Breaking
24 Feb 2025, Mon

වන්ෂොට්‌ගේ ගොන් ෂොට්‌ එක

අපි ඒ කාලේ අසා තිබුණේ සද්දවිද්ද පටන්ගන්නා නම් තිබුණේ අන්දරේට බවය. අන්දරේ රජුගේ ජෝකර්ය. සීනි කෑමට ඔහු තුළ කොයිතරම් ආශාවක්‌ තිබුණේද කිවහොත්, මේ අන්දරේ බිම පෙරළී සීනි කෑ හැටි පොඩිකාලේ අපට කියාදී තිබුණි. ඒ නිසාදෝ මගේ ජනප්‍රිය නළුවා ලංකාවේ ෂම්මි කපූර් යෑයි අපි කවුරුත් හඳුන්වන රන්ජන් රාමනායකය. ඔහු මොනතරම් ලස්‌සන දැයි මට හිතෙන්නේ, ඔහුගේ මස්‌ගොබ පෙන්නා ගෙන ඉන්නා ෆොටෝ දැකීමෙනි. රන්ජන් ඉන්දියාවේ ෂාරුක්‌ ඛාන් මෙන් කෑදැත්තයකු නොවේ. සල්මන් ඛාන්ට වඩා ඔහුගේ මස්‌ගොබ වැඩිය. සල්මන් ඛාන් මෙන් හොඳටම බීගෙන මෝටර් රථය එලවා ගෙන බොම්බායේ වීදියක ගොස්‌ තරුණියක මරා දමා ඒ වෙනුවට තමන්ගේ ඩ්‍රයිවර් එලෙව්වා යෑයි කියා බේරුණු තක්‌කඩියකු නොවේ. පුදුමය නම් මේ සල්මන් ඛාන්ගේ ඒ නඩුවේදී ඉන්දියාවේ උසාවියකදී තීරණය කළේ සල්මන් ඛාන්ගේ කාර් එක ඩ්‍රයිවර් කෙනකු නොමැතිව ගොස්‌ මහ මග ගමන් ගත් තරුණියක්‌ මරා දැමූ ලෙසටය. මේකට විරුද්ධව අපේ රන්ජන් රාමනායක නමැති මහා දූෂණ විරෝධියා ප්‍රකාශයක්‌ නිකුත් නොකළේ මන්දැයි මම නොදනිමි. ඔහු ඒ තරම්ම දූෂණ විරෝධීය. මෙයට ස්‌ත්‍රී දූෂණය ද, ඇතුළත් විය යුතුය. ඒ කාලයේ සිටිය කොල්වින් ආර්. ද සිල්වා එසේ නැත්නම් රන්ජන්ගේ බාප්පා වන විජය කුමාරතුංගගේ ද නායකයකුවන කොල්වින් ආර්. ද සිල්වා, සතාසිවම් නෝනා මැරුවේ මෝල් ගසක්‌ බව ඔප්පු කළා හා සමානය. නැත්නම් ගොයම් ගසකට මුවාවී හැංගී වෙඩි තබන්නේ කෙසේ දැයි කොල්වින් සහෝදරයා ඇසුවා හා සමානය.

