පළාත් සභාවේ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වූ බැවින් බස්නාහිර පළාත් සභාවට අලුතින් මන්ත්‍රීවරු හය දෙනෙක් ජනාධිපතිවරයා විසින් පසුගියදා පත් කෙරිණ.ඒ යටතේ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් කාමල් නයනකාන්ත කුරුප්පු, ප‍්‍රදීප් චන්දන පෙරේරා , ඩෝල්ටන් ජානක සූරියබණ්ඩාර දිවුරුම් දුන්හ.
නමුත් එක්සත් ජනතා නිදහස් සංධානයේ පසුගිය පළාත් සභා මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව ඒ වෙද්දී තේරී පත් නොවූ අපේක්ෂකයන්ගේ මනාප පහත අනුපිළිවෙලින් විය.
ප්‍රජාතන්ත්‍රවාදයේ හෝ සදාචාරයේ අයනු ආයනු වලට ගරු කරන්නේ නම් පත් විය යුතුව තිබුණේ 1, 2, 3 මනාප පිළිවලින් ලබාගත් මන්ත්‍රීවරු තිදෙනාය. නමුත් සිරිසේන මහතා එකසත් ජනතා නිදහස් සංධානයේ සභාපතිවරයා ලෙස 1, 2, 3 වෙනුවට තෝරා ගෙන තිබෙන්නේ 2 , 4 , 5 ස්ථානයන්ට මනාප ගත් මන්ත්‍රීවරුන්ය.මේ නම් අරුම පුදුම ප්‍රජාතන්ත්‍රවාදයකි. අරුම පුදුම සාධාරණත්වයකි.
[ජනතා විමුක්ති පෙරමුණ මෑතක් වන තුරුම භාවිතා කළේ මේ මැතිවරණයෙන් පත් වන අපෙක්ෂකයන් පිළිබඳ සැලකිල්ලට නොගනිමින් නායකත්වය විසින් මන්ත්‍රීන් පත් කරන විකෘති ක්‍රමයයි.නමුත් දැන් ඔවුන් පවා එය අත් හැර දමා තිබේ.]
සමහර විට විද්‍යාතමක ඇමති මණ්ඩලය තේරූ “අතිශය නවීන විද්‍යාත්මක ක්‍රමයම” මේ තෝරාගැනීමට භාවිතා කළා වන්නට පුලුවන. අපේ හිතවතෙකු නම් පැවසුවේ මේ තෝරාගැනීම කර ඇත්තේ සුප්‍රකට ‘ ඩක්වත් ලුවිස් ‘ ගණනයට (Duckworth–Lewis method) අනුකූලව බවයි. එය ප්‍රජාතන්ත්‍රවාදය නොව ‘ආරච්චිවාදය’ යැයි ඔහු තව දුරටත් විස්තර කළේය. මහ මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තුව තේරීමේදීද සිරිසේන මහතා යොදා ගත්තේ මේ ‘ඩක්වත් ලුවිස්’ න්‍යාය යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙහිදී කපා දැමූ මන්ත්‍රීවරයෙකු වන්නේ මධුමාදව අරවින්ද මහතාය. ( පෞද්ගලිකව මධුමාදව අරවින්ද මහතාගේ දේශපාලනය යෝ ජීවන රටාව හෝ කිසිම දෙයක් මේ ලියුම්කරුගේ ප්‍රසාදයට හේතු වන කරුණු නම් නොවේ. නමුත් අරුම පුදුම ප්‍රජාතන්ත්‍රවාදයේ රස ගුණ විවේචනයට එය බාධාවක් නොවේ. ) සරලවම සිරිසේන මහතා විසින් මධුමාධවගේ නම කපා දමන්නේ ඔහු සිරිසේන මහතාගේ දේශපාලන විවේචකයෙකු වන නිසාමය. ඊට අමතරව මධුමාධව, සිරිසේන මහතාගේ තවම දකුණු අත සේ සිටින කුප්‍රකට විදුලි ඉංජිනේරු ඇමතිවරයාගේද දේශපාලන එදිරිවාදියෙකි. ඒ අනුව බැලූ විට සිරිසේන මහතාට ‘ඩක්වත් ලුවිස්’ න්‍යාය ඉගැන්නුවේ ඒ විදුලි ඉංජිනේරුවරයා වන්නටද බැරි නැත.
