Breaking
24 Feb 2025, Mon

ලෙනින්, ස්ටැලින්, මාඕ, කස්ත්‍රෝ, චේ ගෙවාරා, විජේවීර ආදීන් ගිය පාරේ හා වැඩියෙන් හයිලෙවල් පාරේ ගිය අය…. අනුර සහෝදරයා බිට්කොයින් මිල දී ගන්නවා ද?

විජේවීරගෙන් හා ප්‍රභාකරන්ගෙන් පසුව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල වෙලා. එක අතකින් ගත් විට ප්‍රභාකරන් ලංකාවට ම පහරක් එල්ල කළා. ඔහුට ප්‍රජාතන්ත්‍රවාදයවත් මාක්ස්වාදයවත් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔහුගේ වාදය ත්‍රස්තවාදය. විජේවීරගෙත් වාදය ත්‍රස්තවාදය. පෙරටුගාමින් එහෙම නො වෙයි. ඔවුන් විප්ලවවාදීන්. ලෙනින්, ස්ටැලින්, මාඕ, කස්ත්‍රෝ, චේ ගෙවාරා, විජේවීර ආදීන් ගිය පාරේ හා වැඩියෙන් හයිලෙවල් පාරේ ගිය අය. ගාලු පාරෙත් නුවර පාරෙත් යන්න ඇති.

පෙරටුගාමීන් මෙවර පළාත් පාලන ආයතන මැතිවරණවල දී තරග කරන්නෙ නැති බවට තීරණයක් අරගෙන. පෙරටුගාමින් නැති කම විශාල පාඩුවක්. ප්‍රජාතන්ත්‍රවාදයට හුස්ම ගන්නත් අමාරු වෙන්න ඉඩ තියෙනවා. ඒත් රනිල් වික්‍රමසිංහ හා අනුර දිසානායක ඉන්නකන් බයවෙන්න දෙයක් නැහැ. ඔවුන් කොහොම හරි ප්‍රජාතන්ත්‍රවාදයට හුස්ම ටිකක් එංගලන්තෙන් හරි ඉන්දියාවෙන් හරි ගෙනල්ල දේවි.

කාලෝ ෆොන්සේකාට අනුවත් ක්වොන්ටම් භෞතිකයේ විශාරද විද්වතකු වන පුබුදු ජාගොඩ තමයි පෙරටුගාමීන් මේ මැතිවරණයට ඉදිරිපත් නොවන කතාව කියන්නෙ. අර කුමාර් ගුණරත්නම් මොනව කියනව ද දන්නෙ නැහැ. ඔහු ගැන වැඩි ආරංචියක් නැහැ. ඔහු පක්‍ෂය ගොඩ නගනවා වෙන්න ඇති. ඒක තව ආත්ම ගණනාවක් කරන්න තියෙන වැඩක්. අප ඔහුට කරදර කරන එක හරි නැහැ. පෙරටුගාමිනුත් එක කාලෙක ජ වි පෙරමුණේ හිටිය අය. ඔවුනුත් මැතිවරණවල ඡන්දය දීමට ඉදිරිපත් වුණු අය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඝාතනය කළ අය. විමල්ලා, අනුරලා, ගුණරත්නම්ලා, පුබුදුලා, වසන්ත බණ්ඩාරලා එලෙස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ අය. මට තව ටිකෙන් ගුණදාස අමරසේකරලා කියාත් කියවෙනවා.

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රධාන කරුණු දෙකයි තියෙන්නෙ. එකක් පෙරටුගාමීන් ඉදිරිපත් නොවීම, අනෙක අනුර දිසානායක තම විප්ලවවාදය හෙළිදරවු කර ගැනීම. විමල් – මෛත්‍රිපාල එක්ක එකතු වුණත් නැතත් මට වැඩක් නැහැ. ඔහුගෙ පක්‍ෂයට වැඩකුත් නැහැ. වීර කුමාරට ඇමති පදවියක්, රාජ්‍ය හරි කමක් නැහැ, හම්බ වෙන්න මෙච්චර කල් යන්නෙ මොකද කියන එක නම් දැවෙන ප්‍රශ්නයක්. ඒත් ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායම දැවෙන දැවිල්ලට ඒක මොකක් ද කියලා හිතෙනවා. කෝලිගෙ විවාහය ගැන අපේ ක්‍රීඩකයන් මොනවා කියනවා ද කියලා දැනගන්න කැමතියි. කෝලි ඉතා චාමෙට විවාහ වෙලා කියලා ජමාධ්‍යවේදීන් කියනවා. ඒත් ඉතාලියෙ තියෙන ලෝකෙම දෙවැනියට අය කරන බොහෝම චාම් හෝටලේක. පස්සෙ ඉන්දියාවෙ දී චාම් නැති උත්සවයක් ගනීවි. ඒකට දයාසිරිට හරි තිලංගට හරි දෙන්නට ම හරි ආරාධනා කරාවි ද? ඒත් ඒක මැතිවරණෙට අදාළ නැහැ. තව හොඳ විවාහයක් එන්න තියෙනවා. ඒ හැරී ගෙ. හැරී කිව්වෙ එලිසබෙත්ගෙ මුණුබුරා. චාල්ස්ගෙ පුතා. ප්‍රේමදාස අගමැති කාලෙ චාල්ස්ගෙ මගුලට බලෙන් ආරාධනා කරව ගත්ත. ඒකෙදි අතට අත දුන්නෙ අත්වැසුම් එක්ක ද නැතිව ද කියලා අහන්න කෙනෙක් නැහැ. ජේ ආර් ප්‍රේමදාස දෙන්න ම මැරිලා.

සීමා නීර්ණය හැම තිස්සෙම සිංහලයන්ට අවාසියි. අඹගමුව ගැන නඩුවක් තියෙනවා. නඩුව ඉවර වෙන්න ඉස්සෙල්ල මැතිවරණය ඉවර වේවි. අඹගමුවෙ ප්‍රශ්නය ගැන වැඩිය කතා කරන්න බැහැ. නඩුව නිසා. ඒත් සෝල්බරි කොමිසමේ ඉඳලා සීමා නීර්ණය වෙලා තියෙන්නෙ සිංහලයන්ගෙ අවාසියට, දෙමළ මුස්ලිම් ජනයාගෙ වාසියට. ඊටත් බොහොම අතීතයෙ සිංහලයන් වෙනුවෙනුත් දෙමළ කතා කරන ජනයා වෙනුවෙනුත් ව්‍යවස්ථාදායක සභාවෙ හිටියෙ බොහොම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකට එක්කෙනා බැගින්. පළාත් පාලන මැතිවරණෙන් පස්සෙ නිවාඩු තියෙනව නම් පත්වෙන මන්ත්‍රිල ජාතිය ජනවර්ගය ආගම අනුව වර්ග කරන්න. වර්ග කරලා බලන්න සිංහලයන්ගෙ සිංහල බෞද්ධයන්ගෙ ප්‍රතිශතය කීය ද කියලා. මා දන්නෙ නැහැ මා ජාතිවාදී ප්‍රකාශයක් කරලා සංහිඳියාවට බරක් වුණා ද කියලා. එහෙම වුණත් ඒක රනිල්ගෙ ණය බරට වැඩියෙ බරක් වෙන්න බැහැ.

සීමා නීර්ණ කමිටුව ලොකු වරදක් කරලා. ඇතැම් ජනවාර්ගික පක්‍ෂවලට වාසි වෙන විධියට සීමා නීර්ණය කෙරෙන අතරෙ පෙරටුගාමීන්ට වාසි වෙන විධියට සීමා නිර්ණය කළෙ නැත්තෙ මොක ද? සීමා නීර්ණය කරන්න තිබුණෙ ඒ ඒ විශ්වවිද්‍යාලවලට ආසන හිමි වෙන විධියට. ඒ වගේම ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල ආසනවල ම ලියා පදිංචි වීමට අවස්ථාව සලසන්න තිබුණා. එහෙම කළා නම් පෙරටුගාමින්ට විශ්වවිද්‍යාල ආසනවලට ඉදිරිපත් වෙලා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න තිබුණා. අර අන්තරේ කිහිප දෙනකුට මන්ත්‍රීලා වෙන්නත් තිබුණා. දැන් පෙරටුගාමින් කියාවි ඔවැනි පසුගාමී කතා කියන්න එපා කියා. තමන් දේශපාලනය කරන්නෙ මන්ත්‍රීලා වෙන්න නෙවෙයි කියාවි. ඒක නම් ඇත්ත. ජ වි පෙ හා ඔවුන්ගෙන් කැඩුණු අනෙක් බොහෝ අය, චම්පකලා ද විමල්ලා ද ඇතුළුව, මන්ත්‍රීලා වුණාට පෙරටුගාමින්ට නම් ඒක අමාරු වේවි.

