Breaking
25 Feb 2025, Tue

ලේ වැගීරීමක ආරම්භ හෙවත් විපක්‌ෂ නායකතුමාගේ ෆෙඩරල් සිහිනය!

න‍වතාදමා තිබූ වරාය නගරය ඉදිකිරීමට යහපාලන ආණ්‌ඩුවද කැමැත්ත පළකිරීම ගැන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය මෙහෙයවන බ්‍රාහ්මණ වංශිකයෝ නොසතුටට පත්ව සිටිති. ජනවාරි 08 වැනිදා රාජපක්‌ෂ රෙජීම පරාජය කිරීම සඳහා රෝ ඔත්තු සේවය හරහා මුදල් පොම්ප කරනු ලැබුවේ ලංකාවේ ක්‍රියාත්මක කරන චීන ව්‍යාපෘති වලට අකුල් හෙළීමේ මූලික පරමාර්ථයෙන්ය 2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකරන සමයේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ තමන් බලයට පත් වුවහොත් වරාය නගර ව්‍යාපෘතිය නතර කර දමන බවයි. එය ඉන්දීය මාධ්‍යයන්ට වැදගත් පුවතක්‌ විය. නමුත් 2016 අප්‍රේල් මුල් සතියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චීනයට යාමට ප්‍රථමවම වරාය ව්‍යාපෘතිය නැවත අරඹන ලෙස අදාළ කොන්ත්‍රාත් සමාගමට උපදෙස්‌ ලැබිණි. බීජින් නුවරට ගිය අගමැතිවරයා මත්තල ගුවන්තොටුපළත් හම්බන්තොට වරායත් චීන සමාගම්වලට පැවරීමට එකඟ විය. මේ යෝජනා නිසා දිල්ලි ආණ්‌ඩුව කලබල වී ඇති බව නම් පැහැදිලිය.‍

රාජපක්‌ෂ පාලනය පෙරළා දැමීමට ඉන්දියාවට නොඉවසිල්ලක්‌ පැවති බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් යළි මෛත්‍රීපාල – වික්‍රමසිංහ ආණ්‌ඩුව චීන තුරුල වෙත යොමුවීම දිල්ලි ආණ්‌ඩුව උරණ කිරීමක්‌ බව නම් සහතිකය. රාජපක්‌ෂ ආණ්‌ඩුව පළාත් සභාවලට ඉඩම් හා පොලිස්‌ බලතල බෙදීමට එකඟ නොවීම ඉන්දියාව උරණ කළ කරුණක්‌ බව ප්‍රකටය. මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඉන්දියාවේ වුවමනාව අනුව බලය බෙදයිද ? රට ‍ෆෙඩරල් කිරීමට උත්සාහ ගතහොත් යහපාලන ආණ්‌ඩුව දෙදරා යාමටද ඉඩ තිබේ. කවරක්‌ නමුත් යහපාලන ආණ්‌ඩුවේ සීතල බල අරගලයක්‌ ආරම්භවී ඇති බව නම් සහතිකය. පොලොන්නරුවේ බුද්ධි මණ්‌ඩපයේදී ජනාධිපතිවරයා වැට්‌ බදු සංශෝධනවලට පහර ගැසීමේ ඉලක්‌කය එ. ජා. ප.යද ? යහපාලන ආණ්‌ඩුවේ මූල්‍ය පාලනය සිදුවන්නේ අගමැතිගේ ප්‍රධානත්වයෙනි. ඒ අනුව මේ මූල්‍ය පාලනය ගැන ජනපතිවරයා නොසතුටින්ද ?‍

ඉන්දීය ආණ්‌ඩුව යහපාලන ආණ්‌ඩුවේ චීන ලැදියාව ගැන නොසන්සුන්වෙද්දී විපක්‌ෂ නායක ආර්. සම්බන්ධන් කිලිනොච්චියේ දෙමළ සන්ධාන කාර්යාලයේදී පැවැත්වූ කතාවක්‌ පිළිබඳව මාධ්‍යවල ප්‍රමුඛ අවධානයක්‌ යොමුව තිබිණි. කොටින්ගේ සන්නද්ධ අරගලය සාධාරණයෑයි විපක්‌ෂ නායක ආර්. සම්බන්ධන් කිලිනොච්චියේදී ප්‍රකාශ කරනු ලැබුවේ මියගිය කොටි ආත්මයන්ට උපහාර දක්‌වනු පිණිසද ? සාමාන්‍යයෙන් මධ්‍යස්‌ථ මතධාරියකු ලෙස සැලකෙන මේ වයෝවෘද්ධ දේශපාලකයා යළිත් වරක්‌ ප්‍රභාකරන්ගේ අරගලය සිහිකරන්නේ කවර අරමුණකින්ද ? චාවකච්ෙච්රියේ බෝම්බ අසු වූ නිසාද ? එසේත් නැත්නම් තර්ජන ගර්ජන කර ‍ෆෙඩරල් ලබා ගැනීමටද ? උතුරු නැගෙනහිර ජනතාව ප්‍රතික්‌ෂේප කරන දේශපාලන විසඳුමකට තමන් එකඟ නැති බවත් මෙහිදී සම්බන්ධන් අවධාරණය කර තිබිණි. කොටි අරගලය සාධාරණ කරන සම්බන්ධන්ට අද විපක්‌ෂනායක ධුරය හිමි වී ඇත්තේද ප්‍රභාකරන් ඝාතනය කර ඇති බැවිනි. කොටි සංවිධානය ක්‍රියාත්මකව පැවතියේ නම් කිසිම විටකදී සම්බන්ධන්ට විපක්‌ෂනායක ධුරය ලබාගැනීමට වන්නි මහ කැලයේ සැඟවී සිටින කොටි නායකයාගෙන් අවසර ලැබෙන්නේ නැහැ. අවසරයෙන් තොරව මේ ධුරය භාරගත්තේ නම් සම්බන්ධන් මහතා සොයාගෙන මරාගෙන මැරෙන බෝම්බකරුවෙක්‌ හෝ කාරියක්‌ පියඹා එන බව නම් සහතිකය. කොටි සංවිධානය අළු දූවිලි වී ඇති සමයක විපක්‌ෂ නායකයා යළිත් ඊළාම් අරගලය සිහිකරන්නේ දකුණේ ආණ්‌ඩුව බය කිරීමටද ?‍