රන්ජන්ගේ තියරිය අනුව, ඉන්දීයාවේ ශේ්‍රෂ්ඨාධිකරණය පමණක්‌ නොව, ලංකාවේ සිටින මහාම නීතිඥයා වන කොල්වින් ද දූෂිතයෙකි. ඔහුගේ තියරිය අනුව, කොල්වින් ද මුදල්වලට අහිංසක සතාසිවම් නෝනාට විරුද්ධව කෙස්‌ පැලෙන තර්ක ඉදිරිපත් කර එංගලන්තයේ සිඩ්නි ස්‌මිත් නමැති වෝහාරික වෛද්‍යවරයකු ගෙන්වා ඇත්ත නැත්ත කළ හැටි රන්ජන් ද දන්නවා ඇත. කොල්වින් ජනාධිපති නීතිඥවරයකු නොවූයේය. එහෙත්, රන්ජන් රාමනායකගේ බාප්පා වන විජය කුමාරතුංග වාමාංශික නායකයකු වශයෙන් ඇදහු කොල්වින් ඇතුළු අනිකුත් සමසමාජ නීතිඥවරු ද, දූෂිතයෝය. රන්ජන්ට විජය කුමාරතුංගගේ හාල්පොත් නඩුව මතක නැතුව ඇතිවාට සැක නැත. මේ දූෂිතයන් නිසාම, හාල් පොත ගසා ඡන්දය කළ නඩය නඩුවෙන් බේරුණේය. රංජිත් අබේසූරිය වැනි දක්‌ෂ එහෙත්, මුදලට වරද නිවරද කරන දූෂිතයන් නිසාය. ඒ මොහු මර්වින් සිල්වා සමග බෝඩිමක ගතකළ කාලයේය. ඒ ඔහු කොට කළිසම් ඇඳ සිටි කාලයයි. ඒ කාලයේ මොහුට වයසක ස්‌ත්‍රීන් හා වයසක මහත්වරු මහත්සේ ලොල් කළා යෑයි යමෙකු කියන්නේ නම් එය මම ප්‍රතික්‌ෂේප කරමි. මා දන්නා අන්දමට රන්ජන් එවැනි ස්‌ත්‍රී ලෝලියකු නොවේ. ඔහු ඇත්තටම දූෂණ විරෝධියෙකි. ඔහු කොයිතරම් දූෂණ විරෝධියකු දැයි කිවහොත්, ඔහුට කියා නිවසක්‌ නැත. ඔහුට කියා ලැබුණු කාර් පර්මිට්‌ එකද, විකුණුවේ නැත. එසේ චෝදනා කළ දෙරණේ දිල්කා සමන්මලීට මරණ තර්ජන කළේ යෑයි කියන කතාව ද බොරුය. එය දිල්කා සමන්මලීගේ පියා හැදූ ටොන් පචයකි.

අපේ රන්ජන් දැන් අලුත් සටනක්‌ පටන්ගෙන තිබේ. ඒ සටන පටන්ගෙන තිබෙන්නේ බහුතර නීතිsඥවරුන්ට, සියලුම ජනාධිපති නීතිඥවරුන්ට හා බහුතර විනිශ්චයකරුවන්ට විරුද්ධවය. ඒ අනුව, අපි රනිල් වික්‍රමසිංහට යෝජනාවක්‌ ගෙනෙමු. එනම්, රටේ අධිකරණයේ පවතිනවා යෑයි රන්ජන් කියන දූෂණ නැති කිරීමට වහාම ඔහුට අධිකරණ ඇමැතිධුරය ලබාදෙන ලෙසය. මෙන්න බොලේ මෙවැනි යෝජනාවක්‌ කර කටවහ ගන්නත් ඉස්‌සරවෙලා අපේ නායකයා රන්ජන්ව දිවුලපිටිය සංවිධායක කමින් ඉවත් කරලාලු. රන්ජන්ගේ විලාපය වන්නේ නීතිපති හා විනිසුරුවරුන්, ජනාධිපති නීතිඥවරු කියන දේ අසා වැරදිකරුවන් නිවැරදිකරුවන් කර නිදහස්‌ කරන්නේලු. රන්ජන්ගේ තියරිය අනුව, එසේ නොකරන්නේ නම් එක රැයින් අපරාධ අඩුවේවි යෑයි ඔහු සිතයි. වැරදිකරු ද, නිවැරදිකරු ද, යන්න ප්‍රශ්නයක්‌ නැත. චෝදනාවක්‌ ලැබුවහොත් අනිවාර්යයෙන්ම සාක්‌ෂි තිබුණ ද, නැතිවුණ ද, ඒ චූදිතයා වැරදිකාරයා කළ යුතුය. හැබැයි රන්ජන්ටත් පිළිසරණ වූයේ ද, තවත් ජනාධිපති නීතීඥවරයකි. ඒ එම්.ඒ. සුමන්දිරන්ය. ඔහු ද්‍රවිඩයෙකු වූවත්, හොඳට සිංහල කතා කිරීමට පුළුවන්, හැමදෙනාගේම ආදරය දිනාගත් අයෙක්‌. නීතිඥ සංගමය ශේ්‍රෂ්ඨාධිකරණයට රන්ජන් එරෙහිව පැමිණිලි කළාට පස්‌සේ රන්ජන් කට සහ අධෝමුඛය වසාගෙන සිට තමන් කරනු ලැබු ප්‍රකාශ වෙනස්‌ කරමින් මම එහෙම කිව්වේ නැහැ, මම මෙහෙම කිව්වේ නෑ, කියලා තමන් වීරයෙකු ලෙස, කළ උම්බෑ කීම සම්පූර්ණයෙන්ම වෙනස්‌ කර එම කථාව සාධාරණීයකරණය කිරීමට තැත් කිරීම ගැන අද ඔබලා පුදුම නොවිය යුතුය. මන්ද, එය නායකතුමාගේ ඡන්ද පොරොන්දුවක්‌ වගේය.