මේ ගොල්ලන්ගෙ මව් පක්‍ෂය ජ වි පෙ දැන් ගජරාමෙට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වැඩ. ඔවුන් උමා ඔය පිහිටෙන් බණ්ඩාරවෙල දී ස්වාධීනව පළාත් පාලන ආයතනයට යන්න හදනවා. අනෙක් තැන්වල නම් අනිවා පරදිනවා කියලා මගේ මුහුණු පොත් මිතුරකු කියන්න ඉඩ තියෙනවා. ඒත් අනුර ළඟදි කියලා තිබුණා ඒ ගොල්ලො බලයට පත් වුණාම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලින් සපිරි ආර්ථිකයක් ගොඩ නගනවා කියලා. දැන් මේ අය කියන්නෙ පෞද්ගලික ආයතනත් මනා සැලැස්මක් යටතේ පාලනය කරනවා කියලයි. දැන් මේ පෞද්ගලික ආයතනවල ධනපතියන් ඉන්නවා ද? ප්‍රාග්ධනය තියෙනවා ද? ආයෝජනය කරන්නෙ බිට්කොයින්වලින් ද? අනුර සහෝදරයා බිට්කොයින් මිල දී ගන්නවා ද? අච්චු ගහනවා ද? ගුරුත්වාකර්ෂණ පට්ටපල් බොරුව ගෙතූ නිව්ටන් ලොක්කත් කාලෙකට ඉහත ලංඩනයේ සල්ල අච්චු ගැහුවා. බිට්කොයින් අච්චු ගහන්න ක්වොන්ටම් පරිගණක දවසක යොදා ගන්න පුළුවන් වේවි. අනුර සහෝදරයාට තරහ මරහ අත්හැරලා ක්වොන්ටම් ප්‍රාමාණික උගතා පුබුදු ජාගොඩ වැඩේට හවුල් කරගන්න පුළුවන්. එතෙක් අනුරට කරන්න තියෙන්නෙ එ ජා පක්‍ෂයෙන් සල්ලි ටිකක් ඉල්ලගන්න එක. විජේදාස රාජපක්‍ෂ එ ජා පක්‍ෂෙ නැහැ කියලා අනුර සහෝදරයා හිත නරක් කරගන්න ඕන නැහැ. ඔය විසිපන් ලක්‍ෂයක් වගේ පොඩි ගණනක් දෙන්න පුළුවන් අය ධනපති පක්‍ෂවල ඕන තරම් ඉන්නවා. ප්‍රශ්නෙ තියෙන්නෙ මාක්ස් මොනව කියලා තිබුණත් ධනපති පක්‍ෂ, ප්‍රාග්ධනය, ඓතිහාසික භෞතිකවාදය, අපෝහකය (දයලෙක්තිකය), වටිනාකම පිළිබඳ මාක්ස්ගෙ ශ්‍රම ප්‍රවාදය, ලෙනින්ගෙ පංති විඥානය ආදීය අනුරගෙ ලෝකෙ තියෙනවා ද කියන එක. ඔහු කතා කරන්නෙ පෞද්ගලික අංශයත් මනා සැලැස්මකට අනුව පාලනය කරන්න. ධනපති පංතියට මාක්ස්ගෙ ම පිහිටයි. එතකොට කම්කරු පංතිය. ඒකට විජේවීරගෙ පිහිටයි. ඒත් ඔහු කම්කරු පංතියට කිව්වෙ නිර්ධන පංතිය කියලා. ඔය උච්චාරණ ගැන වැඩිය හොයන්න හොඳ නැහැ. චුට්ටෙ මල්ලි තරහ වේවි.

________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-16

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.