Breaking
23 Feb 2025, Sun

රාජපක්‍ෂලාට එරෙහි ව රාජපක්‍ෂලා

ගණනාථ ද නාථ ද ලිපිය ලිවීම දිනෙන් දින කල් යනවා. ඒ අතර ගණනාථලා අනුව යන එච් එල් සෙනෙවිරත්න වැනි සමාජ විද්‍යාඥයන් යැයි කියා ගන්නා අනුකාරක ශාස්ත්‍රීය දුගියන් මේ සියලු ප්‍රශ්නවලට වග කිව යුත්තේ පනස්හයේ පෙරළිය කියා කියනවා. ඔහු දිනක් මා හමුවීමට පැමිණියා. ඔහු මොන තරම් අනුකාරක ශාස්ත්‍රීය දුගියකු ද යන්න මා එදා මොනවට අවබෝධ කර ගත්තා. ඔහු ලංකාවට පැමිණි දිනෙක නැවත හමුවීමට හැකි නම් හොඳයි. මා හමුවීමට පැමිණෙන බොහෝ දෙනා නැවත මා හමුවීමට එන්නේ නැහැ. ඔවුන් අතර අනුකාරක ශාස්ත්‍රීය දුගියන් ද කසිකබල් දේශපාලනඥයන් ද සිටිනවා. වරක් එක් පූජකවරයකු මා හමුවීමට ඉබ්බාගමුවෙන් පැමිණියා. ඔහුටත් මහා විශ්ලේෂකයකු ලෙස පෙනී සිටින යුග පෙරළිකාර වත්මන් මන්ත්‍රීවරයකුටත් පමණක් නැවත නොපැමිණෙන ලෙස අණ කරන්න මට සිදු වුණා.

මේ ලිපි මුහුණු පොතේත් පළ කෙරෙනවා. ඒ වෙනත් අය විසින්. ඒ ලිපි කියවන අයගෙන් වැඩි දෙනා මහින්දවාදීන්. මහින්ද ගැන සුළු විවේචනයක් කරනවාටවත් මහින්දවාදීන් කැමති නැති බව පැහැදිලියි. ඔවුන් මේ ලිපියටත් අකමැති වේවි. සමහර විට ලිපි කියවන එකත් නවත්තාවි. මේ රට ජාතිකත්වයට ගැනීමට මහින්දට 2009 දී නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ලැබුණු අවස්ථාව ඔහු නැති කර ගත්තා. ඒ නන්දිකඩාල් ජාතිකවාදීන් ළං කර ගෙන ඔවුන්ගේ අවවාද අනුශාසනා අනුව වැඩ කිරීමෙන්. 2010 දී ජනතාව ඔහුට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන්නා. එහෙත් බටහිරයන් සූක්‍ෂම ව නන්දිකඩාල් ජාතිකවාදීන් යොදා ගෙන ඔහු පරාජය කළා. නන්දිකඩාල් ජාතිකවාදීන් අතර ඊනියා ස්මාට් ජාතිකවාදීන් ද කොළපාට සමාජකාරයන් ද සිටියා. ඇතැම් රාජපක්‍ෂවරුන් ද ඔහුට පරාජය හිමි කර දුන්නා. මෛත්‍රිපාලලා නැති කර ගනු ලැබුයේ මේ රාජපක්‍ෂලා විසින්.

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැති බවට කතාවක් තියෙනවා. එහෙත් මෙරට දේශපාලනයෙහි මෛත්‍රිපාල – රාජපක්‍ෂ වෛරය ජන්මාන්තර එකක් බවට පත් වී තිබෙන බවක් පෙනෙනවා. මෛත්‍රිපාල යහපත් අයකු නො වෙයි. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයට ද්‍රෝහි වුණා. ශ්‍රී ල නි ප මරා දැම්මා. එහෙත් ඔහු වර්තමානයේ ප්‍රධාන (පොදු) සතුරා නො වෙයි. ප්‍රධාන සතුරා රනිල්. ඊළඟට අනුර කුමාර දෙමළ ජාතිවාදීන් කසිකබල් වාමාංශීකයන් ආදීන් ඉන්නවා. මෛත්‍රිපාල සමග එකතු වීමට බාධාවක් නැහැ. කළ යුතුව ඇත්තේ මෛත්‍රිපාල සමග එකතු වී රනිල් පන්නා දැමීම මිස මෛත්‍රිපාල පැන්නීමට රනිල්ට වක්‍රවවත් උපකාර කිරීම නො වෙයි. අද ඇතැම් රාජපක්‍ෂලා කරන්නේ රනිල්ට වක්‍රව උපකාර කිරීමක්. ඔවුන්ට අවශ්‍ය 2020 දී මහින්ද විපක්‍ෂ නායක කරන්න. 2025 දී රාජපක්‍ෂ කෙනකු ජනාධිපති කරන්න. අද නොව එදා 2015 දී සංධානයෙන් අයින් වී වෙන ම තරග කළා නම් ඒ මැතිවරණයෙන් සමහර විට මහින්ද අගමැති කරන්න තිබුණා. අඩුම තරමින් විපක්‍ෂ නායක කරන්න තිබුණා.