එය රැකියා විසිපන්දහක්‌ ලබාදෙන ෆොක්‌ස්‌වැගන් පැක්‌ටරියේ කතාව වගේය. හැබැයි නඩුවෙන් පස්‌සේ මේ සුමන්තිරන් නමැති ජනාධිපති නීතිඥයා ළඟ තබාගෙන සිංහයකු ලෙස නැවත වරක්‌ උම්බෑ කීවේය. ඔහු සියලුම ජනාධිපති නීතිඥවරුන්ට හා නීතිඥවරු බහුතරයකට, විනිශ්චයකාරවරුන් බහුතරයකට බැන්නේය. සුමන්තිරන්ද ජනාධිපති නීතිඥවරයකු බව රන්ජන්ට අමතක වුණාසේය. එසේම, විජය කුමාරතුංගගේ මාමා හා රන්ජන්ගේ මාමා වන කාලෝ ෆොන්සේකා ද, සිටියේය. ඔහුගේ කතාවෙන් දූෂිත අග්‍රවිනිශ්චයකාරවරු දෙදෙනකු ගැන කියවිණ. ඉන් එක්‌ අයෙක්‌ සරත් එන්. සිල්වා අග්‍රවිනිශ්චයකාරතුමාය. එහෙත්, එකක්‌ රන්ජන්ට අමතකව ඇත. එනම් සරත් එන්. සිල්වා පත්කිරීමට විරුද්ධව මහා විශාල හඬක්‌ නැගුවේ රන්ජන් නොවේ. ඒ හඬ නැඟුවේ වික්‌ටර් අයිවන් ලා සමග අත්වැල් බැඳගත් සමහර නීතිඥවරු හා වාසුදේව නානායක්‌කාර වැනි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක යෑයි කිවහැකි දේශපාලඥයන්ය. ඊට අමතරව වික්‌ටර් අයිවන්, සරත් එන්. සිල්වාගේ නම නීතිඥ ධුරාවලියෙන් කපා දමන ලෙසට, ඔහුට විරුද්ධව නඩුවක්‌ ද පැවරුවේය. වික්‌ටර් අයිවන් මේ නඩුවට ඔහු වෙනුවෙන් පෙනි සිටීමට නීතිSඥයකු නැතැයි අඬා වැලපෙන විට, මා ශේ්‍රෂ්ඨ නීතිඥවරයකු වූ රංජිත් අබේසූරියට කතා කොට තම නීතිපති දෙපාර්තමේන්තුවේ සගයාට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට එකඟකරවා ගත්තේය. මේ සියලු විරෝධයන් මළපහ ඉවත් කරන ලෙස ඉවත්කර තමන්ට අවශ්‍ය ලෙස නඩු තීන්දු ලබා දිය හැකි යයි සිතූ නැන්දා නැතහොත් විජය බාප්පාගේ නෝනා වන චන්ද්‍රිකා සරත් එන්. සිල්වා පත්කර ගත්තේය. ඒ කාලයේ රන්ජන් කොලුගැටයෙකි. රන්ජන් කියන හැටියට දූෂිතම විනිශ්චයකාරවරයා වන සරත් එන්. සිල්වා පත්කළේ රන්ජන්ගේ හිතාදර බාප්පා හා මානව හිතවාදියකු යයි අවිවාදයෙන් අප පිළිගන්නා විජය කුමාරතුංගගේ බිරිය වන චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග නැන්දායි. මෙරට බිහිවූ දක්‌ෂතම විශිෂ්ට තම නායිකාව හා මෙරට යුද්ධයෙන් භාගයක්‌ ජයගත් නායිකාව බව ඇයම හඳුන්වා ගත් චන්ද්‍රිකා නැන්දාට එරෙහිව වික්‌ටර් අයිවන් නමැති මහ පච මාධ්‍යකරු ලියූ චෞර රැජින පොතෙන් අපහාසයට ලක්‌වුණත්, මේ ආණ්‌ඩුවේ අත්තනගල්ල සංවිධායක ලෙස පත්වීමක්‌ ලබා ගත්ත ද වික්‌ටර් ද, රන්ජන් ද, නිහඬය. සරත් එන්. සිල්වා පත්කරන විට රන්ජන් කොහේ සිටියා දැයි නොදනිමි. රන්ජන් කියන විදිහට ඔහු දූෂිත නඩුකාරයෙක්‌ නම්, ඔහුව මේ රටේ සිටිය අදූෂිත, අචෞර චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ඔහුව පත්කළේ මන්දැයි රන්ජන් ඇසුවේ නැත. රන්ජන්ගේ කීම ඇත්ත නම් මේසා විශාල විරෝධයක්‌ මධ්‍යයේ සරත් එන්. සිල්වා පත්කළ චන්ද්‍රිකා කුමාරතුංගට විරුද්ධව ගෙනගිය මහා විරෝධයට රන්ජන් හීනයෙන්වත් සම්බන්ධ වූයේ නැත. එහෙනම් කවුද වැරදි, සරත් එන්. සිල්වා ද? චන්ද්‍රිකා දැයි විමසිලිමත් විය යුතුය. සියලුම දූෂිත යෑයි කියන නඩුකාරයන් පත් කරන්නේ රටේ ජන නායකයාය.

