Breaking
24 Feb 2025, Mon

අර්ජුන් මහේන්ද්‍රන් නැවතත් කරළියට පැමිණිලා. අර බැඳුම්කර මගඩිය කාටවත් අමතක වෙලා නැහැ. ඒකෙ දි ඔහු බේරුණේ කොහොමද? නීතිඥයන් තුන් දෙනකුගෙන් සමන්විත මොකක්දෝ කමිටුවකින් ඔහු නිවැරදි කරු කළා. කමිටුව රනිල්ගෙ වැඩක්. රනිල් නීතිඥයන් පත්කිරීම ගැන කිවුවෙ කොහොමත් අවසානයේ දී විනිශ්චය කරන්නෙ නීතිඥයන් කියලා. රනිලුත් නීතිඥයෙක්. වැඩිය උසාවි ගියෙ නැති වුනාට කොළඹ විශ්වවිද්‍යාලෙ නීති උපාධිධාරියෙක්. මෙරට අගමැති තනතුරකට හරි ජනාධිපති තනතුරකට හරි පත්වෙච්ච ලංකාවෙ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලත් එකම තැනැත්තා රනිල් වෙන්න පුළුවන්.

රනිල් විශ්වවිද්‍යාලෙ ඉන්න කාලෙත් දේශපාලනඥයෙක්. වරක් පාර්ලිමේන්තුවට බලයෙන් ඇතුල් වෙලා කතානායක පුටුවෙ වාඩිවුණු ප්‍රසිද්ධ ශිෂ්‍ය නායකයා වූ එම් ඒ ජස්ටින්වත් හැසිරවීමට, මෙහෙයවීමට රනිල්ට හැකියාව තිබුණා. ජස්ටින් ඒ කාලෙ ලංකා සමසමාජ පක්‍ෂයෙ ශිෂ්‍ය සම්මේලනය වූ ලංකා ශිෂ්‍ය සම්මේලනයෙ නායකයෙක්. දැන් ලංකා ශිෂ්‍ය සම්මේලනයක් ගැන තිස්ස විතාරණටත් මතක ද දන්නෙ නැහැ. අද රනිල් දේශපාලනයෙ ඉන්න හුඟ දෙනකු මෙහෙයවනවා. මැතිවරණවලින් පැරදිලාත් එ ජා පක්‍ෂයෙ නායකකම රැකගැනීම මගිනුත් ඔහු ඒ බව පෙන්නුවා. ඒක ගැන සජිත්ගෙන් වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් කතාව තියෙන්නෙ රනිල් පිරිසිදුය කියලා. රනිල් පෞද්ගලික ජීවිතයෙ ධනය හොරකම් නොකළා වෙන්න පුළුවන්. ඒත් ඔහුගේ දේශපාලනය පිරිසිදු ද? මෛත්‍රිපාල කියනවා අර්ජුන් හින්ද රනිල්ගෙ නමට කැළලක් වෙයි කියලා තමාට බයයි කියලා. රනිල් එතරම් පිරිසිදු ද? ඔහු පාර්ලිමේන්තුවෙදී හැසිරෙන්නෙ විටෙක විහිළුකාරයකු වගේ. ඒක නම් කමක් නැහැයි කියමු. ඒත් ඔහු ජනමාධ්‍යවේදීන්ට, තමාගෙ විරුද්ධ දේශපාලනඥයන්ට පාර්ලිමේන්තුවේ දී තර්ජනය කරනවා. දේශපාලනයේ දී බලපෑම් නොකරන දේශපාලනඥයකු සොයා ගන්න බැහැ. පුද්ගලයන් බය කරන්න සුදු වෑන් යවන්න ම ඕනෑ නැහැ. රනිල් ඒ බව දන්නවා. රනිල් තවත් දේත් දන්නවා.

අද ලක්‍ෂමන් අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකුවෙ අධිපතිකම කරන්නෙ රනිල් හින්ද. අර්ජුන් මහේන් ද්‍රන් රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙක්. රනිල්ට අවුරුදු දහයක් විතර බාලයි. අර්ජුන්ගේ පියා ඒ විදුහලේ ගුරුවරයකු වෙලාත් ඉඳලා තියෙනවා. රනිල් කලින් වතාවෙ අගමැති වෙලා ඉන්දැද්දි අර්ජුන් ආයෝජන මණ්ඩලයේ සභාපති කරලා තියෙනවා. අර්ජුන්ලා රනිල්ලා අයිති වෙන්නෙ එකම සංස්කෘතියකට. ඒ සංස්කෘතියට අයත් නැති මෛත්‍රීපාලලා එස් බී ලා චම්පකලා ඒ සංස්කෘතියට සේවය කරනවා. අර්ජුන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබලා කලක් මහා බැංකුවෙ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු ලෙසත් සේවය කරලා තියෙනවා. සිංගප්පුරු පුරවැසිකම ලබාගෙන තියෙන්නෙ ඊට පස්සෙ.

එක්තරා වාර්තාවකට අනුව අර්ජුන් මහේන්ද්‍රන් තරමක තර්ජනයක් කරලා තියෙනවා. ඒ තමා මහා බැංකුවේ අධිපති කමෙන් අස්කරන්න කියන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට. ඔහු කියා ඇත්තෙ රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළීමට සිංගප්පුරුවෙදී සිදුවෙච්ච දේවල් හෙළිදරවු කරනවා කියලා. මේ තමයි රටේ අද තියෙන ගනුදෙනු හෙවත් ඩීල් දේශපාලනය . මේක කලිනුත් තිබුණා. ඒත් ඒ දවස්වල ලංසුව එපමණ ලොකු නැහැ. එදා ගනුදෙනු දේශපාලනයෙ මැදිහත් වුණු අයට අද එයට කිට්ටු කරන්නවත් බැහැ. අද ගනුදෙනු සිදුවන්නෙ ඩොලර් ලක්‍ෂවලින්. තැන්පත් කෙරෙන්නෙ සිංගප්පුරුව ඇතුළු විදේශීය බැංකුවල.

පහුගිය කාලෙ සංධාන මැති ඇමතිවරු සිංගප්පුරු යනවා එනවා අපට මතකයි. ඒ ගිහිල්ල එනකොට ඔවුන්ගෙ දේශපාලනය මාරුවෙලා. මහින්දවාදීන් ලෙස හිටපු අය සිංගප්පුරු ගිහින් ආවට පස්සෙ මහින්ද විරෝධීන් බවට පත්වුණා. සමහරුන්ගෙන් සිංගප්පුරු ගියේ ඇයි කියලා ඇහුවම මිතුරකුගෙ පුතාගෙ මංගල්ලෙට නැත්නම් ඒ වගේ දෙයකට කියලා කිවුවා. මේ මංගල්ලවලට ගියාම යන අයට තෑගි ලැබෙනවා.

රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළුවෙ තමන් කියලා හිතාගෙන ඉන්න පඬියන්, ඊනියා සිවිල් සමාජ සාමාජිකයන්, ඊනියා යුග පෙරළි ගැන කතාකරන දේශපාලන පක්‍ෂවල හා සංවිධානවල සාමාජිකයන් ආදීන් සිංගප්පුරු මංගල්ල ගැන නොදන්නවා වෙන්න බැහැ. ඒ අයටත් අර ජයමංගල ගාථා කියන්න එන දැරියන්ට වගේ සිංගප්පුරු නොගොහින් ම ලියුම් කවරෙක දාල පොඩි් තෑග්ගක් ලැබෙන්නත් ඇති. ඒත් ආණ්ඩුව පෙරළුවෙ ලොකු ගනුදෙනු දේශපාලනයෙන්. සිංගප්පුරුවෙ කෙරුණ වැඩ ගැන අර්ජුන් මහේන්ද්‍රන් දන්නවත් ඇති.

ඒත් ප්‍රශ්නය අර්ජුන් දන්නවද නැද්ද කියන එක නෙවෙයි. රනිල් දන්නෙ නැද්ද කියන එක. අප අරාබි වසන්තය ගැන කියන විට මුලදී කවුරුන්වත් ඒක තඹ සතේකට මායිම් කෙරුවෙ නැහැ. ඊනියා රාජපක්‍ෂ රෙජිමය ඝාතනවලින් තොරව කසිකබල් පාර්ලිමේන්තු ප්‍රජාතන්තවාදය යොදා ගනිමින් සිංගප්පුරුව හරි වෙනත් රටක් හරි මගින් ගනුදෙනු දේශපාලනයෙන් කරන්න පු්‍රළුවන් කියන එක බටහිර ඔත්තු සේවා මෙන් ම ඉන්දියාවෙ රෝ ඔත්තු සේවයත් දැනගෙන ඉන්න ඇති. රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළුනෙ ලංකාවෙ පවත්වපු ඡන්දෙන් කියන එක තමයි බටහිරයන් බාහිර ලෝකයටත් අපටත් කියන්නෙ. ඒත් ආණ්ඩුව පෙරළුනෙ සිංගප්පුරුවදී. මේ වැඩේට, නැහැ ව්‍යාපෘතියට සිංගප්පූරු වසන්තය කියල නමක් දාන්නත් පුළුවන්.

රාජපක්‍ෂ රෙජිමය කියන්නෙ බටහිරයන් රනිල්ට කියා දුන්න වචන. ඊනියා රාජපක්‍ෂ රෙජිමය පෙරළීමේ නායකත්වය ගත්තෙ රනිල්. ඔහුගේ දේශපාලනය පිරිසිදු ද? ඒක සිංගප්පුරු මහේන්ද්‍රන් දන්නව ඇති!
නලින් ද සිල්වා

2016 ජූනි 14

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.