ඕනෑම දෙයක් කළ යුත්තේ යම් සංදර්භයක. අවශ්‍ය විට නොකර වෙනත් අවස්ථාවක කරන දේ පාරාවළලල්ලක් වෙනවා. 2015 නොකළ දේ 2018 කරලා දිනන්න බැහැ. 2020 වන තුරු බලා නොසිට 2018 දී ම මහින්ද විපක්‍ෂ නායක නොව අගමැති කරන්න පුළුවන්. ඒ රනිල් පන්නා දැමීමට මෛත්‍රිපාල සමග එකතු වීමෙන්. මෛත්‍රිපාල විශ්වාස කරන්න බැරි යැයි කියන්න පුළුවන්. එහෙත් මෛත්‍රිපාලත් ඇතැම් රාජපක්‍ෂලාට බයයි. ඔහුටත් ඇතැම් රාජපක්‍ෂලා අවිශ්වාසයි. රනිල් පන්නා දැමීමට මේ රාජපක්‍ෂලා විරුද්ධ බව පේනවා. අද මෛත්‍රිපාල කඩුව අතට ගැනීමක් ගැන කියනවා. මේ කඩුව කඩ්ඩක් වුණොත් ඔහුත් කැපී රනිල් ශක්තිමත් වෙනවා. කඩුව මුවහත් කළ හැක්කේ මහින්දට.

මෛත්‍රිපාලට රනිල් ඉවත් කරන්න යැයි කී විට මේ ලිපි කියවන ඇතැම් මහින්දවාදීන් අසා තිබුණේ මෛත්‍රිපාලට එසේ කිරීමට පණක් කොන්දක් තියෙනවා ද කියා. ඔහු කිසිසේත් ම ශක්තිමත් පුද්ගලයෙක් නො වෙයි. ඔහු අත්වැසුම් නොමැතිව එලිසබෙත්ට අතට අත දීම, පුටින්ට ලිපියක් යැවීම, පකිස්තාන් ජනාධිපතිට දුරකතනයෙන් කතා කිරීම ආදිය ගැන කියවන්නේ ඔහුගේ දුර්වලකම වසා ගැනීමට. ඔහුට බැරි ද ට්‍රම්ප්ටත් දුරකතනයෙන් කතා කර ජී එස් පී ලබා ගැනීමට. යුරෝපයේ ජී එස් පී + ගැන මහත් උද්‍යොගයෙන් කතා කළ එ ජා ප පඬියන් දැන් ජී එස් පී එතරම් වැදගත් නැති බවට සංඛ්‍යාන ඉදිරිපත් කරනවා. මේ සිද්ධිය ජෙරුසලම සමග සම්බන්ධයක් නැහැ. ට්‍රම්ප්ට ඊනියා ජාත්‍යන්තරය වැදගත් නැහැ. ඔහු තමාගේ ම වූ දඩබ්බර ක්‍රමයකට තම රට ගැන පළමුවෙන් සිතනවා. රනිල්ලා කවදාවත් තම රට ගැන පළමුවෙන් සිතුවේ නැහැ. සිංහල භාෂාව මළ බසක් යැයි කියන අය මා සමග එකට ඉගෙන ගත්තවුන් අතරත් ඉන්නවා.

කෙසේ නමුත් මෛත්‍රිපාලට රනිල් ඉවත් කළ හැක්කේ ඔහුට මහින්ද ශක්තිය දෙන්නේ නම් පමණයි. ඒ ශක්තිය දුන්නොත් පළාත් පාලන ආයතන මැතිවරණය ඉතාමත් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන්න පුළුවන්. එහෙත් ශක්තිය ලබා දිය යුත්තේ මැතිවරණය ඉලක්ක කරගෙන නො වෙයි. කොහොමටත් මේ මැතිවරණය ජාතික මැතිවරණයක් නො වෙයි. එය ජාත්‍යන්තර හා ඉතා පටු ප්‍රාදේශීය මැතිවරණයක්. ජාතික ප්‍රශ්න වැදගත් වන්නේ මහින්ද මෛත්‍රිපාල එකතු වුණොත් පමණයි. නැත්නම් මැතිවරණය කුල ප්‍රශ්නවලට පවා පටු වෙන්න පුළුවන්. එය සිංහල සමාජය ආපසු ගෙන යෑමක්.

ඊනියා ජාත්‍යන්තරය අද වන විටත් මැතිවරණයට මැදිහත් වෙලා. ඔවුන් අද විනාශ වීමට තිබූ ජ වි පෙරමුණට නව පණක් දීමට කටයුතු කරනවා. ජ වි පෙ සිංහල සමාජයට අත් කර දී ඇත්තේ විපත් පමණයි. එය පවත්වා ගෙන යෑමට ඊනියා ජාත්‍යන්තරයට අවශ්‍යයයි. අද ඒ පක්‍ෂය ඉස්සීමට පෞද්ගලික ජනමාධ්‍ය, ඊනියා විකල්ප පුවත්පත් හා සංවිධාන, අනුකාරක ශාස්ත්‍රීය දුගියන් ඉදිරිපත් වී ඇත්තේ තනි තනිව නො වෙයි. එහි සංවිධානාත්මක බවක් තියෙනවා. ජ වි පෙරමුණ ද දේශපාලන වශයෙන් අතුගා දැමීමට මහින්ද මෛත්‍රිපාල එකතු වී රනිල් පන්නා දැමිය යුතුයි. එසේ නොකළහොත් එහි විපාක විඳින්නට සිදුවන්නේ පිටරට රටවැසිකම ඇති රාජපක්‍ෂලාට නොව මෙරට ජනතාවටයි.

__________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-30

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.