ඔහු කියන අන්දමට අනික්‌ දූෂිත විනිශ්චයකරුවා මොහාන් පීරිස්‌ය. මොහාන් පීරිස්‌ට එරෙහිව ඔහු ඉවත් කිරීමේ මූලික යාන්ත්‍රණය දියත් කළේ රන්ජන් නොව, නීතිඥ සංගමයයි. එම ක්‍රියාවලිය සිදුවූයේ නීතිඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසූරිය සහ ජනාධිපති නීතිඥවරුන් කීප දෙනකුගේ මැදිහත්වීමෙනි. එම ඉවත්කිරීම නීතියේ රීතියට අනුකූලද නැද්ද යන්න වෙනත් ප්‍රශ්නයකි. මොහාන් පීරිස්‌ අග්‍රවිනිශ්චයකාරවරයා විසින් ජනාධිපතිවරයාට කියා ඇති ප්‍රකාශය මතම නීතිය බැහැරලා අස්‌ කිරීම සාධාරණ යෑයි කෙනකුට කිව හැකිය.

එසේනම්, රන්ජන් දැනගතයුතු එක්‌ කරුණක්‌ ඇත. නළුවන් අතර ද, ගැහැණු වෙස්‌ ගෙන පිරිමින් සමග ලිංගික ජීවිතයක්‌ ගත කරන අය මෙන්ම, මුදල් සඳහා චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට තම සියලු දේ පූජා කර අල්තාරයේ තබන නළුවන් සහ නිළියන්ද, සිටින අතර, එලෙසම, තමා හමුවීමට පැමිණෙන අහිංසක තරුණියන් දූෂණය කරන අතිශය දූෂිත නළුවන් ද, සිටී. එය ඕනෑම වෘත්තීයකට පොදු දෙයකි. එලෙසම, තමාගේ තනතුර පාවිච්චි කර ජනාධිපතිවරයා පවා මුළාකර නඩුකාරයන් හොරෙන් පත් කරන නීතිඥ සංගම් සභාපතිලා ද සිටියහ. එලෙසම, රන්ජන් කියන අන්දමට දූෂිත විනිශ්චයකාරවරු ද සිටියහ.

ඔබ හා වික්‌ටර් අයිවන් දූෂිත යෑයි කියන සරත් එන්. සිල්වා සිටිය කාලයේ දී දුෂණ චෝදනාවන්ට ලක්‌වූ ඒත් චෝදනාවන් ඔප්පු නොකළ මහෙස්‌ත්‍රාත්වරුන් හා දිසා අධිකරණ විනිසුරුවරුන් හතළිස්‌ දෙනකු පවා මේ දූෂිත යෑයි කියා කෑ ගසන සරත් එන්. සිල්වා විසින්ම නඩු විභාගයකින් තොරව, ගෙදර යෑවූ බව අපි දනිමු.

සරත් එන්. සිල්වාට එරෙහිව ඉදිරිපත් කරන ලද දෝෂාභියෝගයට එක්‌සත් ජාතික පක්‌ෂ සියලු මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්‌ති පෙරමුණේ සියලු මන්ත්‍රීවරු අත්සන් කළහ. චන්ද්‍රිකා නැන්දා මෙම දෝෂාභියෝගය විවාදයට ගන්නට පෙර පාර්ලිමේන්තුව කල් තැබීය. ඊටපසු නැවත වරක්‌ පාර්ලිමේන්තුව රැස්‌වූ විට එම දෝෂාභියෝගය යටිමඩි ගැසුවේ දැන් බැඳුම්කර වංචා නඩුවේ සාක්‌ෂිකරුවකුව සිටින රනිල් වික්‍රමසිංහ නායකතුමාය. වික්‌ටර් අයිවන් මාධ්‍ය බොරුකාරයකු බව මා දැනගත්තේ පසුවය. ඒත් එදා ඔහු කී දේ කට තුළින් මැස්‌සකු ගොස්‌ නහයෙන් පිටවුන ද කට නොවසා මහත් කුතුහලයෙන් මම අසා සිටි යෙමි. ඔහුකී අන්දමට රනිල් වික්‍රමසිංහ, සරත් එන්. සිල්වා ඔවුන් දෙදෙනාගේ මිතුරකුගේ නිවසේ දී හමුවී යූ.එන්.පී. යට පක්‌ෂව නඩු තීන්දු ලබා දීමට එකඟවී ඇති නිසා දෝෂාභියෝගය යටිමඩි ගැසූ බවය. මෙය ඇත්තද නැත්තද කියා තිරණය කිරීම ඔබටත්, රන්ජන්ටත්, භාර කරමි. හැබැයි ඇත්ත වුණද, පච වුණද, දෝෂාභියෝගයක්‌ නම් ගෙන ආවේ නැත.

ඒ පිහිටෙන් සරත් එන්. සිල්වා පළමුව රනිල් වික්‍රමසිංහට කෙලවා, පසුව චන්ද්‍රිකාටත් කෙලවා, මහින්ද රජ කරවා මහින්දට ද කෙලෙව්වේය. එසේනම්, රන්ජන් කියන අන්දමට දූෂිතයා සරත් සිල්වා ද, එසේ නැතහොත් තමන්ට අවශ්‍ය අන්දමට නඩු තීන්දු ඉල්ලු මේ දේශපාලනඥයන් දැයි රන්ජන් තීරණය කළයුතු වේ. මීට පස්‌සේ සරත් සිල්වාට ගරහන්නට එපා. එවිට මතක්‌ විය යුත්තේ ඔබගේ බාප්පා සහ කාලෝ ෆොන්සේකාගේ බෑනාවූ විජයගේ ආදරණීය බිරිඳ වූ චන්ද්‍රිකා සහ ඔබේ නායකයකු වන රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ය.

මෙරටේ සෑම දෙනාගේම ගෞරවයට ආදරයට ලක්‌වූ ගාමිණී ෆොන්සේකා හා ජෝ අබේවික්‍රම වැනි නළුවන්ද රුක්‌මණී දේවි, මාලනී ෆොන්සේකා වැනි නිළියන් ද සිටියහ. ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය කිසිසේත්ම, ඔවුන්ගේ ක්‌ෂේත්‍රයට අදාළ නොවීය. එහෙත්, ඔවුන් තමන්ගේ ඇඟ විකුණන මුදල්වලට වයසක කාන්තාවන් සමග ජීවත්වන අතිශයින්ම දූෂිත මිනිසුන් නොවූහ. රන්ජන් කිසි කලෙක නළුවන්ගෙන් වැඩි පිරිසක්‌ පිරිමි වෛශ්‍යාවන් ලෙස හෝ නිළියන්ගෙන් වැඩිදෙනෙක්‌ ස්‌ත්‍රී වෛශ්‍යාවන් ලෙස හෝ හඳුන්වා දුනහොත් සම්පූර්ණයෙන්ම වැරදි බව රන්ජන්ට තේරෙනු ඇත. එහෙම අයාලේ යන නළුවන්ද, නිළියන්ද, සිටිති. ඒ ඉතා සුළු පිරිසකි. අධිකරණයේ දුෂිත නීතිඥවරු පමණක්‌ නොව නීතිඥ සංගම් සභාපතිවරුන් ද, විනිශ්චයකාරවරුන් ද, සිටිති. එය ඉතා සුළු ප්‍රමාණයකි.

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.