ප්‍රජාතන්ත්‍රවාදය සමාජ සාධාරණය ආදී පුරුෂාර්ථ ගැන ගැන නිතර දෙසමින් ඊට හාත්පසින්ම විරුද්ධව ක්‍රියා කිරීමට මිනිසෙකුට හැකි වන්නේ කුමන මනොභාවයකින් දැයි අපට නම් තවම හරියටම නොතේරේ. එය කුමක් වුවත් නීරෝගී ප්‍රකෘති මනෝභාවයක් නම් විය නොහැකිය. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට හෝ සාධාරණ සමාජයකට හෝ පිවිතුරු හෙටකට හෝ ගැලපෙන්නේ කෙසේදැයි මේ සංකල්ප සින්නක්කරයට ලියාගෙන ඒවාට පෙරේතයන් කුම්භාණ්ඩයන් සේ අරක් ගෙන සිටින උන්නාන්සේලා හෝ ආචාර්‍ය මහාචාර්‍ය මහත්වරුන්වත් අපට පැහැදිළි කර දෙන්නේ නම් වටී.
අපට මතක හැටියට නම් සිරිසේන මහතා ජානාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස සහභාගිවන බව පැවසූ පළමු මාධ්‍ය හමුවේදීම හෙළි කළේ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිප ය තමන්ගේ පවුලේ සහ හිතවතුන්ගේ පක්ෂයක් බවට පත් කරමින් ඇති බවත් සුදුස්සාට සුදුසු තැන නොලැබීම ඔහු ඒ තැනට එන්නට බලපෑ ප්‍රමුඛම කාරණය බවත්ය. ඒ වෙලාවේ නම් සුදුස්සාට සුදුසු ක්‍රමය තීරණය කරන්නේ ‘ඩක්වත් ලුවිස්’ ක්‍රමයට යැයි නිකමටවත් සිතුනේ නැත.
සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත් පළමු පැයේ සිටම ක්‍රියාකරමින් ඇත්තේ උද්ධච්ච ඒකාධිපතියෙකු ලෙසය. පිටට එකක් පවසන ඔහු ප්‍රායෝගිකව ක්‍රියා කරමින් සිටින්නේ අතිශය ඊට හාත්පසින්ම විරුද්ධ ඒකාධිපති මගකය. අගමැතිවරයා පත් කිරීම , අගවිනිසුරුවරයා ඉවත් කිරීමෙන් පටන් ගත් මේ ඒකාධිපති ‘සෙල්ලම’ පසුව ශ්‍රීලංනිප ය ගල ග්‍රහණයට ලක් කරගැනීම , මහ මැතිවරණයේදී තම පක්ෂයේ පරාජය වෙනුවෙන් උද්ධච්ච් ලෙස නිර්ලජ්ජිතව ක්‍රියා කිරීම හරහා අවසානයේ ජාතික ලැයිතුව මහ දවල් කොල්ල කෑම දක්වා විහිදිණි.
ඉන් එහාටද යමින් විපක්ෂයේ හඬ නිහඬ කර එයද තම බල ව්‍යාපෘතියට ආයෝජනය කිරිමටද ඔහු ක්‍රියා කළේය. (රූකඩ ඒකාධිපති ජනපති සිරිසේන යන මැයෙන් යුතුකම වෙබ් අවකාශයේ මීට බොහො දිනකට පෙර පළකළ ලිපිය කියවන්න.)මේ ඒ ගමනේ තවත් පියවරකි.
මේ ‘විහිළුව’ සමග ඇසුනු අනිත් පුවතින් කියවුනේ සන්ධානයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට ඉල්ලා පරාජය වූ හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහ මහතාට ශ්‍රීලනිපයේ ජ්‍යේෂ්ඨයන් කපා දමා සන්ධාන පළාත් සභාවේ ඇමතිධූරයක් පිරිනැමීමයි.
පුදුම විය යුතු නැත. අප පසු කරමින් සිටින්නේ නිවටකම වීරකමක් ලෙසත් , පාවාදීම ආඩම්බරයක් ලෙසත් , දුෂ්ඨත්වය මෛත්‍රිය ලෙසත් , ජඩකම සාධාරණය ලෙසත් අර්ථ ගැන්වෙන අපූරු යුගයක්ය. එහිදී මෙවැනි නාඩගම් ඉදිරියටත් අත් දැකීමට ලැබෙනු ඇති.
යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය