බී වත් අගමැති කළ නො හැකි ය. ව්‍යවස්ථාවේ පරස්පරය අනුව එසේ කළ හැකි වුවත් ඔහුට එසේ කිරීමට ඉඩ නො දෙනු ඇත. තමන්ට ඕනෑ අයකු අගමැති ලෙස පත්කිරීමට මෛත්‍රිපාලට ව්‍යවස්ථාවෙන් ෙසෙද්ධාන්තික ව හැකි වුවත් ප්‍රායෝගිකව එසේ කිරීමට නිදහසක් නැත.

රනිල් සිටිය දී මෛත්‍රිපාල වෙනත් අයකු අගමැති ලෙස පත් කරයි ද? අද ආණ්ඩුව ගෙන යනු ලබන්නේ රනිල් විසින් ය. උතුරු හා නැගෙනහිර පළාත්වල නමට ජනාධිපති පත්කළ ආණ්ඩුකාරවරු සිටිති. ඔවුහු මහ ඇමතිලාගෙන් බැණුම් අසති. මෛත්‍රිපාල පත්කෙරුණේ එංගලන්තයේ හා ඉන්දියාවේ අවශ්‍යතාවට ය. ඔවුන් කිසි විටෙකත් රනිල්ගෙන් අගමැතිකම වෙනස් කිරීමට මෛත්‍රිපාලට ඉඩ නො දෙනු ඇත. ඩිලාන් අගමැති කතා හා අලුත් ආණ්ඩු කතා කියන්නේ මෛත්‍රිපාල එස් බී හෝ නිමල් සිරිපාල හෝ වෙනත් අයකු හෝ අගමැති කරන බව සිතාගෙන විය නො හැකි ය. මේ කතා සුරංගනා කතා පමණ ය. ජනතාව සුරංගනා කතා විශ්වාස කළහොත් නැතිවන්නේ් රට ජාතිය හා ආගම ය. සුරංගනා කතා කියන අයට නම් ලබා ගැනීමට තවත් බොහෝ දේ ඇත.

ඔබගේ අවධානයට

මෙම ලිපිය 2016 මැයි 29 වැනි ඉරිදා රිවිර පුවත්පතෙහි පළකිරීම සඳහා යවන ලද්දකි. එහෙත් යම්කිසි හේතුවක් නිසා එය පළ නො කෙරිණි. ඉරිදා දිවයින පුවත්පත මගේ ලිපි පළකිරීම නැවතීමෙන් පසු මම ඉරිදා රිවිර පුවතප්තට ලිපි සැපයීමි. එහෙත් ඔවුහු ඉඳහිට මගේ ලිපි පළ නොකළහ. පසුකාලීනව ලිපි පළ කළේ එපා වාහෙට හොදි බෙදන්නාක් මෙනි. මින් පසු රිවිර පුවත්පතට ලිපි නොයවමි. අවුරුදු තිස්පහකට වැඩි කාලයක් ජනමාධ්‍ය සමග පැවැත්වූ සම්බන්ධය මෙතෙකින් නිමාවෙයි.

මෙරට ජනමාධ්‍යයෙහි සේවය කරන්නෝ බහුශ්‍රැතයෝ වෙති. මගේ ලිපි පළකිරීමට තරම් සුදුසු මට්ටමක නැති බව ඔවුන්ගේ තීරණය විය හැකි ය. විද්‍යුත් මාධ්‍ය මගේ කටහඬ ප්‍රචාරය කිරීම නවත්වා තරමක කාලයක් ගත වී ඇත. ඊයේ (2016 මැයි 28) මා ලියු ලිපියෙහි හතරවැනි බලයක් ගැන සඳහන් කෙළෙමි. ඒ ඉංගිරිසියෙන් ෆෝත් එස්ටේට් යන්න සඳහා යෙදුනක් විය. එය ෆෝත් එස්ටේට් මිස ෆෝර්ත් ස්ටේට් නොවන බව ජනමාධ්‍යවේදීන් දන්නේ යැයි සිතමි. එහෙත් ජනමාධ්‍ය රාජ්‍යයක් මෙන් කටයුතු කර ඇතැම් අදහස් වාරණය කරන බව නම් පැහැදිලි ය. මෙවර වාරණයට ලක්වූ ලිපිය අකරකු දු වෙනස් නොකර පහත පළවෙයි. මින් මතු ඔවුන් මගේ ලිපි වාරණය නොකරනු ඇත.

නලින් ද සිල්වා

2016 මැයි 29

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.