මේ අතර උතුරු පළාත් සභාවේ දෙමළ සන්ධාන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී “‍ෆෙඩරල් ලබා ගන්න පුළුවන් එහෙත් වැඩ අවුල් කරන්න එපා” යෑයි ආර්. සම්බන්ධන් මහතා කළ ප්‍රකාශය හෙළා දකිමින් ජාතික හෙළ උරුමය නිවේදනයක්‌ද නිකුත් කර තිබිණි. සම්බන්ධන්ගේ ප්‍රකාශය ජාතික සංහිඳියාවට බාධාවක්‌ යෑයි එම නිවේදනයේ සඳහන්ව තිsබිණි. මහින්ද එලවා දමා යහපාලනය රජ කිරීමට කැපවූ හෙළ උරුමය අද පුවත්පත් නිවේදන නිකුත් කර සම්බන්ධන්ගේ ‍ෆෙඩරල් කුමන්ත්‍රණය පරාජය කිරීමට උත්සාහ කිරීම එක්‌ අතකින් ප්‍රොaඩාවකි. වර්තමාන ආණ්‌ඩුව නව ව්‍යවස්‌ථාව හරහා රට ‍ෆෙඩරල් කිරීමට උත්සාහ ගතහොත් එහි වගකීම ජාතික හෙළ උරුමයද අනිවාර්යයෙන්ම භාරගත යුතුය. යහපාලන ආණ්‌ඩුව සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් ජාතික ගීයද දෙමළෙන් ගයද්දී බොහෝ දෙනා නිහඬව සිටියේ ඒ නිසා දෙමළ ජනතාවගේ සිත් පැරේයයි යෑයි සිතාද ?‍

කවරක්‌ නමුත් රට ‍ෆෙඩරල් කිරීම හරහා කිසිවිටක ජාතික සංහිඳියාව ඇතිවන්නේ නැහැ. නව ව්‍යවස්‌ථාව හරහා රටේ කලාප කිහිපයක්‌ ඇති කිරීමට යෝජනාවී ඇති බව මාධ්‍යවල පළවී තිබිණි. නව ව්‍යවස්‌ථාව ගෙන එන තුරු කලබල නොවන්නැයි උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේද මේ කලාප හරහා ‍ෆෙඩරල් සිහිනය ජයගත හැකියෑයි සිතන නිසා විය හැකිය. යහපාලන ආණ්‌ඩුව ඉන්දියාව සතුටු කරවීම පිණිස උතුරට වැඩිබලතල ලබාදෙන ව්‍යවස්‌ථාවක්‌ ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. චීනයට ළංවී සිටීම නිසා මතුව තිබෙන අමනාපය දුරු කිරීමට ‍ෆෙඩරල් ව්‍යවස්‌ථාවක්‌ ඉදිරිපත් කිරීමට සිරිසේන – වික්‍රමසිංහ පාලනය අර අඳින්නේ ද ?‍

උතුරු නැගෙනහිර විශේෂ කලාප ඇති කර හෝ වැඩියෙන් බලතල දීමට මේ ආණ්‌ඩුව ක්‍රියාකළහොත් සිදුවන්නේ රට වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන්ට සිදුකරන මහ ද්‍රෝහීකමකි. ත්‍රස්‌තවාදය පරාජය කිරීමෙන් පසු උතුරු නැගෙනහිර ප්‍රශ්න බහුතරය විසඳීගිය බව සම්බන්ධන් විපක්‌ෂ නායකතුමා හොඳින් දනී. නමුත් බල ලෝභීත්වය නිසාම ප්‍රභාකරන් ගැන යළි මෙනෙහි කරමින් ‍ෆෙඩරල් විසඳුම ඉල්ලා සිටී. විග්නේශ්වරන් මෙන්ම සම්බන්ධන්ද අත්වැල් බැඳගෙන දෙමළ සමාජය ‍ෆෙඩරල් රාජ්‍යයක්‌ වෙත දක්‌කාගෙන යාමට උත්සාහ කරන බව පෙනේ. එහෙත් එය විනාශයේ මාවත බව මොවුන් නොදනීද ? ‍ෆෙඩරල් හරහා කිසිම විටක සංහිඳියාව ඇතිවන්නේ නැහැ. සිදුවන්නේ යළිත් ලේ වැගීරීම් ආරම්භ වීම පමණි. ‍

‍චතුර පමුණුව ‍

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.